ඉඩමක් තේරීමේ සිට පදිංචිය දක්වා වාස්තු දෝෂ මඟහැරීම

ඔක්තෝබර් 25, 2024

වාස්තු දෝෂ පිළිබඳව ශිල්පීන් මෙන්ම වාස්තු සේවාලාභීන් හෙවත් ගෙහිමියන්ද නිරතුරු කතා කරනු ලැබුවත් එවැනි දෝෂ හටගන්නා අවස්ථා හඳුනා නොගැනීම නිසා එවැනි දෝෂ මඟහරවා ගතහැකි උපායමාර්ග අත්හැරෙන බව අපගේ අත්දැකීමයි.

වාස්තු දෝෂ පිළිබඳ නිවැසියන්ගේ අවධානය ඉතා වැඩියෙන් ඇති වන්නේ නිවෙසක් ඉදිකර පදිංචි වී කල්යෑමේදී බරපතළ ආර්ථික, සමාජයීය ගැටලු මතුවන අවස්ථාවේදී ය. එහෙත් එසේ වන විට වාස්තු දෝෂ නිසා බරපතළ කඩා වැටීමක් සිදු වී අවසන් ය. ඒ දෝෂ විසඳා ගැනීමට අවශ්‍ය පිළියම් සිදු කිරීමටවත් හැකියාවක් නොමැති තරම් තත්ත්වයකට ඔවුන් ඒ වන විට මුහුණ දී තිබෙන්නට පුළුවන. මේ නිසා ඊට පෙර අදියර ගණනාවකදීම මෙවැනි හානිකර තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට තිබූ අවස්ථා පිළිබඳ අවධානය යොමු කිරීම මේ ලිපියේ ප්‍රධාන අරමුණ වෙයි.

ඉඩමක් මිලදී ගැනීම

අද බොහෝදෙනකු ඉඩම් කැබලි කර විකුණන තැන්වලින් ඉඩමක් වෙන්කර ගැනීමට හෝ මහල් නිවාස සංකීර්ණයකින් නිවෙසක් තෝරා ගැනීමට යොමු වී තිබේ. මෙවැනි අවස්ථාවනට අමතරව සම්ප්‍රදායිකව ඉඩමක් හෝ නිවෙසක් තෝරා ගැනීමක්ද ඉඳහිට විය හැකිය. ඒ කවර අවස්ථාවකදී වුවත් වාස්තු විෂයය පිළිබඳ යම් දැනීමක් තිබීම අතිශයින් වැදගත් වේ. හිස් ඉඩමක් මිලදී ගැනීමේදී පුරාතන වාස්තු ශාස්ත්‍රයට අනුව ඉඩමේ හැඩතල රැසක් පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙතත් වර්තමානයේ ඉඩම් කැබලි කිරීමේදී චතුරස්‍රාකාර ස්වභාවයක්, ආයත චතුරස්‍රාකාර ස්වභාවයක්, ඉඳහිට ත්‍රිකෝණාකාර ස්වභාවයක් ආදී ආකාර විනා සම්ප්‍රදායිකව දක්වන ලද විවිධාකාරයන් දක්නට නොලැබෙන බැවින් ඒවා පිළිබඳව එතරම් අවධානයක් යොමු කළ යුතු නැත.

එබැවින් ඉඩමක් තෝරා ගැනීමේදී ඉඩමට ඇතුළු වන පාර උතුරින් හෝ නැඟෙනහිරින් පිහිටා තිබීම ගොඩනැඟිලි සැලසුමට පහසුවක් බව සලකා කටයුතු කළ යුතු වේ. එසේ වුවත් පාර වෙනත් පැත්තකින් තිබුණ ද ගොඩනැඟිලි සැලසුම වාස්තු මැනවින් දන්නා අයකුගෙන් සිදු කිරීමෙන් ගැටලු විසඳා ගත හැකි බැවින් වටිනා ඉඩමක් නොසලකා හැරිය යුතු නොවේ.

ඉඩමේ බෑවුම

මේ පිළිබඳ කරුණු අතිශයින් වැදගත් දෙයක් බව අපගේ අවධානයට යොමු විය යුතු වේ. එසේම පසුව හෝ වැරදියට පිහිටි බෑවුමක් සකස් කරගත හැකි මට්ටමක් හෝ තිබේ දැයි සැලකීම වැදගත් වේ. ඒ අනුව නිරිත පහතින් පිහිටන පරිදි වූ බෑවුමක් සහිත ඉඩමක් මිලදී ගැනීමට පෙර කීපවරක් සිතා බැලිය යුතු වේ. දකුණු හෝ බස්නාහිර දිශාවට බෑවුම් වූ ඉඩම්ද උචිත ලෙස ගත යුතු නොවේ. එනම් ඊශාන දිශාවට කවර විශාල බෑවුමක් තිබුණ ද ඉඩම මිලදී ගැනීමට දෙවරක් සිතිය යුතු නොවේ. උතුරට හෝ නැඟෙනහිරට බෑවුම් වූ ඉඩම ද අතිශයින් ප්‍රතිඵලදායක බව වටහාගෙන ක්‍රියා කළ යුතු වේ.

ඉඩමේ හැඩය

හැඩය පිළිබඳව සංකීර්ණ විශ්ලේෂණයක් කිරීම අවශ්‍ය නොවූවත් නිරිත, දකුණ හෝ බස්නාහිර දික් වූ (උල් හැඩයක් ඇති) ඉඩම පදිංචියට එතරම් උචිත නොවේ. එවැනි අවස්ථාවක අසල්වැසියන් සමඟ එකඟතාවකින් මායිම් වෙනස් කර ගැනීමකට යා හැකි නම් මිස එවැනි ඉඩම් මිලදී ගැනීම එතරම් සුදුසු නැත. ඊශාන, උතුර, නැඟෙනහිර යන දිශාවනට දික් වූ ඉඩමක් මිලදී ගැනීමෙන් (බෑවුමද පෙර කී ලෙස සලකා) මිලදී ගැනීමෙන් පාඩුවක් සිදු නොවේ.

සැලසුමක් ඇඳීම

මිලදී ගත් ඉඩමේ සැලසුමක් ඇඳීමේදී ‘වාස්තු විද්‍යානුකූලව සැලසුම් ඇඳීම' යන පුවරු කියවා එය ඇඳීමට භාර දීමෙන් මහත් වියවුල් ඇති කරගත් අවස්ථා අපි දැක ඇත්තෙමු. වාස්තු විෂයය පිළිබඳ යමක් තමන්ද දැන ඔවුන් සමඟ කතා කරමින් ඒ දැනුම තර්කානුකූලව අවබෝධ කරගෙන මිස සැලසුමක් ඇඳීම පැවරීම නුවණැති ක්‍රියාවක් නොවේ. අඩුම තරමින් විෂයය පිළිබඳ ගැඹුරට දන්නා වාස්තු ශිල්පියකු ලවා සරල සැකිල්ලක් ප්‍රමාණ සහිතව ලබාගෙන එයද පදනම් කරගෙන ගොඩනැඟිලි සැලසුම ඇඳීමට යොමුවීම අතිශයින් වැදගත් වේ.

එහිදී අවම වශයෙන් ප්‍රධාන නිදන කාමරය නිරිතට යොදා (අපහසු නම් දකුණ හෝ බස්නාහිරට යොදා) නිවෙස සැලසුම් කළ යුතු වේ. කවුරුත් දන්නා පරිදි මුළුතැන්ගෙය ගිනිකොන දිශාවට යොදා ගැනීමද අත්‍යවශ්‍ය වේ. තමන් වාස්තු අදහන්නකු නොවේ නම් ගෙහිමියාට විකල්ප දිශාවක් ලෙස මුළුතැන්ගෙය (කුස්සිය) වයඹට වුව යෙදිය හැකියි. කිසිදු හේතුවක් මත ඊශාන, නිරිත, උතුර හා නැඟෙනහිර දිශාවන් මුළුතැන්ගෙයක් සඳහා නොගත යුතු වේ. මෙහිදී කුස්සිය යනු අන්කිසිවක් නොව ළිප හෝ වෙනත් රත්වන දේ පිහිටි තැන ලෙස සලකා සේදුම් බේසම් හෙවත් සින්ක් හෝ කපන කොටන තැන් හෝ ආහාර ගබඩා කරන තැන් ආදිය කවර තැනකට යෙදුවද වරදක් නොවේ. සාලය හෝ කෑම සාලය වැනි විවෘත තැන් සඳහා උතුර, නැඟෙනහිර හා ඊශාන (වඩාත් උචිතයි) යොදා ගැනීම පිළිබඳවද සැලකිය යුතු වේ. ගෘහ අංග දිශාගත කිරීම දීර්ඝව සාකච්ඡා කළ යුත්තක් වුවත් මේ සරල කරුණු හෝ සලකා නිවාස සැලසුම ඇඳ ගැනීම අතිශයින් වැදගත් වේ.

නිවෙස ඉදිකිරීම

ඊළඟට නිවෙස ඉදිකිරීමේදී සැලසුම කවරාකාර වෙතත් පෙදරේරුවන් හා වඩුවන් විසින් විවිධ වෙනස්කම් ගෙහිමියනට යෝජනා කිරීම ස්වභාවයයි. මෙහිදී ඔවුන්ගේ අදහස් ලබා ගැනීමේ වරදක් නැතත් ඒ මත සැලසුමේ මූලික වෙනස්කම් සිදු නොකළ යුතු වේ. නිවෙස ඉදිකිරීමේ දී වැසිකිළියක් හෝ දෙකක් අලුතින් පිහිටුවීමේ යෝජනා ඔවුන්ගෙන් ලැබෙන්නට පුළුවන. එවැනි අවස්ථාවකදී වැසිකිළි පිහිටුවීම කිසිදු හේතුවක් මත ඊශාන, නිරිත, උතුර හෝ නැඟෙනහිර නොකළ යුතු වේ. වයඹ දිශාවට වැසිකිළි වඩාත් උචිත වන අතර දකුණ හෝ බස්නාහිර ද (නිරිතෙන් හැකිතාක් දුරස් කර ) යොදා ගැනීම අනුචිත නොවේ.

එසේම ඉදිකිරීම සිදු කරගෙන යෑමේදී නිවැරැදි ලෙස කල්පිත ලෙස ගොඩනැඟිල්ල හතරැස් කර එහි කොන් යා කර මැද සොයන වැරදි ක්‍රමවලට නොයා, නිවෙසේ මධ්‍යය යළි සලකුණු කර එය මත හෝ ඉතා ආසන්නයෙන් අත්තිවාරමක් හෝ බිත්තියක් නොයදීමට වග බලා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන්නේ නිවසේ මායිම් බිත්ති නිවැරැදිව මැන තැනූවද විවිධ නොසලකා හැරීම් හා වෙනස් කිරීම් නිසා නිවෙසේ ඇතුළත බිත්ති වෙනස්වීමේ යම් ඉඩකඩක් ඇති බැවිනි. වාස්තු විෂයය මැනැවින් දන්නා සැලසුම් ශිල්පියකු විසින් කෙතරම් නිවැරැදි ලෙස ගොඩනැඟිලි සැලසුම සකස් කර දුන්නද නිවෙස ඉදිකරන ශිල්පීන් විසින් කරන යම් වෙනස් කිරීමක් බරපතළ හානි ඇති කරන්නක් විය හැකි බවද අප විසින් සැලකිය යුතු වේ.

සුළු වෙනස් කිරීම්

අවසානයේ වැදගත් වන කරුණ වන්නේ පදංචියේදී ගෙහිමියන්ගේ ඒකමතික අභිමතය පරිදි කරනු ලබන වෙනස්කම් වේ. නිදසුනක් ලෙස සැලසුමේ ප්‍රධාන නිදන කාමරය නිරිතට පිහිටුවා තිබූවත් පදිංචියේදී එය පුතෙකුට දී පුතාට හෝ දුවට හෝ සේවකයනට වෙන් කර ඇති කාමරයක් තම නිදන කාමරය ලෙස භාවිත කිරීමට ගෙහිමියා තීරණය කරන අවස්ථා අපි බොහෝ දැක ඇත්තෙමු. මුළුතැන්ගෙය ගිනිකොනට හෝ වයඹට යොදා තනා ඊශානයේ කුඩාවට ‘වතුර ටිකක් උණු කර ගැනීමට' යැයි කියා ඉඩක් තබා එය සෑම රාත්‍රියකම භාවිත කරන නිවාස අපි වාස්තු පරීක්ෂණවලදී දැක ඇත්තෙමු. මෙය සුළුවෙන් තනනු ලැබූවද බරපතළ හානිකර තත්ත්වයන් ඇති කළ හැකිය.

බොහෝ නිවාසවල පදිංචියේදී සිදුවන විශාලම ගැටලුව වන්නේ අනවශ්‍ය තරම් බඩුබාහිරාදිය නිවසට ඇතුළත් කර ගැනීමයි. නිවෙසේ පවත්වන පි‍්‍රයසම්භාෂණයකදී අවශ්‍ය වන බැව් කියමින් පුටු, මේස, සෝෆා රැසකින් නිදහස්ව පැවති විවෘත සාලය අවහිර කරගෙන ඉඳහිට ඒවා භාවිත කරන නිවාසද අපගේ අවධානයට ඕනෑ තරම් හසුවී තිබේ. මෙවැනි ගැටලු මඟින්ද නිවසේ වාස්තු වියවුල් ඇති කරන බවද අපි මෙහිදී අවධාරණය කර සිටිමු. එබැවින් නිවැරැදි තීරණ මෙන්ම සරල බව වාස්තු දෝෂ අවම කිරීමට හේතු වන බව ද පැවසිය යුතු වේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.