මිලට ගන්න නිවෙසේ වාස්තු ඔබම බලා ගන්න

ජූලි 12, 2024

 

අලුතින් නිවසක් මිලදී ගන්නකු විසින් එය තෝරා ගැනීම සඳහා වාස්තු ශිල්පියකු යොදා ගැනීමට යෑම මිල අධික කටයුත්තක් විය හැකියි. එහිදී කළ යුත්තේ යම් පමණකට වාස්තු නිවරද වූ නිවෙසක් දෙකක් තෝරාගෙන එහි තත්ත්වය විශේෂයෙන් සොයා බැලීමට හා ප්‍රතිකර්ම සිදු කර බලගන්වා ගැනීම සඳහා පමණක් වාස්තු ශිල්පියා කැඳවා ගැනීමයි. එවිට නිවාස ගණනාවක් පරීක්ෂා කිරීම සඳහා මුදල් වැය කරනු වෙනුවට එක් නිවෙසක් හෝ දෙකක් හොඳින් කල්වේලා ගෙන නිවරද ලෙස පරීක්ෂා කර ගත හැකි වේ.

එසේ වුවත් මේ සඳහා වාස්තු ශිල්පය පිළිබඳව මූලික අවබෝධයක් වත් නිවෙස මිලදී ගැනීමට අපේක්ෂා කරන්නා සතුව තිබිය යුතු වේ. මේ ඒ අවබෝධය උදා කර දීමේ වෑයමයි.

මුලින්ම නිවෙසේ ප්‍රධාන දොර දිශා ගැන්වීම පිළිබඳව සැළකිලිමත් විය යුතු යි. එහිදී ප්‍රධාන දොර උතුරු දිශාවට හෝ නැඟෙනහිර දිශාවට හෝ ඒ ආසන්න දිශාවකට යෙදී ඇත්තේ දැයි විමසා බැලීම ඉතා වැදගත් වේ.

එසේ නොයෙදී දකුණට හෝ බස්නාහිරට ප්‍රධාන දොර පිහිටා ඇත්තේ නම් එය ශුභ ශක්තීන් නිවෙස වෙත කැඳවා ගැනීමට මහත් බාධකයක් වනු ඇත. විශේෂයෙන් කිය යුත්තේ දකුණ හා බස්නාහිර අතර පිහිටි නිරිත දිශාවට කිසි ලෙසකින් ප්‍රධාන දොර පිහිටුවීම නොකළ යුතු යි.

ප්‍රධාන දොර පෙර කී පරිදි පිහිටුවනු ලබන විට නිවෙසේ ප්‍රධාන සාලයද බොහෝ විට උතුර, ඊශාන, නැඟෙනහිර හෝ ඒ ආසන්න දිශාවකට යෙදීමට ඉඩ තිබේ. එය නිවෙසේ ශි‍්‍රයාව වඩවන ස්වභාවයක් ඇති කරයි.

එහිදී බාහිර පුද්ගලයන්ද සම්බන්ධ වන ගෘහ අංගයක් ද වන බැවින් නිවැසියන් හැකිතාක් සාලයේ නිරිත දිශාවේ අසුන් පනවා ගෙන උතුරු, නැඟෙනහිර, ඊශාන දිශාවනට හැරී සිටීම වඩාත් යහපත් වේ. අභියෝගාත්මක අමුත්තන් සාලයේ පිහිටුවිය යුත්තේ උතුරු, නැඟෙනහිර, ඊශාන දිශාවේ පිහිටි අසුන්වල වන අතර ඔවුන් දකුණ, බස්නාහිර, නිරිත ආදී දිශාවනට හැරී කටයුතු කිරීම නිවැසියාට බොහෝ සෙයින් හිතකරයි.

නිවෙසක මුළුතැන්ගෙය අතිශයින් වැදගත් අංගයකි. අලුතින් නිවෙසක් මිලදී ගැනීමේ දී එය ගිනිකොන දිශාවේ ඇත්තේ නම් මහත් සක්‍රීය වාසනාවන්ත නිවෙසක් හිමිකරගත හැකියි. ගිනිකොනට මුළුතැන්ගෙය යෙදීම අසීරු අවස්ථාවකදි ඒ සඳහා විකල්ප වශයෙන් උචිතම දිශාව වන්නේ වයඹයි.

එබැවින් වයඹ දිශාවේ මුළුතැන්ගෙය පිහිටි නිවෙසක්ද අයහපත් නොවේ. ඒ කෙසේ වුවත් මෙහිදී වැදගත්ම කරුණ වන්නේ ගිනිකොන, නැඟෙනහිරටත්, වයඹ උතුරටත් ආසන්න බැවින් මුළුතැන්ගෙයි ඇති ළිප හා වෙනත් රත්වන මෙවලම් උතුරට හා නැඟෙනහිරට ළං නොවන පරිදි මෙසේ නිවරද මධ්‍යයේ තබන ලද දිශා දක්තයකින් බලා තහවුරු කර ගැනීමයි.

නිදන කාමර පිහිටුවීමට උචිතම දිශාවන් වන්නේ දකුණ, බස්නාහිර, නිරිත දිශාවන් වේ. මේ අතරින් නිරිත දිශාව ප්‍රධාන නිදන කාමරය සඳහා උචිතම දිශාව වේ. උතුර, නැඟෙනහිර, ඊශාන දිශාවකට නිදන කාමරයක් යෙදී ඇත්තේ නම් එය වියපත් භවතුනට හෝ අධ්‍යයන වයසේ පසුවන දූ දරුවන් සඳහා පමණක් යොදා ගත යුතු වේ.

අද නාන කාමරය යනුවෙන් අදහස් වන්නේ වැසිකිළියක් ද සහිත කුටියකි. එබැවින් ඊට උචිතම දිශාව වයඹයි. එසේ නොමැති අවස්ථාවේදී නිරිතෙන් ඈත් වූ දකුණ හෝ බස්නාහිරද මේ සඳහා යොදාගත හැකියි. කිසිවිටක උතුර, නැඟෙනහිර, ඊශාන, නිරිත යන දිශාවන් වැසිකිළි සහිත නාන කාමර සඳහා යොදා නොගත යුතු ය.

නිවෙසක් වාසනාවන්ත වීම සඳහා හොඳ ප්‍රමාණවත් ආලෝකයක් වැටීම අවශ්‍යතාවයකි. එහෙත් එයට දිශාවක විග්‍රහයක් තිබිය යුතුයි. උතුර, නැඟෙනහිර, ඊශාන දිශාවෙන් හැකිතාක් ආලෝකය නිවෙසට ලබා ගත යුතු මුත් විශේෂයෙන් නිරිතේ අඳුරක් පැවතීමේ විශේෂ ගැටලුවක් නොමැත.

නිවසේ වර්ණ භාවිතය මූලිකව වැදගත් කරුණක් නොවෙතත් සුදු, කහ, කොළ වැනි වර්ණ භාවිතය වඩාත් උචිත වේ. කලු රතු වැනි වර්ණ විශේෂ අවශ්‍යතාවකදී හැර භාවිතයට නොගත යුතු වේ. ළා රෝස, ළා නිල් වැනි වර්ණ ළා වර්ණයන් ලෙස භාවිතයට ගැනීමෙන්ද ශුභඵල උදාකර ගත හැකියි.

ඖෂධීය හා සුවඳවත් පැළ උතුර, නැඟෙනහිර, ඊශානයේත් පල ඇති ගස් වයඹේත් දැවැන්ත අතු පතර විහිදන ගස් දකුණ, නිරිත, බස්නාහිර, දිශාවන්හිත් සිටුවීමෙන් විවිධ ශුභ ශක්තීන් ලබා ගැනීමටත් අශුභ ශක්තීන් ඉවත් කිරීමටත් හැකිවේ.

මෙවැනි බොහෝ සරල කරුණු දැන සිටීමෙන් නිවෙසක් මිලදී ගැනීමේ මූලික තීරණය ගත හැකියි. වඩාත් ප්‍රතිඵල සඳහා වාස්තු විශේෂඥ උපදෙස් පැතිය හැකි අතර සුළුදෝෂ පිරමීඩ යොදා නිවාරණය කළ හැකි බවද සැළකිය යුතුයි.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.