චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව මේ හාවාගේ වසරයි

මැයි 19, 2023

 

ඡ්‍යොතිෂ්‍ය විෂය දකුණු ආසියාතික රටවලට පමණක් විශේෂ වූවකැයි බොහෝ දෙනා සිතති. නමුත් එක් එක් රටවල් අරබයා විවිධ වූ ඡ්‍යොතිෂ්‍ය ක්‍රම, අනාගතය පිළිබඳ අනාවැකි පැවසීම් පවතී. ඉන්දීය ඡ්‍යොතිෂ්‍ය අපේ රටේද පෙර සිටම වඩාත්ම ප්‍රචලිතව පැවැති ඡ්‍යොතිෂ්‍ය ක්‍රමවේදයයි. එහෙත් අපට වෙනත් රටවල ඇති ඡ්‍යොතිෂ්‍ය ක්‍රමද අත්හදා බැලිය හැකිය. ඒ සඳහා ඈ අප ඔබට ඉදිරිපත් කරන්නේ චීන ඡ්‍යොතිෂ්‍යයයි.

 

චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව ද රාශි 12ක් ඇති අතර එම රාශි සතුන් දොළොස්දෙනකුගෙන් සංකේතවත් කරයි. මේ සතුන් 12 දෙනා රාශි සඳහා තෝරා ගත් ආකාරය ගැන ජනප්‍රවාදයක් ඇත. එය චීන රාශි චක්‍රයේ මහා ධාවන කතාව ලෙසින් පැවසේ.

එම ජනප්‍රවාදයට අනුව ජේඩ් අධිරාජයා (ඔවුනට අනුව ස්වර්ගයේ අධිරාජයා පවසා ඇත්තේ) සතුන් දින දර්ශන සඳහා සලකුණු ලෙස නම් කරන් ඒ සඳහා තරගයක් පවත්වා පළමුව පැමිණෙන සතුන් 12 දෙනා මේ සඳහා තෝරා ගන්නා ලෙසද පවසා තිබේ.

මේ ආරංචිය කන වැකුණු සතුන් ඒ සඳහා සූදානම් වූ අතර මීයා වේලාසනින් අවදිව තරගය පවත්වන තැනට ගියේය. කෙසේ හෝ තරගයෙන් ජය ගැනීමට සිතූ මීයා ගවයා වෙනුවෙන් ගායනා කරන කොන්දේසිය ඇතිව ගවයාගේ පිටේ නැගී තරගයට සහභාගී විය. ගවයා තරගයේ පළමුතැනට එන විට තරගය අවසාන මොහොතේ දී මීයා ගවයාගේ පිටෙන් ඉදිරියට පැන පළමු තැන දිනා ගත්තේය. ඒ අනුව රාශි චක්‍ර යේ පළමු තැන මීයාටත් දෙවැනි තැන ගවයාටත් දොළොස්වැනි ස්ථානය දක්වා අනෙකුත් සතුන් පිළිවෙළින් කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටළුවා/ එළුවා, වඳුරා, කුකුළා, බල්ලා, ඌරා ලෙස තෝරා ගැනිණි. එක් රාශියකට එක් වසරක් අයත් වන අතර එක රාශියක් නැවත උදා වන්නේ වසර 12කට වරකි.

චීන ඡ්‍යොතිෂ්‍ය ක්‍රමවේදය අනුව 2023 යනු හාවාගේ වසරයි. මෙම රාශිද තවත් කොටස් පහකට බෙදෙන අතර ඒ අනුව මේ ජල හාවාගේ වසරකි. 2011- රන් හාවා, 1999- පෘතුවි හාවා, 1987- ගිනි හාවා, 1975- ලී හාවා, 1963- 2023 ජල හාවා.

මේ ජල හාවාගේ වසර ඔබට කෙසේ වේදැයි චීන ජ්‍යොතිෂ්‍යයට අනුව ඔබට දැනගැනීමට පුළුවන්. මේ වසර ඇරැඹෙන්නේ 2023 ජනවාරි 22 වැනි දින වන අතර අවසාන වන්නේ 2024 වසරේ පෙබරවාරි 09 වැනි දිනයි. හාවාගේ වසරේ මූලද්‍රව්‍ය වන්නේ ජල මූලද්‍රව්‍යයි. උපන් වසර 1963, 1975, 1987, 1999, 2011, 2023 යන අය හාවාගේ වසරේ උපන් අයයි.

මේ අනුව හාවාට අයත් වසර හාවාගේ වසරක උපන් අයට බොහෝ අංශවල වාසිදායක තත්ත්වයන් උදා කරයි. බොහෝ දුරට තනිකඩයන්ට තමාගේ සහකරුවා හෝ සහකාරිය මේ වසරේ දී හමුවනු ඇත. විවාහක අයට වසරේ මුල්‍ කාර්තුව කෙසේ වෙතත් පසුව යම් යම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේ. හාවාගේ වසරේ උපන් විවාහක අයට 2022 වසර අභියෝගාත්මක වසරක් විය. නමුත් ජල හාවාගේ වසර ඔබට සුබාරංචි ලබා දෙයි. ආදර ජීවිතය ප්‍රබෝධමත්ව ගත කිරීමට මෙන්ම නැවුම් බව රැක ගැනීමට උත්සුක වේ. ආදර අභිනයන් මඟින් ඔබේ සහකරු හෝ සහකාරිය අගය කිරීමෙන් සහ ඔහු හෝ ඇය පිළිබඳ සැලකිලිමත් වීමෙන් යහපත් සබඳතාවක් පවත්වාගත හැකිය. අනාගතය ගැන ඕනෑවට වඩා කරදර නොවී, හැකිතාක් මේ මොහොතේ ජීවත් වන ලෙස ඔබට පැවසිය යුතුය.

හාවාට ගැළපෙන අනෙකුත් රාශි අතර වඩාත් හොඳීන් ගැලපෙන්නේ, එළුවා(බැටළුවා), බල්ලා සහ ඌරා ය. නොගැළපෙන රාශි වන්නේ, මීයා හා කුකුළාගේ රාශි ය.

වෘත්තීය වශයෙන් යම් සාර්ථකත්වයක් ලබා ගත හැකි වසරකි. නමුත් ඔබේ වෘත්තීය වෙනස් කිරීමට සිතන්නේ නම් ඒ සඳහා ඔබ තවත් වසරක කාලයක් බලා සිටිය යුතුය. දැනට නියුතු රැකියාවේ වඩාත් හොඳීන් නියැළෙන්න. එය ඔබට ආශ්චර්යයක් කිරීමට ඉඩ ඇත. මූල්‍යමය වශයෙන් වසර හොඳ සහ නරක යන දෙකෙහිම මිශ්‍රණයකි. මුදල් ඉපයීමට හැකි වුවද ඔබේ නොසැලකිලිමත් කම නිසා එය අහිමි විය හැකිය. එබැවින් මුදල් වියදම් කිරීමේ දී කල්පනාකාරී වන්න. ඔබේ වෘත්තියේ හෝ ව්‍යාපාරවල ප්‍රගතියට උපකාර වන බලවත් පුද්ගලයන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමට ඔබට හැකි වනු ඇත. එසේම ඔබට විදේශයන්හි සිටින පුද්ගලයන් හමුවිය හැකිය. ඔවුන් ඔබේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කිරිමට උපකාරී වනු ඇත. වැරැදි දෙයට අවධානය යොමු කරනවාට වඩා ඔබේ උත්සාහය සාර්ථක කරගැනීම සඳහා නිවැරැදිව කළ හැකි දේ වෙත ඔබේ ශක්තිය යොමු කරන්න.

එමෙන්ම ඔබ විවාහක නම් ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ වෘත්තීය කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. ඔවුනගේ වෘත්තීය ගමනේ දී ඔවුන් දිරිමත් කරන්න. ඔවුන් විසින් සහායක් හෝ මඟපෙන්වීමක් සොයන විට ළඟ සිටීම ඔබ දෙදෙනාගේ බැඳීම තවදුරටත් දියුණු කරාවි.

හාවාගේ වර්ෂයේ උපන් අයට සුදුසු වෘත්තීන් වන්නේ, අධ්‍යාපන, කෘෂිකර්මය, සෞඛ්‍ය සත්කාර, පොලිසිය, අධිකරණ කටයුතු, දේශපාලනය යනාදියයි. හාවන් උගත්, බුද්ධිමත්, විද්වත් වන නිසා ඔවුන් හොඳීන් තම වෘත්තියේ කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත් කල අනතුරු ඇති වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

චීන ඡ්‍යොතිෂ්‍යයේ සෑම රාශියක්ම මූල ද්‍රව්‍ය 5න් එකක් සමඟ සම්බන්ධ වී ඇති අතර ඒවායෙන් විවිධ ගුණාංග නියෝජනය කරයි. හාවා රාශියේ එක් එක් අංගයන් නියෝජනය කරන පෞරුෂ ලක්ෂණ ඒ අනුව ලැබේ.

දැව හාවා ඉක්මන්, බුද්ධිමත්, දක්ෂ අය වේ. ගිනි හාවාට අයත් වසරවල උපන් අය සුහුරු, නම්‍යශීලී, පුළුල් අදහස් ඇති, අද්විතීය දසුන් මැවීමේ සමත් පුද්ගලයන් වේ. පෘතුවි හාවාට අයත් වසරවල උපන් අය ඍජු, යම් අභිලාෂයකට වැඩ කරන, අවංක, වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සමත් අය වේ. රන් හාවාට අයත් වසරවල උපන් අය උද්‍යෝගිමත්, කරුණාවන්ත හා ගතානුගතිකත්වය අගය කරන පිරිසකි. ජල හාවාගේ වසරවල උපන් අය මෘදු, අනුවර්තනය වීමේ හැකියාවැති, දුර්වල මානසිකත්වයකින් යුතු අය වේ.

මේ වසරේ දී හාවා රාශියේ උපන්අයට මූල්‍යමය වශයෙන් ද්විත්ව ප්‍රතිඵල ලැබේ. එක් අතකින් ඔබ අහිමි වූ බව සිතූ ආයෝජනවලින් මුදල් ආපසු ලබා ගත හැකිය. වෙනත් ආයෝජනයන්ද ඔබට විශාල ලාභයක් ගෙන දෙනු ඇත. නමුත් අනෙක් අතට අවදානම් සහිත ව්‍යාපාරවල ඉක්මනින් ආයෝජනය කිරීමේ දී ඔබ ප්‍රවේසම් විය යුතුය. නැතහොත් ඔබට සිදුවන පාඩුව ඔබේ සියලු ලාබ එකතුවට වඩා වැඩි විය හැකියි. වසර මැද වන විට ඔබේ වෙහෙස මහන්සි වී කළ වැඩ සඳහා ප්‍රසාද දීමනා ලැබිය හැකිය. මේ නිසා ඔබේ මූල්‍ය තත්ත්වය යහපත් වනු ඇත. ඔබේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසැකවම විපාක දෙන බැවින් ඉවසිලිවන්තව හා ඔබේ ඉලක්ක කරා යාමට දිරිමත්ව වැඩ කරන්න.

හාවා රාශියේ උපන් අය විටෙක අනවශ්‍ය දේ සඳහා මුදල් වියදම් කිරීමට පුරුදුව සිටිති. නමුත් මේ වසරේ ඔබ අනාගතයේ ඇතිවිය හැකි ගැටලු මඟහරවා ගැනීම සඳහා ඉතිරි කිරීම, ආයෝජනය කිරීම සහ ඥානාන්විතව වියදම් කිරීමට උනන්දු වන්න.

ඉතිරි රාශි පිළිබඳ මතුවට කියවමු.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.