නිවාස පරීක්ෂාවේදී සැලකිය යුතු කරුණු

දෙසැම්බර් 22, 2023

බොහෝ දෙනකු නිවාස පරීක්ෂා කරන්නේ නිවාස හෝ ව්‍යාපාරික ස්ථානයන් ඉදිකර පදිංචි වූවාටත් පසුයි. නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීමට පෙර ඡ්‍යොතිෂ හෝ වාස්තු විද්‍යා රීතින් සැලකිල්ලට ගෙන එම කටයුතු කරන්නේ සුළු පිරිසකි. ඡ්‍යොතිෂවේදියා හෝ වාස්තු විද්‍යාව හැදෑරූ අයට වඩා ඒ පිළිබඳව අවබෝධයෙන් අඩු මේසන්බාස් කියන ආකාරයට ඉදිකිරීම් කටයුතු කර ගැනීම නිසා අමාරුවේ වැටුණ අය ඕනෑ තරම්ය. මේ නිසා වර්තමාන කාලයේ හැටියට නිවෙසක් ඉදිකිරීමේ දී විශාල මුදලක් වියදම් කිරීමට සිදුවන නිසා වාස්තු විද්‍යාව උගත් ඡ්‍යොතිෂවේදියාගේ උපදෙස් මත කටයුතු කරන අයට නම් එවැනි ආකාරයේ මුදල් අපතේ නොයන ආකාරයට වැඩ කටයුතු කර ගැනීමේ හැකියාව ලැබේ.

ඒ කොහොම වුණත් නිවාස පරීක්ෂාවේදී සැලකිය යුතු කරුණු බොහෝ තිබෙන බව වාස්තු විද්‍යාව අපට පෙන්වා දී ඇත. නිවෙසක් පරික්ෂා කිරීමේදී මෙවැනි කරුණු පිළිබඳව මූලික අවධානයක් යොමු කළ යුතුය. මුලින්ම බැලිය යුත්තේ ඉඩමට ඇතළු වන ගේට්ටුව සුදුසු ස්ථානයක තිබේද ද කියාය. නිවෙසක දොරටුව තිබෙන ආකාරයට නැඟෙනහිරින් ඉඩමට ඇතුළුවන්නේ නම් ගුරු හෝ සිකුරුට අයත් වන ස්ථානයේ ගේට්ටුව තබන්නේ නම් ඉතා සුබයි.

මීළඟට සලකා බැලිය යුත්තේ ඒ නිවෙසට අයත් ළිඳ පිළිබඳවයි. ළිඳ පිහිටිය යුත්තේ උතුර හෝ ඊසාන දිසාවෙයි. උතුර හෝ ඊසාන දිසාවේ ළිඳක් කපා ගැනීමට අපහසු නම් මුණිචින්තාමණියේ උගන්වන හැටියට නිරිත දිසාවද සුභයැයි සඳහන් වේ. ඇතැම් පොත්පත්වල නැඟෙනහිර හා බටහිරද සුබ යැයි සඳහන් කළ ද අපගේ දීර්ඝකාලීන අත්දැකීම්වලට අනුව මුලින් කී දිසාවන් සුබදායකයැයි සඳහන් කළ හැකිය. ඊළඟට අවධාරණය කළ යුත්තේ ප්‍රධාන දොරටුව තිබෙන ස්ථානය පිළිබඳවයි. නැඟෙනහිරට දොර තබන්නේ නම් (3) තුන් වැනි (4) හතර වැනි පාදයේ දොර තැබීම වඩාත් සුබදායක වේ. මීළඟට බැලිය යුත්තේ මරු සුළම හෙවත් ගිනි කතිරය තිබෙන ස්ථානය පිළිබඳවයි. මෙහි දී මුළු නිවසම කොටස් 81කට බෙදා බ්‍රහ්ම පාදයට අයත් කොටස සොයා ගත යුතුය. මෙම බ්‍රහ්ම පාදය පිරිසුදුව තිබිය යුතු අතර මේ ප්‍රදේශයට කණුවක්, උළුවස්සක්, ජනේලයක්, යටලී, මූට්ටු බාල්ක ආදිය එල්ල වීම නුසුදුය. තවද නිවෙසේ ප්‍රධාන කාමරය (Master Bedroom) නිරිත දිසාවේ තිබිය යුතු අතර, කුස්සිය පිහිටිය යුත්තේ ගිනිකොන දිසාවේය. ගිනිකොනට දමා යන්නට අපහසු නම් වයඹ දිසාවද සුදුසු යැයි වාස්තු විද්‍යාව උගන්වයි. තවද නැඟෙනහිරට මුහුණ දමා ඇති නිවෙසක, සාලය නැඟෙනහිර, ඊසාන දිසාවට දැමීම සුදුසුය. වැරන්ඩාව ද නැඟෙනහිර, ඊශාන දිසාවට දැමීම සුබයි. නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ දිග, පළල අනුව (11) එකොළොස් පොරොන්දමින් (6) හයකට වැඩි ප්‍රමාණයක් ගළපා ගත යුතුය. මෙහිදී ගෘහ නක්ෂත්‍රය අනුව ගෙයි නැකැත ගෘහමූලිකයාට ගැළපිය යුතු අතර, අය පක්ෂය වැඩි විය යුතු වේ. නිදන කාමර උතුර හා දකුණූ දිසාවට දමා ගැනීම සුදුසු වන අතර දරුවන්ගේ නිදන කාමර ගිනිකොන වැටී ඇත්නම් අසුබ වේ. නිවෙසේ දොරවල් ඔත්තේ හා ජනෙල් ඉරට්ටේ සංඛාවෙන් තිබිය යුතු බවද උගන්වයි. තවද යටලී මූට්ටු එකඑල්ලේ තිබීම අසුබ වන අතර, මූට්ටු සන්ධි තිබිය යුත්තේ සුබ පාද වලය. නිවෙසක හෝ ව්‍යාපාරික ස්ථානයක අත්තිවාරම් කැපිය යුත්තේද සුබ පාදයන්ට අයත් ප්‍රදේශය තුළය. නිවෙසක ගබඩා කාමරය වයඹ දිසාවේ තිබීමද සුබයි. කාර්යාලයන් ඊසාන දිසාවේ තිබීම සුබයි. ඉඩමේ උතුරු හා නැඟෙනහිර දිසාවට ජලය බැසයාමත් ඉඩමේ වැඩි ප්‍රමාණයක් ඉඩ එම දිසාවන්ට තිබේද කියාද බැලිය යුතුය. වැසිකිළි වළ හා අපද්‍රව්‍ය පිටකරන වලවල් වයඹ දිසාවේ පිහිටා ඇත්දැයි විමසා බැලිය යුතුය. මේ ආකාරයට නිවෙසක් පරීක්ෂා කිරීමේදී සැලකිය යුතු කරුණු බොහෝ තිබෙන බව සිතට ගත යුතුය.

 

ඡ්‍යොතිෂවේදී

ප්‍රවීණ හස්තරේඛා විශේෂඥ

නන්දසේන වීරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.