පෞරුෂය හීන කරන වාස්තු පිහිටීම්

ජනවාරි 26, 2024

පාණදුර ප්‍රදේශයේ දැවැන්ත පැරණි නිවෙසකි. නම කියූ සැණින් අදත් එදත් හොඳින් දන්නා ප්‍රකට ප්‍රභූ පරපුරකට නෑකම් කියන අයකු මුත් සමීප ඇසුරකින් යුතු අය අතර පෞරුෂ හීන බව පිළිබඳව ද එවැනිම ප්‍රසිද්ධියක් උසුලන එතුමන් විසින් ඒ නිවෙස තරුණ ව්‍යාපාරිකයකුට විකුණා තිබේ. නව අයිතිකරුගේ මිත්‍රත්වය මත නිවෙසේ වාස්තු ස්වභාවයන් විමසීමේදී පෙර අයිතිකරුගේ පෞරුෂයේ පිළිබිඹුවක් බවට ඒ නිවෙස පත්ව ඇති බව පෙනිණි.

නිවෙසටම සරිලන දැවැන්ත පෝටිකෝවත් පෙර පැවති පුළුල් බරාඳය වර්තමානයේ වීදුරුවලින් ආවරණය කර ඇති අයුරුත් කිසියම් නොගැළපීමක් පෙන්නුවද තවමත් නිවෙසේ ඇති බරසාර ප්‍රභූත්වය සපුරා ගිලිහී නැති බව පෙනේ.

ප්‍රධාන නිදන කාමරය ඉතා නිවැරැද ලෙස නිරිත – දකුණ දිශාවනට යොදා ඇති අතර අප කතා නායකයාණන්ගේ කාමරය ඉහළ මහලේ උතුරු – වයඹ දිශාවට වන්නට පිහිටුවා තිබිණි. මුළුතැන් ගෙය පිහිටා තිබුණේ ඈත වයඹේය. ගිනිකොන දිශාවත් දකුණු දිශාවත් අතර පැවැති අලංකාර දැවැන්ත කණු සහිත පිල අද ප්‍රධාන ද්වාරය පැත්තේ මෙන්ම වීදුරු ආදිය සහිතව ආවරණය කිරීමෙන් තවත් දිගැති කාමරයක් බවට පත් වී තිබිණි. නිවෙසේ මධ්‍යයට ආසන්නයෙන් විසිතුරු පැළ වර්ග ගණනාවක් සහිත විශාල පෝච්චි තබා අලංකාර කර ඇති මැද මිදුලක් වුවත් අද එය වැසි ජලය නොවැටී ආලෝකය ලැබෙන පරිදි පාරදෘශ්‍ය (එහා මෙහා පෙනෙන) පුවරු යොදා වසා තිබිණි.

මේ නිවෙස පරීක්ෂාව සඳහා වසර සියයක් පමණ වන අතින් ඇල්ලිය නොහැකි තරම් පැරැණි නිවාස සැලසුම් කටුසටහන් ගණනාවක්ද දක්නට ලැබිණි. වාස්තු පරීක්ෂාවේදී එහි අදාළ ගෘහ පිණ්ඩය (ඒජබඪමඥ ඒපඥච) වෙන් කිරීමේදී පැරැණි කටුසටහන් කිසිවක් භාවිත කළ නොහැකි වූයේ එහි විවෘතව තිබූ වැරැන්ඩාවන් ආදී සියල්ල ආවරණය කොට නිවෙසට බද්ධ කොට ගෙන ඇති බැවිනි. ඍෂි භාෂිතයද අනුව ගෘහ පිණ්ඩයට අයත් වන්නේ අත්තිවාරම්, බිත්ති හා පියස්ස ඇතුළත් කොටස පමණක් බැවින් බිත්ති මායිම අලුතින් වෙනස් වී ඇති බව සලකා යළිත් ගොඩනැඟිල්ලේ “වට මැනීම” සිදු කරන ලදි.

ඉහළ මහලේ උතුරු වයඹ දිශාවේ නිදන කාමරයක් භාවිත කිරීමෙන් පවුලෙන් පිටස්තර මනෝ ලෝකවල ජීවිතයකට හුරු වන මුත් යහපත් අධ්‍යාපනික හා ආර්ථික තත්ත්වයක් හිමි වන බව පැහැදිලි විය. පසු කලෙක මවුපිය ඇවෑමෙන් තමන් දැවැන්ත ප්‍රධාන නිදන කාමරයෙහි වාසය ඇරඹීම සිදු වී ඇත්තේ තුරුණු විය ඉක්මවා බොහෝ කල් ගිය පසුය. එයින් අත්වූයේ බලවත් බාහිර පරිපාලනමය ගුණයක් හා ඇතුළතින් පෞරුෂ හීන දීන ස්වභාවයක් සහිත වීමත්ය. පුරුෂයකුට යම් බලවත් ස්ත්‍රී ලක්ෂණ පැවතීමටද මේ තත්ත්වය මහත් සේ බලපෑ හැකියි.

මේ තත්ත්වය නිසා නිදන කාමර පරිහරණය යන්න පුද්ගල පෞරුෂය කෙරෙහි අතිශයින් බලවත් ලෙස බලපාන බව අප අවබෝධ කර ගත යුතු වේ. මෙහිදී වයඹ දිශාව පාසල් වියේ වන දැරිවියනට උචිත නොවන්නේ පවුලෙන් පිටස්තර වීම ඉක්මවා අඩු වයස් විවාහයකට පත්වීමේ ඉඩකඩක් ඇති විය හැකි බැවිනි. පිරිමි දරුවන්ගේ වුව පවුලට ඇති බැඳීම අනවශ්‍ය ලෙස අඩු වන බවත් දැනුණහොත් වහවහා ඒ නිදන කාමරයෙන් ඒ දරුවන් ඉවත් කිරීමට මවුපියන් කටයුතු කළ යුතුව තිබේ. ඉන් අනතුරුව අමුත්තන්ගේ කාමරයකට එය වෙන් කොට තැබීමත් කිසියම් භාණ්ඩ අලෙවියකට අදාළ නිමි භාණ්ඩ ගබඩාකොට තැබීමකටත් වයඹ දිශාව උචිත වේ.

වගකීම් දැරිය යුතු වයසට පැමිණෙන දූ දරුවන්ගේ නිදන කාමර උතුර, නැඟෙනහිර, ඊශාන ආදි දිශාවල පිහිටුවීම නොකළ යුතු වන්නේ තවදුරටත් “ශික්ෂක භාවයේ” (අනුන්ගේ මෙහෙයවීම අපේක්ෂාවෙන් ගත කරන ජීවිතයක්ව) පැවතීම ප්‍රවර්ධනය විය හැකි බැවිනි. නොඑසේ වූ වගකීම් සහිත ජීවිතයක් අපේක්ෂා කරන්නේ නම් නිරිත දිශාව ගත නොහැකි නම් අඩුම තරමෙන් එයට යාබද දකුණු හෝ බස්නාහිර දිශා මේ සඳහා යොදා ගැනීම අත්‍යවශ්‍ය වේ. පාසල් වියේ පසුවන දැරියන් සඳහා ගිනිකොන නිදන කාමර යොදා ගැනීමේ වරදක් නැත. එවිට අප සංස්කෘතික වශයෙන් දැරිවියන් සමාජශීලි නොකිරීමට පරිස්සම් වීමෙන් පත් වන පසුගාමී ස්වභාවය දිශාවේ පවත්නා තේජෝ ගුණයෙන් තුලනය කර ගත හැකි වේ. පිරිමි දරුවන්ගේ නිදන කාමර ගිනිකොනට යෙදීමෙන් ඔවුන් මඳ කලහකාරි මුරණ්ඩු ගති ඇති විය හැකියි.

අදාළ නිවෙසේ අලුත් තත්ත්වයන් සලකා බලමින් වැරැන්ඩාවක්ව තිබී වීදුරුවලින් වට කරගත් ගිනිකොන තීරුවට මුළුතැන්ගෙය පිහිටුවීම නිර්දේශ කරනු ලැබීය.

නිවැරැදි දිශාව වූ නිරිතටත් අයත් වන පරිදි ප්‍රධාන නිදන කාමරයේ පොළොව නිවෙසේ ඊශානයට වඩා පහතින් පිහිටා තිබීමෙන් බිඳ වැටිය හැකි ආර්ථික තත්ත්වය හා ස්වස්ථතාව (සෞඛ්‍ය) පිළිබඳ කරුණු අනුව එය පිරවිය හැකි වෙතත් එයට සැලකිය යුතු මුදලක් වැය වන බව සළකා මූලික ගුණන පිරමීඩ 18ක් යොදා දෝෂය නිවාරණය කර ගන්නා ලදි. නිවෙසේ මධ්‍යය සියුම්ව විමසීමේදී විවෘත අවකාශයක පිහිටා ඇති බැවින් දෝෂයක් මතු නොවෙතත් තවදුරටත් නිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව (ඛ්ධඵථඪජ ඡ්දඥපඨර ධ්දබඥදඵඪබර) වැනි දියුණු කිරීමට මූලික ගුණන පිරමීඩ 9ක් යොදා මධ්‍යය බලගැන්වීම සිදු කරනු ලැබීය.

ප්‍රධාන දොර පිහිටුවා ඇති ස්ථානය පහළොවේ නිවැරැදි පාද සටහන අනුව 4 වන පාදයේ වැරැදි ලෙස පිහිටුවා ඇතිද ශක්තිමත් ගලින් හෝ කොන්ක්‍රීට්වලින් හෝ ද්වාර පාදමක් සකසා ඇති බවක් පෙනුණෙන් වෙනසක් සිදු කිරීම අවශ්‍ය නොවීය. මෙහිදී පාද සටහන සමඟ පෘෂ්ඨ කම්පනය පිළිබඳ නූතන පර්යේෂණද සසඳා ඇගයීම සිදු කළ බැවින් එකී ද්වාරයේදී විශේෂ ගුරුත්ව ක්ෂේ්ත්‍රීය විපර්යාසයන් ඇති නොවීම නිශ්චිත කොට අවබෝධ කර ගැනීමෙන් පසු මේ තීරණයට එළඹිය හැකි විය.

පාණදුර – හොරණ ප්‍රධාන මාර්ගයට මායිම්ව මේ නිවෙස පිහිටා ඇති බැවින් පසු කලෙක මාර්ගය පුළුල් කිරීම හේතුවෙන් නිවෙස මාර්ගය ආසන්නයට පැමිණ තිබේ. එසේ වුවත් මාර්ගය වැටී ඇත්තේ නිවෙසට දකුණෙන් වන බැවින් මෙසේ මිදුල කුඩා වීමෙන්ද වාස්තු දෝෂයක් ඇති නොවීම අවබෝධ කර ගත හැකි විය. එසේම අක්කරයක පමණ තවමත් ඉතිරිව ඇති ඉඩමෙන් වැඩි කොටසක් උතුරට වැටී ඇති බැවින් නිවෙසට ලැබෙන අන්තරීක්ෂ ශක්තිය ප්‍රමාණවත් බව පසක් විය.

උතුරට යොදා ඇති සේවක නිවාස හා ගබඩා ඉවත් කළ යුතු වෙතත් එය හදිසියේ කළ හැක්කක් නොවන බැවින් පසුව සිදු කිරීමට තීරණය කරමින් වාස්තු පරීක්ෂාව හා ප්‍රතිකර්ම හමාර කරනු ලැබීමු.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.