වෙස්වලාගත් විෂ්ණු හා ඊශ්වර එකතුවෙන් ලද පුත්‍රයා

සැප්තැම්බර් 22, 2023

හලාවත මුන්නේශ්වරම් කෝවිලේ නිකිණි මංගල්‍යය සෑම වසරකම අගොස්තු මාසයේදී මහත් උත්සවාකාරයෙන් පැවැත් වේ. ගණදෙවි පූජාව, කතරගම පූජාව, විෂ්ණු පෙරහර, අඹ විදින පෙරහර, කඩේ සක් පෙරහර, ගිනි පෑගීම හා බහිරව පූජාව ද සමඟින් මේ මංගල්‍යය පැවැත් වේ. මේ පෙරහරේ විශේෂත්වයක් වන්නේ රථ ඇදීමේ උත්සවයයි.

මේ සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන් රථ ඇදීමේ උත්සවයට සහාභාගි වී, ගිනි පෑගීම සිදු කරනු ලබන්නේ පත්තිනි දේවියට උපහාරයක් වශයෙනි. ගිනි පෑගීමට එක් වන්නේ දේවාලවල කපු මහත්වරුන් හා භාරකාර බැතිමතුන්ය. නිකිණි මංගල්‍යය රථ ඇදීමේ උත්සවය විශේෂත්වයක් වන්නේ කුඩා හා ලොකු රථ හලාවත කුරුණෑගල මාර්ගයේ ඇදගෙන යාමයි.

මුන්නේශ්වරම් කෝවිල පිහිටා ඇත්තේ ද හලාවත කුරුණෑගල මාර්ගයේ ය. හින්දු කෝවිලක් වූ මේ කෝවිල දෙස් විදෙස්හි මහත් පිළිගැනීමකට පත් කෝවිලකි. කෝවිලේ නිකිණි පූජා උත්සවය ආරම්භ කරනු ලබන්නේ සෙංකඩගල නුවර ශ්‍රී දළදා පෙරහර පූජෝත්සවය අවසන් වීමත් සමඟය. ඊශ්වර මුනි කෝවිල මුන්නේශ්වරම් කෝවිල යනුවෙන් ප්‍රසිද්ධ වූයේ සෙංකඩගල රාජධානියේ රජ පැමිණ වසර තිස්තුනක් රට පාලනය කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු වන්නේය. මුන්නේශ්වරම් කෝවිලේ ඊශ්වර දෙවියන් වෙනුවෙන් නිකිණි උත්සවයේ දී පවත්වන පුද පූජා අතර රඹවිදීම, ගිනි පෑගීම හා දිය කැපීම ද විශේෂ වේ. දේවාලයේ කප් සිටුවීමෙන් පසු ඉපැරැණි චාරිත්‍රානුකූලව දේවාලයේ ඇතුළු මාලයේ රාත්‍රී දින දහතුනක් පෙරහර පවත්වනු ලබන්නේ අයියනායක දේවාලය හා භද්‍රකාලී මහා දේවාලය එක්කර ගනිමිනි.

ඊශ්වර දෙවියන්ගේ බිරිඳ වන උමයංගනාව වෙනුවෙන් පූජා උත්සවයක් පැවැත්වේ. ඊට අමතරව ඊශ්වර දෙවියන් වෙනුවෙන් කැපවූ කොනෙශ්වරම් සහ කේතිශ්වරම් යනුවෙන්ද දේවාල දෙකක් මේ භූමියේ ඇත. ඊශ්වර හෙවත් ශිව දෙවියන් ලෝකවාසී යහපත් ජනතාව ආරක්ෂා කරන බවත් අධර්මයෙන් ජීවත් වන්නන්ට විපත් ගෙන දෙන බවත් කියති. නර්තනයන්ට අධිපති ශිව දෙවියන් ඊශ්වර දෙවියන්ට නඩරාජා නඩේෂන් මහා දේව, මහේෂ්වර, රුද්‍රා මහා යෝගී උග්‍ර, දේව හදිවජ විරූපාක්ෂ මා කලගංගාධර උමාපති, ශිව කලංජර මහා දේව, පශුපති හා අග්නි යන නම් රැසකින්ම හඳුන්වති. හින්දු ආගමට අනුව ලෝකයේ ඇතිවීම නැතිවීම හා විනාශවීම සිදුවන්නේ ත්‍රි මූර්තියෙන් බවත් ලෝකය මැවීම මහාබ්‍රහ්මයා විසින් ද ලෝකයේ පැවැත්ම විෂ්ණු මූර්තියෙන් ද සිදුවන බවත්ය.

ලෝක විනාශය ඊශ්වර මූර්තියෙන් ද සිදුවන බවත්ය. නැකැත් ශාස්ත්‍රයට හා යන්ත්‍ර මන්ත්‍රවලටත් භූමියටත් අධිපති ඊශ්වර හෙවත් ශිව දෙවියන් යකුන් හා රකුසන් පිරිවරාගෙන හිමාල කන්දේ කෛයිලාස නම් කුටියේ වාසය කරති. දිවි සමක් ඇඳ දිවි සමක් මත ඉඳ ධ්‍යානයට සමවැදී සිටින ඊශ්වර දෙවියන්ගේ ආයුධය ත්‍රිශූලයය. වාද්‍ය භාණ්ඩය උඩැක්කියයි. වාහනය වෘෂභයෙකි. කල කෝලහලවලදී මෙන්ම සතුරන් මර්දනය කර ගැනීමටත් නඩුහබවලදී තම තමන්ගේ කරුණු ඉටු වී යුක්තිය හා සාධාරණය ඉටු කර ගැනීමටත් තම ව්‍යාපාර දියුණු කර ගැනීමටත් බොහෝ දෙනෙක් ඊශ්වර දෙවියන්ට පුද පූජා පවත්වා බාරහාර වෙති. උඩරට නර්තන කලාවේ දහ අට වන්නමෙහි එන පුරපති වන්නමේ ඊශ්වර දෙවියන් ගැන මනාව සඳහන් වේ.

පුරාවෘත්තය

ක්‍රිස්තුවර්ෂ එක්දහස් දෙසිය ගණනකදී, බුද්ධ වර්ෂ එකදාස් හත්සිය අනූතුනේදී දඹදෙණිය රාජධානියේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ඊශ්වර දෙවියන් ගැන පැහැදී කෙත්වතු පූජා වස්තු අගනා දැව වර්ග, ඉඩම් ද දේවාලයට පූජා කරන ලදී. ක්‍රිස්තු වර්ෂ දෙදහස් දෙසිය අනූහයේදී බුද්ධ වර්ෂ එකදාස් අටසිය විසි අටේදී පොළොන්නරු රාජධානියේ රජතුමා වසර දෙකක් රට කරවූ හතරවන විජයබාහු රජතුමාද බුවනෙකබාහු රජතුමා ද මුන්නේශ්වරම් දේවාලයේ වසරක් පාසා පවත්වනු ලබන පෙරහරට පූජා භාණ්ඩ හා අලි ඇතුන් පූජා කරන ලදී. ක්‍රිස්තු පූර්ව පන්සිය හතළිස් තුනේ දී බුද්ධ වර්ෂ එකේදී තම්මැන්නා නුවර වසර තිස් අටක්ම රජ පැමිණ රට කරවූ විජය කුමරුගේ ලංකා ගමනටත් පෙර රාම කුමරු සීතා දේවිය සමඟ ඊශ්වර දේවාලයට පැමිණ පුද පූජා පවත්වා ඊශ්වර දෙවියන්ගෙන් දේවාශිර්වාද ලබාගෙන ඇති බවත් රාමලංගයන නමින් මෙහි ශිව ලිංගයෙන් පිහිටුවා පුද පූජා පවත්වා ඇති බවත් දේවකතාවලින් පැහැදිලි වේ.

ඒ අනුව සනාථ වන්නේ ලංකාවේ ඊශ්වර දෙවියන් (ශිව දෙවියන්) ඇදහීම රාවණ යුගයේ සිටම පැවැති බවයි. ඊශ්වර දෙවියන්ට උමයංගනා පාර්වතී සහ ගංගා යනුවෙන් බිරියන් දෙදෙනකු සිටි බවත් කියැවේ. පාර්වතී නෘත්‍ය ගීතාදියෙහි නිපුණ දෙවඟනකි. උමයංගනා රූපශ්‍රීයෙන් අගතැන්පත් දෙවඟනකි. ශිව ජටාවන්ගෙන් ඇදී එන ජලය ශිව ගංගා දේවියයි. ඊශ්වර දෙවියන් වටා ගෙතුණූු කතා කීපයක්ම ඇත. මෙලොව ජීවතුන් අතර සිටින අයගෙන් තමන්ට වඩා වෙනත් කිසිම අයකු නැතැයි කියමින් උඩු හැඩ කාරක ගම්මානයේ වාසය කළ සෘෂිවරුන් කොටසක් විය. මොවුහු ඊශ්වර සහ විෂ්ණු දෙවිවරුන්ට පවා පුද සත්කාර නොකොට ජීවත් වූහ. මෙය දුටු විෂ්ණු දෙවියන් මෙම සෘෂිවරුන්ගේ පුහු මානය බිඳ හෙළමී යැයි සිතා මොහිනි යන නමින් කාමාතුර සුරූපී කාන්තාවකගේ වෙස්ගෙන පැමිණියාය.

විෂ්ණුගේ මේ ක්‍රියාව දුටු ඊශ්වර දෙවියන්ද යාචක වෙස් මවාගෙන විෂ්ණු දෙවියන්ගේ සහායට කාරක වනයට ගියේ ය. මේ අතර සෘෂිවරු වෙස්ගත් මෝහිණියට රැවටී වරදට පත්ව ධ්‍යානලාභි වීමේ ක්‍රියාව සුනු විසුණු කර ගත්තෝය. මෙහිදී මෝහිණී වෙස්ගත් විෂ්ණු දෙවියන්ට යාචක වෙස්ගත් ඊශ්වර සමඟ වාසය කිරීමට කාමුක සිතක් පහළ විය. ඉන් වරදට පත් මේ දෙදෙනාට හරහර නම් පුත් රුවනක් ලැබිණ. මේ නිසා මෝහිණිය මයා නදී දැදුරු ඔය වේෂයක් ගෙන හැමදා ගලාබසින්නත් සෑම වසරකම නිකිණි මස පුර පසළොස්වක් දිනකම පැමිණි ඇය සමඟ වාසය කිරීමටත් ඊශ්වර දෙවියන් පොරොන්දු වූහ. විෂ්ණු සහ ඊශ්වර දෙවිඳුන්ට ලැබුණු හරහර නම් මහා බලගතු පුත්‍රයා මුන්නේශ්වරම් දේවාලයට අධිපතිව බව දේව කතාවලින් පැවැසේ.

මුන්නේශ්වරම් ප්‍රධාන කොට ඇති දේවාල රාශියකින්ම පිහිට පැතීම සඳහා දිවයින පුරාම දස දෙසින් විශාල ජනතාවක් හලාවතට පැමිණේ. රෝග පීඩා මෙන්ම පවුල් ආරවුල් ඉඩම් ආරවුල්, නඩුහබවලින් නිදහස් වීමටත්, විභාග සමත්වීම, විවාහ කටයුතු සාර්ථක වීම, රැකී රක්ෂා ලැබීම, විදෙස් ගමන් සාර්ථක වීම, රෝග පීඩා දුරුවීම, බොහෝ කරුණු සපල කර ගැනීමට ඊශ්වර දෙවියන්ට පුද පූජා පවත්වා ඉල්ලා සිටීමට පැමිණේ. මෙම දේවාලයේ විශේෂයත්වයක් වන්නේ විරුද්ධවාදීන්ට පළිගැසීමට, පූජා පැවැත්වීම සහ සත්ත්ව බිලි පූජා පැවැත්වීමයි.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ් ප්‍රභාෂ්වර ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ මොරටුවේ තිස්ස මහානාම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.