බෝධි පූජා කවිවලින් ඉක්මන් ගුණ ලබන්න

ජුනි 2, 2023

අපි සැම නිරන්තරවම විශ්වය හා සමග කුමන හෝ ගණුදෙනුවක නිරතව සිටිමු. විශ්වයේ සියලු ක්‍රියාවලීන් රිද්මයානුකූලව සිදු වෙමින් පවතී. දැන හෝ නොදැන අපි ද ඒ රිද්මයන්ට අනුව කටයුතු කරන්නෝ වෙමු. යම් හෙයකින් අප ඒ රිද්මයෙන් බැහැර වූයේද එහිදි මොනයම් හෝ ගැටලු සහගත තත්ත්වයක් හට ගැනේ.

මෙහිදී මා ඔබ හමුවට ගෙන ඒමට බලාපොරොත්තුවන්නේ විශ්ව රිද්මයට අනුගතව ශබ්ද තරංග මෙහෙයවීම තුළින් අප සිතුම් පැතුම් ඉටුකර ගැනීම සඳහා බෝධි පූඡාවෙන් පිහිට පිලිසරණ ලබා ගැනීම සම්බන්ධවය

අප විසින් බෝධි පූජා පින්කමක් කිරීමෙන් යම් පිහිටක් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන්නා වූ අවශේෂ වත් පිළිවෙත් සියල්ල ඉටු කිරීම මඟින් අපට ඒ පින්කමේ ප්‍රතිඵල ක්ෂණිකව ලද හැකිය.

අප යම්කිසි කාර්යයක් විසි එක් වතාවක් නැවත නැවතත් කිරීම මඟින් එය පුරුද්දක් බවට ස්ථාවර කර ගත හැකිය. අනතුරුව එය හදවතේ රැව් දෙන පුරුද්දක් බවට පත්ව අනායාසයෙන් ක්‍රියාත්මක වේ. එසේම අවකාශය ද ඒ රිද්මයට අදාළ කටයුතු අපේක්ෂාවෙන් එයට අදාළව පරිසරය සකසයි. එය විශ්වීය කලාවේ එක් සිද්ධාන්තයකි.

එකම ස්ථානයක එකම වේලාවක එම කටයුත්තෙහි නිරත වීමෙන් එහි බලවත් බව තවත් වර්ධනය කර ගත හැකිය.

අනතුරුව පුද පූජාවන් පිළිගන්වා වන්දනා කර, තුන් සූත්‍රය හෝ සෙත් පිරිත් ආදී තමන් දන්නා හුරු පුරුදු පිරිතක් ගායනා කිරීම මැනවි. මෙහිදී ගාථා හා පිරිත් කීමේදී නිවැරදිව වචන උච්චාරණය කිරීම අවශ්‍යය. තවද එම වන්දනාව රිද්මයානුකූල වීමද වඩාත් ප්‍රතිඵල දායකය.

පළමුව මළුව පිරිසුදු කර, මල් ආසන පවිත්‍ර කර මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස හා අවශේෂ පුද පූජාවන් සියල්ල සකසා පූජා කරන්න. ඉන්පසු නිශ්චිත ස්ථානයක පහසුවෙන් හිඳ බුදුරජාණන් වහන්සේට නමස්කාරය පුද කර තෙවරක් සරණ යැද පන්සිල්, අටසිල්, දසසිල් ආදී තමන් කැමති ශීලයක් සමාදන්ව එය ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කර ගන්න.

ඉන්පසු බෝධි වන්දනා ගාථා කවි ගයා බෝධින් වහන්සේට තම ස්තූතිය පළකිරීම මැනවි. මෙහිදී අප විශ්වයට මුදා හරින සෑම වදනක් මඟින්ම අප අවට වායුගෝලය කලඹවා ශක්ති සංයෝජනයක් තුළින් විශ්ව බලයක් ගොඩ නැඟෙනු ඇත.

බෝ රුකෙහි පත්‍ර කෙලවර සියල්ලම පිහිටා ඇත්තේ පොළවට නැමී ඇති පරිද්දෙනි. එම පත්‍ර මඟින් නිර්මිත ශක්ති කිරණ විශාල පරාසයක් පුරා විහිදෙන අතර එම ශක්තිය හා සැබැඳෙන අප විසින් වා තලයට මුදා හළ ශක්ති තරංග මේ විශ්වය පුරා විහිදේ. එම ශක්තීන් අප විසින් ඉල්ලුම් කිරීමට යෙදුණු සිතැඟියාවන් ඉටු කිරීමට අදාළ කටයුත්තට ගැළපෙන්නාවූ ශක්තීන් ආකර්ෂණය කර ගනිමින්, අපේ කර්ම ශක්තීන් බල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්වයි.

මෙහිදී අපට බෝධි පූජා කවි මෙන්ම පිරිත්, සෙත්කවි, ආදියෙහි පවත්නා ශක්තීන් ද අපේ අවශ්‍යතානුකූලව ප්‍රයෝජනයට ගත හැකිය. බෝධි වන්දනා කවි පොදුවේ භාවිත කළ හැකි වුවද සෙත්කවි නිර්මාණය කෙරෙනුයේ තමන් අරභයාම වන බැවින්, තමාට සීහෙන නැකැත්, ගණ පිහිටුවීම් ආදී බො⁣හොමයක් කරුණු සැලකිල්ලට ගෙන වන බැවින් එහි ප්‍රතිඵල ද ඇස් ඉදිරිපිට දැකිය හැකි වන තරමටම වේගවත්ය.

ගුප්ත විද්‍යාවෙහිදී මන්ත්‍ර ශාස්ත්‍රය මෙන්ම පිරිත් දේශනාවන්ද ප්‍රයෝජනයට ගනු ලබන බව ඔබ දන්නවා ඇත. එකම ශබ්ද තරංගයන්හි රිද්මයන් වෙනස් කර විවිධ අවශ්‍යතානුකූලව යොදා ගත හැකි බව ඉන් ඔබට වැටහෙනවා ඇත.

ඒ අනුව පෙනී යන්නේ ශබ්ද තරංග මෙහෙයවීමේදී අප වචන වලට ලබා දෙන බලය පිළිබඳව ද වඩාත් සැලකිලිමත් විය යුතු බවය.

සෙත්කවියක මෙන්ම අපට වස් කවියෙක වුවද ප්‍රථිපල දැකිය හැකිය. සෙත්කවියකට වඩා පහසුවෙන් අපට වස්කවිවල ක්‍රියාකාරිත්වය දැකිය හැකිය. ඒ සෙත් පැතුමකට වඩා කටවහ ක්‍රියාත්මක වන්නා සේය. සෘණාත්මක තරංග උත්පාදනය සඳහා කිසිදු විටෙක ආයාසයක් දැරිය යුතු නොවේ. ගඟ දිය පහළට ඇදී යන්නා සේ එය අනායාසයෙන්ම සිදු වේ.

⁣⁣බෝධි පූජා පිංකමෙන් අප පතන සහනය ලබා ගන්නට නම් අප සෙත් ශාන්තීන් ලෙස විශ්වයට ශක්ති තරංග මුදාහැරීමේදි එහි හඬ පාලනය මුදු හා

ළයාන්විත විය යුතුය. ඇසීමට ප්‍රිය උපදවන, අර්ථයට උචිත වන බල සැපයුම් සහිතව ගායනා කිරිම ඉකමන් ප්‍රතිඵල ගෙන දීමට හේතුවේ.



ගයා සිරසෙහි වැඩී තුරුපති විලස වැජඹුණ බෝධි ස්වාමිනි
සොයා ආ බෝසතුන් පිළිගෙන සෙවණ සැලසූ බෝධි ස්වාමිනි
භයා නක දස බලැති මර සෙන් පැරදුවෙත් මෙතනදියි ස්වාමි⁣නි
ගයා ගුණකඳ නමා පසඟම පුදමි සිරි මහ බෝධි ස්වාමිනි

වෙසක් පෝ දින ලොවේ හැම දෙන වඳීන නමදින තුර බවට පත්
වෙසක් මස ඒ දෙවැනි සතියෙදි අනිමිස වු බුද පුද ලබා ගත්
නොයෙක් දන සිත් පෙලූ දුක් කම්කටොළු නිවමින් පිං පුරා ගත්
ගසක් නැත බෝ සමිඳුනේ අප හැමගෙ නෙත් සිත් වසඟ කරගත්

සිලි සිලියෙ හඬ ඇසෙන විට බෝ පත් සුලඟෙ ලෙල දෙන වෙලාවට
මිලින වූ සිත් පවා අවදිව වැඳ වැටෙයි බෝ සමිඳු ගාවට
හෙළි පෙහෙළි කොට බෝ මළුව මල් පහන් පුද දී නිසි වෙලාවට
යළි යළිත් එන්නටම හිතෙනව ගුණ ගයා බෝ සමිඳු ගාවට

වනස් පති තුරු අතර දෙව් බඹු සිරස් නමමින් පිදූ බෝධිය
අහස් විනිවිද නැගුණු අතු පතරින් ලොවට සෙත ගෙනා බෝධිය
සහස් දනගේ සියලු පැතුමන් සඵල කොට සෙත සැදූ බෝධිය
වෙසෙස් සැලකිලි පුදා නමදිමු බුදු නෙතින් පිදු උතුම් බෝධිය

රැයක් එළිවෙන තුරුම සමිඳුට සෙවණ සැලසූ උතුම් බෝධිය
නොයෙක් මර බල පෑ වෙලාවෙත් නිහඬවම සිටි උතුම් බෝධිය
වරක් තන්හා රති රගාගේ බොළඳ රැගුමන් දුටුව බෝධිය
නිමක් නැති බුදු ගුණ ගයා අපි වඳීමු නමදිමු උතුම් බෝධිය

රන් පැහැති දලු විදා පා මින් නුවන් සනසන උතුම් බෝධිය
නන් දෙසින් අතු පතර විහිදා සෙවණ සලසන උතුම් බෝධිය
සංඝමිත්තා තෙරණි ඉමහත් හරසරින් වැඩම වූ බෝධිය
තුන් දොරින් අප සැදී පැහැදී බැතින් නමදිමු උතුම් බෝධිය

තෙදැති බෝ පත් සිප හමා එන සුළං රැල්ලත් වාසනාවයි
ගුණැති බෝ සෙවනින් ලැබෙන සෙත අපේ දිවියට වාසනාවයි
පැවති සැම කම් කටොලු සිඳලන බෝ රජානන් වාසනාවයි
බලැති බෝ සමිඳුන් පුදන අප හැමගෙ ජීවිත වාසනාවයි

සදා කාලික සැපත සලසන්නට මුණිඳු පිට දුන් එදා
පුදා පළමුව උන් වහන්සෙම කළ ගුණය පෑ හැටි නදා
මෙදා කවුරුන් මෙන් මමත් බෝ සමිඳු පුදනෙමු හද බැඳා
උදා කළ මැන ශාන්තිය මට පුදමි සිරි මහ බෝ රදා

විහාරෙට එන දෙනෝ දහකට බෝ සමිඳු ගුණ පසක් වේවා
ලිහා ගන්නට නොහැකි පැනයට බුදු ගුණෙන් විසඳුම් ලැබේවා
මහා බල සම්පන්න වූ බෝ සමිඳුගෙන් සෙත උදා වේවා
දහා සක්කම් ක⁣ටොළු දුරුවී අපේ දිවි මග සඵල වේවා

ආදි නව දැක පවින් වැළකී පිනෙන් ගත සිත පිරේවා
පෑදි පෑදී කුසල් බලයෙන් නිබඳ දිවි මග දිලේවා
රෑ දිවා කල තුනුරුවනෙ බලයෙන්ම හැම දුක් නිවේවා
බෝධි පූජා පිං කමෙන් අප පතන සහනය ලැබේවා


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.