ඔබ ගැන කියන ඔබේ නමේ මුල් අකුර

අගෝස්තු 30, 2024

අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට E අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය කලාපයෙන් සාකච්ඡා කරන ලදී. අද දින ඉංග්‍රීසි භාෂාවේ F, G, H  යන අක්ෂරයන්ගෙන් නම් පටන් ගන්නා ඔබ පිළිබඳ විස්තර මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට අදහස් කරමි.

පළමුවෙන්ම F  අකුරෙන් නම පටන් ගන්නා අයගේ විස්තර කොයි ආකාරයෙන්ද යන්න විමසා බලමු.

 

F අකුර

ඔබේ නම පටන් ගන්නේ ඉංග්‍රීසි භාෂාවේ F අකුරෙන් නම් මේ කියන කාරණාවන් ඔබේ චරිතය සම්බන්ධව සුවිශේෂී ලෙස බැඳී පවතී. F අකුර මුලට යෙදෙන සිංහල නාම ඉතා අඩු වසයෙන් භාවිත වනු දක්නට ලැබුණත් ලෝකය දෙස බැලීමේදී වෙනත් භාෂාවලින් ඕනෑ තරම් මේ අකුර මුලට යෙදී ආරම්භ වන නම් තිබේ. පුද්ගල නාමයක ගුණ අගුණ පුද්ගල චරිතයක් කෙරෙහි ආරෝපණය වන්නේ එම නම වැඩි වශයෙන් භාවිත කරන්නේ නම් පමණි. එබැවින් ඔබට F අකුරෙන් පටන් ගන්න වැඩි වශයෙන් භාවිත වන නමක් තිබේ නම් මේ ගති ලක්ෂණ ඔබගේ චරිතය තුළින් හඳුනා ගැනීමට පුළුවනි.

ඔබ හදවතින් ඉතා සංවේදී පුද්ගලයකු වන අතර ඉක්මනින් උණුවන හිතක් ඇති පුද්ගලයකු ද වෙයි. මානව දයාවෙන් යුතුව කටයුතු කරන මොවුන් සමාජ සුබ සිද්ධිය වෙනුවෙන් කැප වී ක්‍රියාකරන පුද්ගලයන් වෙයි. මොවුන්ට අන් අයගේ සිතුවිලි හොඳීන් තේරුම් ගැනීමේ හැකියාවක් පවතී. ආදරය ප්‍රේමය වැනි කටයුතුවලදී ඉක්මන් තීරණවලට එළැඹීම දුර්වලතාවක් බව කිව යුතුයි. අනුන්ගේ සතුටේදී සතුටු වන මොවුහු අනුන්ගේ දුකේදී ඉතා කම්පාවට පත්වෙති. එපමණක් නොව ඕනෑම මොහොතක ඕනෑම අයකුට උදව් කිරීමට දෙවරක් සිතන්නේ නැත. තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් සොයා බලා නොපිරිහෙළා ඉෂ්ට සිද්ධ කිරීමෙන් තෘප්තිමත් භාවයට පත් වෙයි. කොපමණ කාර්යබහුල වුණත් තම ස්වාමියා හෝ බිරිඳ හා දරුවන් වෙනුවෙන් කාලය වෙන් කිරීමට මොවුහු අමතක නොකරති. වෙලාවක් ලැබුණු විට තම නෑදෑ හිතමිතුරන් සමඟ විනෝද වීම හා සංචාරය කිරීමට ද මොවුහු කැමැත්තක් දක්වති. තමාට කවුරුන් හෝ පුංචි උදව්වක් කළත් එය මොවුන් කවදාවත් අමතක කරන්නේ නැත. මොවුන් කෙළෙහි ගුණ දන්නා පුද්ගලයන් ලෙස හැඳීන්වුවාට වරදක් නැත.

ජීවිතේ කිසි කලෙක බොරුවෙන් වංචාවෙන් කටයුතු කිරීමට මොවුහු ක්‍රියා නොකරති. හදවතේ වෙන දෙයක් තබාගෙන බොරුවට සිනහවන පුද්ගලයෝ නොවෙති. මොවුන් ඉතා විශ්වාසනීය අවංක පුද්ගලයන් ලෙස හැඳීන්විය හැකිය. ආගම ධර්මය කෙරෙහි විශේෂ නැඹුරුතාවයක් ද මොවුන් තුළ ඇත. අනෙකුත් මිනිසුන් සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරීව කටයුතු කළ යුතුය. සමාජයේ සියල්ලන් තමන් වගේ යැයි සිතා කටයුතු කිරීම දුර්වලතාවයක් බව පෙනෙයි. තම ආත්ම ගරුත්වය රැක ගැනීමට ක්‍රියා කරන මොවුන් තම චරිතය නිතරම පිරිසිදුව තබා ගැනීමට උත්සාහ ගනී. නිහතමානී ගුණය ද මොවුන් තුළ විශේෂයෙන් දැකිය හැකිය. තම කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිය නොබලා ක්‍රියා කරන ගතියක් පවතී. කලබල නොවී හිමින් සීරුවෙ තමා ජයග්‍රහණය කරා ළඟා වීම මොවුන්ගේ ස්වභාවයයි.

 

G   අකුර

නමේ මුලට G  අකුර එන අය සිතිවිලි බොහෝ හිතේ ඇති කරගන්නා අතර සෑම දෙයක් ගැනම හොඳීන් සිතා බලා කටයුතු කරන ගතිය පවතී. ජීවිතයේ බොහෝ දේවල් ගැන සිහින මවයි. ඒ සිහින සැබෑ කර කරගැනීමට ද ඒ වගේම මොවුන්ට ලොකු ශක්තියක් තිබේ. ආත්ම ශක්තිය අතින් ඉහළම පුද්ගලයන් ලෙස මේ පුද්ගලයන් හඳුන්වා දිය හැකිය. පහළට ගලන ගඟක ඉහළට පීනන අයකු සේ ජීවිතයේ කුමන අභියෝග පැමිණියත් ඒ සියල්ල සුබවාදීව භාර ගෙන ඒවාට මුහුණදීම මොවුන්ගේ ස්වභාවයයි. මොවුන් හැම වෙලාවෙම වර්තමාන මොහොතට වඩා ඉදිරි අනාගතය ගැන කල්පනා කර කටයුතු කරන අයයි. මොවුන්ට යම් දෙයක සමස්තය දැකීමේ විශේෂ හැකියාවක් පවතී. යම් දෙයක් කිරීමට පෙර එය කළ පසු ඇතිවන ප්‍රතිපලය ගැන කල්පනා කරයි. කුමන ප්‍රශ්න ජීවිතය තුළ තිබුණත් ඒ සියල්ල අමතක කර සිනාමුසු මුහුණින් කටයුතු කිරීම ස්වභාවයක් වෙයි. මොවුන් සමහර දේවල් ඕනිවට වඩා ලොකුවට සිතා හොඳීන් සැලසුම් කර පිළිවෙළට කරන්නට යෑම නිසා අසාර්ථක වන අවස්ථා ද තිබේ. ජීවිතයේ අත්දැකීම් ලබමින් ඉදිරියට යෑම මොවුන්ගේ ස්වභාවයයි. G  අකුර හිමියන් ජීවිතයේ වැඩි අවධානයක් යොමු කරන්නේ තමාගේ ආර්ථිකමය වශයෙන් දියුණුවක් ඇතිකර ගැනීම පිළිබඳවයි. වත්පොහොසත්කම් ගොඩනඟා ගැනීම සඳහා මොවුහු බොහෝ කැපකිරීම් කරති. මොවුන් පොඩි දේකින් කලබලයට පත්වන අය නොවේ. බැලූ බැල්මට නිකං ඔහේ සිටින පුද්ගලයින් ලෙස අනිත් අයට පෙනේ. එහෙත් යම් අවශ්‍යතාවයක් පැන නැඟුන විට වහාම ක්‍රියාත්මක වී කටයුතු කිරීමට පෙලඹෙයි. ජීවිතයේ කුමන පරාජයකදී වුණත් උත්සාහය අත් නොහරින ගතිය මොවුන් තුළ ඇත. ඒ නිසාම G  අකුර හිමියන්ට සාර්ථකත්වය අතින් ඉහළට යෑමේ හැකියාව පවතී. වැඩ කටයුතු කිරීමේ දී ක්‍රමානුකූල බව සහ පිළිවෙළක් මොවුන් තුළින් දැකිය හැකිය. අපගේ අත්දැකීම් අනුව මේ අකුර ව්‍යාපාර නාම සඳහා වඩාත් උචිත බව පෙනී ගොස් ඇත. එහෙත් එය කාර්යයට අදාළ සුබ ගණයකින් විය යුතුයි. කුමන අසීරු අවස්ථාවකදී වුවත් ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට මොවුහු සමත් වෙති. මොවුන්ට ජීවිතයේ බොහෝ දුෂ්කර කාල වකවානු සහ අභියෝගවලට මුහුණ දීමට සිදු වන බව කිව යුතුය. පසු නොබසින උත්සාහය සහ උනන්දුවත් ප්‍රබල ආත්ම ශක්තියත් උරුමකරගත් මොවුන් ජීවිතයේ සාර්ථකත්වය ලැබීමට වාසනාව ඇති පුද්ගලයින් බව කිව හැකිය.

 

H  අකුර

මේ අය සංවේදී හිතක් ඇති විවෘත පුද්ගලයින් වෙයි. නමුත් අදහස් දැක්වීමේ දී බොහෝ ප්‍රවේශම් වෙයි. හැමෝම හොඳ මිනිසුන් යැයි සිතා විශ්වාස කරන්නට යෑම එතරම් සුබදායක නොවේ. මිනිසුන් ඇසුරු කිරීමේදී පාඩු විඳීන්නට සිදු වෙන අවස්ථා වැඩිය. ජීවිතයේ වැදගත් දේවල් ක්‍රියාවට නැංවීමේදී උගත් බුද්ධිමත් අයගේ හෝ ඒ පිළිබඳ දැනුම ඇති විශ්වාසදායක අයගේ උපදෙස් හා මඟ පෙන්වීම ලබා ගැනීම ඉතාම යහපත් බව මතක තබා ගත යුතුයි. තම තනි මතයට අදහසට අනුව කටයුතු සිදු කිරීමට යාම තුළ අපහසුතාවයන්ට පත් වෙන අවස්ථා වැඩිය. ස්වාධීනව හිතාමතා කටයුතු කරන ගතිය ඔබ තුළ පවතී. ඔබ ඔබටම ආවේණික ක්‍රමවේදයට අනුව ජීවිතේ ගත කරයි. කාගෙවත් අණසකට නීති වලට යටත් වීමට කැමැති නැත. නමුත් ගරු කළ යුතු අයට ගෞරවය දක්වයි. නම්‍යශීලී විය යුතු තැනකදී නම් නම්‍යශීලී වෙයි. අසාධාරණයට විරුද්ධව නැගී සිටින කෙනෙකි. සැමවිටම සමානාත්මතාවය අගය කරයි. ඔබ තමන්ට යමක් තිබෙන බව අන් අයට ඇඟවීමට කැමැතිය. අන් අයට ප්‍රියමනාප ලෙස අන් අයගේ ආකර්ෂණය ඇති වෙන ආකාරයට නිතරම සිටීමට උත්සාහ කරන ඔබ ඇඳුම් පැලඳුම් කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරයි. විලාසිතා කිරීමට කැමතිය. සෑම තැනකදීම අන් අය අතර කැපී පෙනීමේ ස්වභාවයෙන් යුක්ත වෙයි. ඔබ අන් අයගේ ඇගයීම ද නිරන්තරයෙන් අපේක්ෂා කරයි. ගෙදරදොර පිරිසිදුව තබා ගැනීමට උත්සාහ කරයි. මල් වැවීම වැනි අලංකරණ කටයුතුවලට ද කැමැතිය.

සතුරු කරදරවලට ජීවිතේ පුරාම ඔබට මුහුණදීමට සිදුවන අවස්ථා එමටය. එහෙත් ඔබට ඒවාට මුහණ දීමේ ශක්තියක් වගේම බුද්ධිමත් භාවයක් ඇත. අවබෝධයෙන් කටයුතු කරයි. සමහරවිට ඔබ දන්නා හඳුනන අය ම ඔබට විරුද්ධවන අවස්ථා ඇත. ස්වභාවයෙන් තැන්පත් පෙනුමක් ඇතත් ඉතා ඉක්මනින් කේන්ති යන ගතිය පවතී. කිපුණු විට ඉතාම නපුරුයි. එහෙත් හිතේ තරහ වැඩි කල් තබා ගන්නේ නැත. ඉතා ඉක්මනින් සාමකාමී වෙයි. එහෙත් මොවුන් තුළ ඉතා ඉක්මනින් දුකට පත් වෙන ගතිය පවතී. එහෙත් තමන්ගේ හිතේ තිබෙන දුක කිසි වෙලාවක පිටතට පෙන්වීමට කැමති නොවේ. හොඳ දරා ගැනීමේ හැකියාවක් ද මොවුන්ට තිබේ. උත්සාහය සහ උනන්දුව ඇති මොවුන් ජීවිතයේ සාර්ථක කරගන්නා පුද්ගලයින් ලෙස හඳුනා ගැනීමට පුළුවන්. මොවුන් තුළ කලාත්මක හැකියාවන් මෙන්ම ඒ පිළිබඳ දක්ෂතාවයන් ද ඇත. මොවුන් තුළ ඉතා ඉහළ රසවින්දනයක් පවතී. සම්භාව්‍ය නිර්මාණ රස විදීම ප්‍රිය කරයි.

ජීවිතයේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා මොවුන් වඩාත් ම උත්සාහ දැරිය යුතු පුද්ගලයින් ලෙස හැඳීන්විය හැකිය. සාර්ථකත්වය කරා පිය නැඟීමේදී බොහෝ වැරදීම්වලට ලක්විය හැකිය. නිසි මඟ සොයා ගැනීමට තරමක් කාලයක් වෙහෙසක් දැරිය යුතුය. එහෙත් අවසානයේ සාර්ථකත්වය කරා මොවුන් පියමන් කරයි. ඉතාම හොඳ ආර්ථිකයක් ගොඩනඟා ගත්තත් මොවුන්ගේ අතීතය ඉතාම දුෂ්කර කටුක එකක් වෙයි. ආර්ථිකමය වශයෙන් බොහෝ පාඩු විඳ දරා ගැනීමට සිදු විය හැකිය. මේ අකුර හිමි ධනවත් පුද්ගලයන් බොහෝමයක් ඉතා කැපකිරීම් කර දුක් සේ ඒ ස්ථානයට පත්වූ බව කිව හැකිය. එහෙත් ස්ථාවරත්වයක් ගොඩ නගා ගත් පසු ඔවුන් කිසිවෙකුට කවදාවත් වැG

ටීමට නොහැකිය. ඒ ඔවුන් වැටෙන තැන හොඳීන් ඊට පෙර හඳුනාගෙන තිබෙන බැවිනි. සුන්දර ප්‍රේමයක් මොවුහු අපේක්ෂා කරති. ආදරණීය පුද්ගලයින් වශයෙන් හැඳීන්විය හැකිය. අහිංසක ගති පැවතුම් මොවුන් තුළ ඇත. ජීවිතේ බොහෝ බරපතළ දේවල් මොවුන්ට තේරෙන්නේ හෙමින්ය. මොවුන් තේරුම් ගැනීම එතරම් අපහසු නැත. මේ අය බොහෝ දෙනෙක් විවාහ ජීවිත සාර්ථක ව ගෙවනු දැකිය හැකිය. විචක්ෂණශීලී භාවයකින් යුතු මොවුන් ඉගෙනීම අතින්ද සාර්ථකත්වයත් ගොඩනගා ගනී. සතුරු කරදර සහ බාධක කල්තියා හඳුනා ගැනීමත් උසස් අයගේ මඟපෙන්වීමත් මඟින් මොවුන් ඉතා පහසුවෙන් සාර්ථකත්වය ළඟා කර ගත හැකි පුද්ගලයන් ලෙස පෙන්වා දිය හැකිය.

(අනෙකුත් අකුරු පිළිබඳ පලාපල විස්තර ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.