වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
උස මැහැල්ලගේ මුකුළුව
තරුණවියේ පසුවන වෘත්තිකයන් සිව්දෙනකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණගැසීම නිසා තම ජීවිතයට භයංකර ඉරණමක් අත් වූ සිය මිතුරකුගේ කතාවය. ස්වභාවයෙන්ම රාත්‍රියේදී මහ මඟ සිටින ගැහැනියක දැකීම නිසා සන්ත්‍රාසයට පත්වීමේ මානසික රෝගයක් සහිත මේ මිතුරාට මේ මැහැල්ල මුණගැසෙන සෑම මෙහොතකටම පසු එම මිතුරාගේ ජීවිතයට සමීප වූවකු මියයයි. ඔහු දැන් සිටින්නේ ඇය ගැන බලවත් ක්‍රෝධයකිනි.
"ඒ මායාකාරියව දැකපු තැන මරා දාන්න උවමනාවක් ඔබට ඇති වුණේ ඇයි කියල මට තේරෙන්නේ නැහැ"
වික්ෂිප්තභාවයට පත් මම පැවසුවෙමි.
"මීට සුමාන තුනකට කළින් ඒ කියන්නේ, මගේ අසරණ ජෝකිනාගේ මරණය ගැන අසුබ ආරංචිය ලැබෙන්නට හරියටම පැය තුනකට කළින් මේ මාර දූතිකාව මට මුණ ගැසුණා යයි කී විට මගේ වුවමනාවේ බරපතළකම ඔබට තේරුම් යාවි කියා මා සිතනවා"
කතා කරමින් සිටි ටෙලෙස්ෆෝරෝගේ දෙඇස ඇය පිළිබඳ කෝපයකින් ගිනියම්ව තිබියදී මා ඔහුගෙන් ඉල්ලා සිටියේ සිද්ධ වුණ සියලු දේ මට කියන ලෙසයි.
“ඇත්තෙන්ම දැන් මට කියන්නට ඇත්තේ ලොකු කතන්දරයක් නෙවෙයි. මේ කියන දවසේ හරියටම පාන්දර පහට අල්ලපු වීදියේ එහා කොනට යෑමේ අදහසින් ඒ පාර දිගේ පියමං කළා. මාවතේ විදුලි ලාම්පු නිවා දමා තිබුණා.
පොලිස් නිලධාරිනුත් රජකාරියෙන් මිදී සිටියා. මෙන්න එක පාරටම අර මායාකාර හැතිරිය හරියටම මා ඉස්සරහින් පාර හරහා පැන ගියා. එහෙත් ඒ ගැහැනිය මා දිහා නොබැලූ නිසා මාව දකින්නට නැතැයි කියා සිතුණා. ඒත් මීට අවුරුදු තුනකට කළින් ඇයව මුණ ගැසුණු මූසල රාත්‍රියේ හැඳ සිටි ආකාරයෙන්ම තමයි ඒ මොහොතේදීත් සැරසී සිටියේ. කවදත් මා බියට පත් කළ සුදු පැහැති කුඩා අවාන පවා ඇයට අමතකව තිබුණේ නැහැ. සියලු දිරි සිඳීගොස් ඇය පසුපස හැරී මා දෙස බලයිද යන සැකයෙන් මා තැති ගත්තා.
ඒ නිසා මා ඉදිරියෙන් වෙනතකට ගිය මේ මායාකාරිය එසේ කරාවිද යන්න ගැන නිශ්චිතව දැන ගනු පිණිස පසුපස හැරී බලමින් හැකිතාක් වේගයෙන් මා ගෙදර දෙසට දිව ගියා. මේ ආකාරයට වීදියේ එහා කොනට ළඟාවන විට මම හිටියේ හුස්මක් කටක් ගන්න බැරි තරමට හෙම්බත් වෙලා. සැඩ දිය පාරක් හරහා පීනපු මිනිහෙක් වගේ හොඳටම හති දමමින්. ඒත් ඒ මොහොතේ ගතට දැනුණු ශාරීරික වෙහෙස අමතක කරවන්නට තරම් ප්‍රබල සිතිවිල්ලක් එක්වරම මා තුළ ඇති වුණා.
එය තමයි මෙතරම් සමිපයෙන් ගියත්, මා කවුරුදැයි හඳුනාගත නොහැකි තරමට ඇය අඩපණව දුබලව ඇතැයි යන හැඟීම. ඒ හේතුවෙන් කිව නොහැකි තරම් සතුටකින් හිත පිරී ගියත්, තවත් මොහොතකින් මට කල්පනා වූයේ මා නාඳුනන ලෙස සිටීම මේ කපටි හැතිරියගේ උපායක් විය නොහැකිද? කියායි.
තවමත් කළුවරෙන් පිරුණු වීදිය දිගේ මා පැමිනෙණු ඇතැයි බලාපොරොත්තුවෙන් ඇය අගුපිලක සැඟවී සිටිය හැකි යැයි මට සිතුණා.
ඒත් මගේ ගෙට ගොඩවෙන්නට සුළු දුරක් තිබියදී බොහෝම භයංකාර සිතිවිල්ලක් මගේ සිත පුරා ඇති වුණා. ඒ තමයි මේ මොහොතෙත් ඒ භයංකාර යක්ෂණිය මගේ උරහිසට පිටු පසින් සිටින්නට බොහෝ ඉඩ ඇති බව. මුළු සරුවාංගයම කිව නොහැකි බියකින් වෙව්ලා යද්දී වුවත් මට ආපසු නොබලා සිටින්නට නොහැකි වුණා.
අනේ හිතවත් ගේබ්රියෙල් මෙන්න මා හිතූ විදියටම ඇය මගේ උරහිසට පිටුපසින් හිටගෙන. සමච්චලයටම විනා අන් කිසිවකට නුසුදුසු ලෙනක් වැනි කට ද බාගෙට හැරගත් ඒ යකින්න තමාගේ කිනිසි තුඩු වැනි දෙඇස් මා දෙසට එල්ල කරගෙන බලා සිටියේ මගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරම් දුරකින්. මළගිය ප්‍රාණකාරයෙකුට පමණක්ම සුදුසු යයි සිතිය හැකි ඇයගේ ඇඳුම් පැළඳුම් මගේ සිරුරේ ගෑවෙමින් තිබියදී ඇය තම අවානෙන් පවන් සලා ගත්තේ මගේ බියපත්වීම ගැන සමච්චලයට වගෙයි.
ඒ සමඟම ජීවිතය කෙරෙහි තිබූ ආසාවත් බියත් තුරන්ව ගොස් අසීමිත ක්‍රෝධාග්නියක් මා තුළ ඇවිලෙන්නට පටන් ගත්තා. ඒ සමඟම ඇති වූ යෝධ ශක්තියකින් යුතුව මම ඇය වෙත කඩා පැන්නා. තව මොහොතක පමාවකින් තොරව, ඒකිගේ ගෙල මිරිකා මරා දැමීමට සිතාගත් මම මේ හැතිරිය අසල වූ තාප්පයට හේත්තු කොට ගෙලින් අල්ලා ගත්තා. එහෙත් මේ යක්ෂණිය මෙලොවින් තුරන් කර දමන්නට කළින් ඒකී මනුෂ්‍යයෙක්ද ඇත්තටම ස්ත්‍රියක්ද කියා දැන ගැනීමේ තදබල වුවමනාවක් මා තුළ ඇති වූණා.
ඉතින් මම මගේ සැකය හොඳීන් දුරු වනතුරු මේ අප්‍රසන්න හැතිරියගේ ඉදී කඩා හැළුණු කෙස් රොදවල්වල පටන්, බෙල්ල, ළැම, මුහුණ, නහය, කට, ඇස් ආදිය හොඳීන් අතගා බලන්නට පෙලඹුණා.
මේ අතරවාරයේ මා තුළ ක්ෂණිකව ඇති වූ ධෛර්යය සැණෙකින් සිඳී බිඳී යන තාලයේ භයානක විලාපයක් ඇය විසින් නගනු ලැබුවා. ඒ විතරක් නොවෙයි හඬා වැටෙන ආකාරයකුත් ව්‍යාජ ලෙස නිරූපණය කළා.
ඇත්තෙන්ම ගේබ්රියෙල් මේ අවස්ථාවේ තිබූ බිය ජනකම දෙයනම්, ඇය තුළ කිසිදු බියක් හෝ තැති ගැන්මක් ඇති වී නොතිබීමයි. බිය වූ බව පෙන්වමින් හඬන්නට වීම වාගේම ඇය නැඟූ විලාපයත් ව්‍යාජ එකක්. ඒ කාරණා දෙකින්ම ඇය මට පෙන්නුම් කළේ තවදුරටත් මා සමච්චලයට බඳුන් කරන බවයි.
ඒ සමඟම ඇය මගෙන් ඇසුවේ “ඇයි උඹ මට හැම තිස්සේම ද්වේශ කරන්නේ? මොකද මේ රණ්ඩුවට එන්නේ ” කියායි.
“ඒ කියන්නේ උඹට මාව මතකයි කියන එක එහෙම නේද?”
ඇතිවී තිබූ ධෛර්යය අඩු වෙමින් යද්දී මා ඇගෙන් විමසුවා. ඒ සමඟම ඇය කෙරෙහි ඇතිවූ කෝපය ක්‍රමයෙන් යටපත්ව සුපුරුදු බිය ඉස්මතුව එන බව මට වැටහී ගියා.
“ඒ කියන්නේ උඹ මීට කලින් මාව කොහේ හරි දැකල තියෙනවා. ඒක නේද?”
මම ධෛර්යය උපදවා ගනිමින් විමසුවා.
“ඔව් රත්තරනේ ඒක තමා හරි කතාව. ඔය උඹට තේරෙන්නේ අගේට”
සුපුරුදු සමච්චල් සිනාවෙන් යුතුව ඇය උත්තර දුන්නා.
“හරියටම කියනවා නම් මීට අවුරුදු තුනකට උඩදී, ශාන්ත ඉවුජෙනිගේ රාත්‍රිය දා ජාර්දිනෙස් වීදියේදී ”
ඇයගේ මේ පැහැදිලි ප්‍රකාශය හේතුවෙන් මගේ සර්වාංගයේ ලේ වතුර වී ගියත්, මම තව දුරටත් ඇයව අල්ලාගෙනම හිටියා.
“හොඳයි කමක් නෑ මට තියෙන ප්‍රශ්නය උඹ කවුද කියන එක. ඒ වගේම මගෙත් එක්ක උඹට තියෙන රාජකාරිය මොකක්ද? මොන හේතුවකටද මගේ පස්සෙන් එන්නේ?”
ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ඇගෙන් නිකුත් වුණේ එවැනි වයස්ගත ගැහැනියකට කිසිසේත්ම නොහොඹිනා මාර දූතිකාවකගෙන් පමණක් අසන්නට ලැබෙන තාලයේ මුකුළුවක්.
“එහෙම නම් කියාපන් බලන්න ඇයි උඹ කිසිම හේතුවක් නැතිව මට ද්වේශ කරන්නේ කියලා? බලාපන් මම කොච්චර දුප්පත් අසරණ ගැහැනියෙක්ද කියලා? දැන් හොඳ පුතා වගේ මට කියපං බලන්න මාව දැක්ක පළවෙනි වතාවෙ ඔය තරම් බය වුණේ ඇයි කියලා”
“එහෙම වුණේ මට උඹව පිළිකුල් නිසා උඹ මගේ ජීවිතයට දිෂ්ටි දාගෙන ඉන්න යක්ෂණියක් නිසා මට කියන්න තියෙන්නෙ මම ඉපදිච්ච දවසෙ ඉඳන්ම උඹව පිළිකුල් කරන බවයි.” මම හැකි තරම් උස් හඬින් ඇයට එරෙහිව මගේ කෝප වේගය පිට කළා.
“හොඳයි, එහෙනම් උඹ කියන්නේ හුඟක් කල් ඉඳන් මාව දන්නවයි කියන එකනෙ, ඉතින් මමත් උඹ ගැන දන්නෙ ඒ විදියට තමයි කොල්ලෝ. ඒක හොඳට මතක තියා ගනින් පුතේ, අමතක කරන්න එපා.”
“මොනවා? උඹ කොහොමද මං ගැන දන්නෙ? හොඳයි. කියාපං බලන්න උඹ කොච්චර කාලෙක ඉඳන්ද මං ගැන දන්නේ කියලා?”
“දන්නෙ? මම උඹ ගැන දන්නෙ උඹ මෙලොවට බිහිවුණ දවසෙ ඉඳල. ඒක හින්ද තමයි අවුරුදු ගණනකට කළින් මා ළඟින් යද්දී “ඔව් ඒ අහවලා තමයි” කියල මටම කියා ගත්තෙ..”