වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
මට්ටම් කීපයක පිහිටි නිවසක වාස්තු නිරවුල් කරන හැටි
දිශා දක්නයක් (මාලිමාවක්) පමණක් ගෙන නිවස මැද සිටගනිමින් වාස්තු නිර්දේශ නිකුත් කරන ශිල්පීනට නිවස විවිධ මට්ටම්වල ඉදි කරනු ලැබූවත් නැතත් ගැටලුවක් මතු නොවේ. එසේ නොමැතිව නිවැරදි ලෙස පවත්නා ඉදිකිරීම මැන වාස්තු පරීක්ෂා කරන්නකුට ඊට වඩා නිශ්චිත සිද්ධාන්තයන්ගේ මූලික අවශ්‍යතාවක් ඇති බව සිහිපත් කළ යුතු වේ.
නිවසේ එක් කොටසක ඉහළ මහලේ මට්ටමේ තවත් කොටසක පහළ මහල පිහිටා ඇති විට නිවසේ මධ්‍යය සොයා ගැනීමට සිදු කරනු ලබන මැනීම සඳහා නිවසේ කවර කවර කොටස් අදාළ කරගත යුතු වන්නේ දැයි පැහැදිලි කර ගත යුතුව තිබේ. මෙහිදී ඉහළ මට්ටමක පිහිටි කොටස පවතින්නේ පොළොව මත ද කණු කීපයක් මතද යන්න අනුව සිදුවන වාස්තු සිද්ධාන්තමය වෙනස අප විසින් නිශ්චිත කොට වටහා ගැනීම සඳහා වාස්තු විද්‍යාව පිළිබඳ නූතන බටහිර විද්‍යාත්මක පදනමද විමසා බැලීමට අපට සිදුවේ.
ඉහත 1 වැනි රූපයේ දක්වා ඇති නිවසේ ඉහළ මහල පිහිටා ඇත්තේ භූමිය මත වුවත් 2 වන රූපයේ දක්වා ඇති නිවසේ ඉහළ මහල පිහිටා ඇත්තේ පහළ මහල හා අමතර කණු කීපයක් මත වේ. මේ අවස්ථාවේ දී ඉදිකිරීමේ භාවිතය බොහෝ සෙයින් සමාන වුවත් වාස්තු වශයෙන් බරපතළ වෙනසක් ඇති බව මෙහිදී අවධාරණය කළ යුතු වේ.
නිවසක මධ්‍යය සෙවීම සඳහා සාම්ප්‍රදායිකවත් “ගෘහ පිණ්ඩය” හෙවත් සක්‍රිය වර්ගඵලයක් (වපසරියක්) නිශ්චිත කර ගත යුතු වේ. මෙසේ සක්‍රිය ගෘහ පිණ්ඩය සඳහා මූලික අර්ථකථනය වන්නේ අත්තිවාරමක්, බිත්තියක්, පියස්සක්( වහලයක්) විසින් වට කර ඇති වපසරියයි. ඒ අනුව වැරැන්ඩාවක් හෝ පිලක් ගෘහ පිණ්ඩයට අයත් නොවේ. මධ්‍ය සොයා ගැනීමට පහසු සරල ගෘහ හැඩයක් ලබා ගැනීම සඳහා බොහෝ වාස්තු ශිල්පීන් අත්තිවාරමක් ඇත්තේ ය යන්න සලකා වැරැන්ඩාව, පිල, නිවස වටා බිත්තියට පිටතින් යොදා ඇති විවෘත පඩි ආදියත්, විවෘතව කණු මත පිහිටුවා ඇති ගරාජය (රියපොළ) වැනි ස්ථානයත් මැන සකසා ගැනීමක් සිදු කරන බව පෙනේ. එසේ වුවත් සෘෂි භාෂිතය අනුවත් ගෘහ පිණ්ඩයට ඒ කිසිවක් අයත් නොවේ.
නිවස අභ්‍යන්තරයේ පිහිටි මැද මිදුල්, කෝට්යාඩ් ආදිය ද පියස්සක් නොමැති බැවින් අයත් නොවන බවත් නිශ්චිත වටහා ගත් ශිල්පියකු පවා ඒ කොටස් ඉවත්කර මධ්‍යය සොයා ගන්නා ආකාරය වටහා ගන්නේ අසීරුවෙනි. මෙයට අමතරව අත්තිවාරමක් නොමැතිව පොළොව මත සිමෙන්ති හෝ වෙන යම් මතුපිටක් සකසා ඒ මත පුවරු සැහැල්ලු බිත්ති ලෙස යොදා ඉදි කරනු ලැබූ කොටස්ද ගෘහ පිණ්ඩයට අයත් නොවේ. මෙසේ පැහැදිලි කර ගත් පසු “වර්ගය සීහුම් කිරීම” සඳහා යැයි පවසමින් “කරු අත්තිවාරම්” නිර්දේශ කිරීම කොතරම් නිරර්ථකද දැයි සැමට වැටහෙනු ඇත. එසේ බොරු අත්තිවාරම මත බිත්ති මෙන්ම පියස්සක්ද නොමැතිවීම නිසා කිසි ලෙසකින් ගෘහ පිණ්ඩයට එවැනි කොටස් අයත් නොවේ.
මේ කරුණු මත පදනම් වී අපගේ නිවාස සැසඳීමට පිවිසෙන්නේ නම් පොළොවේ වැදී (ස්පර්ෂ වී) ඇති අත්තිවාරම්, බිත්ති හා පියස්ස සහිත කොටස් ඒ නිවසේ ගෘහ පිණ්ඩය ලෙස සැලකීමට සිදුවේ. ඒ මත ගොඩනැඟෙන වෙනත් නිවසක් මහල් නිවසක් ලෙස පවතියි නම් පරිහරණය (භාවිතය) අනුව කොටස් කර ගැනීමේ වරදක් නැතත් එහිදී පෙර ද දක්වනු ලැබූ නූතන වාස්තු විද්‍යා සිද්ධාන්ත පිළිබඳ අවබෝධය ද අවශ්‍ය වේ.
ඊශානයේ සිට නිරිත දක්වා (සාපේක්ෂ ලෙස) ගලා එන අන්තරීක්ෂ ශක්තිය භූගත වීමෙන් පසු පොළොවට දරාගත හැකි උපරිම ශක්තිය හිමිවූ පසු අමතර (අතිරික්ත) ශක්තිය පොළොවෙන් ඉවතට (පොළොවට ලම්භකව ඉහළට) නිකුත් වීම වන අතර එයට භූ ශක්තිය ලෙස වෙනම නමක් යොදනු ලැබේ. නිවසක මධ්‍යය ලෙස සෙවිය යුත්තේ මෙකී භූ ශක්තියේ මධ්‍යය (භූ ශක්ති කදම්බයන්ගේ කේන්ද්‍රය හෙවත් සම්ප්‍රයුක්තය ක්‍රියා කරන ලක්ෂ්‍යය) බව ඉතා පැහැදිලිව වටහා ගත යුතු වේ.
මේ අනුව ඉහත 1 වැනි රූපයේ ඇති නිවසේ ගෘහ පිණ්ඩය වන්නේ තිරස් ලෙස පොළොවේ වැදී ඇති නිවසේ කොටස් පමණි. ඒ කොටස්වලද පෙර කී අත්තිවාරම්, බිත්ති හා පියස්ස ඇතුළත් කොටස් පමණක් මෙකී ගෘහ පිණ්ඩය සඳහා යොදා ගනු ලැබේ. ඒ අනුව සැලකීමේ දී 2වන රූපයේ කණු මත පිහිටුවා ඇති නිවාස කොටස් පෙර භාවිතයම තැබුවද පොළොව හා ස්පර්ෂ නොවන බැවින් (භූ ශක්තිය හා සම්බන්ධ නොවන බැවින්) ගෘහ පිණ්ඩයට අයත්ව සලකනු නොලැබේ.
මෙසේ තර්කානුකූලව ගෘහ පිණ්ඩය නිරවුල් කර නොගතහොත් අවශ්‍ය කොටස් නොසලකා හැරීමෙන් හා අනවශ්‍ය කොටස් ඈඳා ගැනීමෙන් (සම්බන්ධ කර ගැනීමෙන්) ගෘහ පිණ්ඩය වෙනස් වී නිවසේ මධ්‍යය හෙවත් බ්‍රහ්ම බිංදුව බරපතළ ලෙස වෙනස් වේ. මෙසේ මධ්‍යය වරදවා ගත් විට දිශාවන් සැලකීමේ දී පදනම ලෙස මධ්‍යය යොදා ගන්නා බැවින් දිශාවන් සියල්ල ද වැරදී යනු ඇත. දිශාවන් වරද්දා ගත් පසු වාස්තු පරීක්ෂා කිරීමේ හෝ නිර්දේශ ඉදිරිපත් කිරීමේ තේරුමක් නැත.
එවැනි අවස්ථාවලදී මේ සියලු කරුණු සටකපට ලෙස මඟහැර යෑම බොහෝ ශිල්පීන් සිදු කරන අයුරු හාස්‍ය ජනකයි. ඒ වෙනුවට විෂයය මැනැවින් හදාරා උක්ත ගැටලුව නිරාකරණය කර ගනිමින් නිශ්චිතව විශ්වාසයකින් යුතුව මෙකී කාර්යයේ යෙදීම පින්කමක් සේ සැලකිය යුතු වේ. එනයින් මුදල්ද ලබා ගනිමින් පිනක් සිදුකර ගැනීමට හැකි මෙවැනි වෘත්තීන් අපහරණය කිරීම පව් රැස් කිරීමක් ලෙස සැළකුව මනාය.
බෑවුම් සහිත වීම නිසා විවිධ මට්ටම්වල තැනී ඇති නිවාස පිළිබඳව ගිංතොට ප්‍රදේශයේ අපූරු අත්දැකීමක් මෙහිදී අපට සිහිපත් වේ. මෙසේ වූ ඉදිකිරීමේ ඉහළින්ම පිහිටා ඇති කොටසේ සාලයත්, ඊළඟ කොටසේ කෑම සාලය හා කාමර දෙකක් හා පහළම කොටසේ මුළු තැන්ගෙය හා ප්‍රධාන නිදන කාමරය පැවතිණි. මෙහිදී වී තිබූ අභාග්‍යය නම් පෙර කී ප්‍රධාන නිදන කාමරය පිහිටි පහත්ම මට්ටම යෙදී තිබුණේ නිරිත දිශාවටය.
නිරිත දිශාව පහතින් පිහිටා තිබීම කොතරම් බරපතළ හානිකර වාස්තු දෝෂයක්ද යන්න පිළිබඳව අපගේ අවධානය වඩ වඩාත් වැඩි කරන්නට නිවැසියන් මුහුණ දුන් අනියත, අහම්බයන් සේ වූ බොහෝ අභාග්‍යයන්ගේ බරපතළකම අදත් තියුණුව සිහි ගැන්වේ. එවැනි බෑවුම් දෝෂයක් පහසුවෙන් මඟහැර යා නොහැකි අතර පිරමීඩ භාවිතය වැනි නූතන වාස්තු නිවාරණ ක්‍රමවලින් හැර සම්පූර්ණ විසඳුමක් ලබා ගැනීම උගහට වෙයි.
සිවිල් ඉංජිනේරු
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න