පුරුෂයන්ට අපල ගෙනදෙන ස්ත්‍රී කේන්දර

ජූලි 28, 2023

කිසියම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වනුයේ විවාහයයි. එය අපේ පැරැණි සම්ප්‍රදායානුකූල විය යුතු බව අපේ විශ්වාසයයි. ලෝකයේ අනෙක් රටවල ඒ සඳහා සලකුණු ලබන කරුණු කෙසේ වුවද අපේ රටේ පිළිගැනීම ඡ්‍යොතිෂයයි. ස්ත්‍රී පුරුෂ කේන්ද්‍ර ගැළපීම සිරිතයි. මෙහිදී නොගැළපෙන කේන්ද්‍ර හිමිකාරියක හා විවාහයට ලැබුණොත් එය තම ජීවිතය අහිමිවීමට තරම් අපල ගෙන දෙනු ඇත. මේ අයුරින් ස්ත්‍රී කේන්ද්‍රයකින් පුරුෂයාට අපල ගෙන දෙන අයුරු ඡ්‍යොතිෂයේ දක්වා ඇත.

විවාහය ගැන පරීක්ෂා කිරීමේ දී වඩාත් විමසිලිමත් වන්නේ එවැනි ග්‍රහ පිහිටීමක් ඇති කේන්ද්‍රයක් සොයා ගැනීමටයි. පොරොන්දම් පරීක්ෂණයේ විසි පොරොන්දම් සුබ වුවත් භෞම හෙවත් කුජ දෝෂයෙන් යුක්ත නම් එය දෙදෙනාටම අපල ගෙන දෙන බව සඳහන් වෙයි. ස්ත්‍රී කේන්දරයක 1, 2, 4, 7, 8, 12 යන මෙකී භාවයක කුජ සිටියේ නම් එවැනිම ස්ථානයක කුජ සිටින කේන්ද්‍රයක් විවාහය සඳහා සොයා ගත යුතු ය. එසේ නොවූ විට ස්ත්‍රී කේන්ද්‍රයේ මෙම යෝගය සිටි විට පුරුෂයාගේ මරණය ද පුරුෂයාගේ මෙම යෝගය පිහිටිවිට ස්ත්‍රියගේ මරණය ද සිදුවන බව ඡ්‍යොතිෂයේ සඳහන් කර ඇත. භාව කුතුහලය ග්‍රන්ථයේ සඳහන් කරන පරිදි යම් ස්ත්‍රියකගේ උපතෙහි රවි, කුජ, ශනි, රාහු යන මෙම ග්‍රහයන් සඳුගෙන් හත්වැන්නේ ලග්නයෙන් හතේ හෝ අටේ සිටි විට ඇගේ ස්වාමිපුරුෂයා අකාලයේ මියයන බව දක්වා ඇත.

ලග්නය පාපියකු වී සඳු පාපියකුගේ රාශියක පාපයන් සමඟ සිටි විට එහි ලග්න දෙදෙනා සුබයන්ගේ දෘෂ්ටියට අසු නොවේ නම් එවැනි අවස්ථාවක උපන් ස්ත්‍රිය පුරුෂයන් කිහිපදෙනකු මරණයට පත්කරවන තරම් අවාසනාවන්ත ස්ත්‍රියක් වනු ඇත. අටවන හෝ දොළොස්වන භාවයන් මේෂ හෝ වෘශ්චික වී එයින් එක භාවයක රාහු සමඟ පාපයන් සිටි අවස්ථාවක උපන්නිය ද පුරුෂයාගේ අභාවයෙන් වැන්දඹුවක් වනු ඇත.

පුරුෂ කේන්ද්‍රයේ දෙක මෙන් ස්ත්‍රී කේන්ද්‍රයේ අට ද බලවත් ස්ථානයක් වේ. ආදායම් පෙන්වා දෙන්නේ අටෙනි. දෙවැන්නාධිපති අටේ නම් ස්වාමියාගේ ධනයට ස්ත්‍රිය හිමිකාරිය වනු මිස ඇයගෙන් ස්වාමියාට ද දායාද නොලැබෙයි. එවැනි තැනැත්තිය විවාහ වන්නේද සත්‍ය වශයෙන්ම දායාද එපා යයි කියන අයකු සමඟය. ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ කේන්ද්‍රයක ඉතා බලවත් ස්ථානය නවවැන්නයි. මන්දගාමීව යන්නා වූ ග්‍රහයන් නමයේ සිටීමෙන් විවාහය කල් දමන යෝග යෙදේ. ඒවා බලවත් බවත් ඔප්පු වී ඇත. පුණ්‍යස්ථානයේ සිටින ශනිට සිකුරු පෙනේ නම් එම සිකුරු සිටින්නේත් අශුභ රාශියක නම් අන්‍ය යෝග ඉක්මවා විවාහය කල් පසුවේ.

ලග්නාධිපති හා හත්වැන්නාධිපති පාප ග්‍රහයන්ගේ වැඩි වර්ග ගණනක සිටියොත් හෝ ලග්නයේ උදාවන අංශකය හා හතේ එම අංශකයද පාපයන්ගේ වර්ග නම් ස්වකීය ස්වාමිපුරුෂයා නසන්නියක් වේ යයි කියා ඇත. මෙහිදී වැඩිම වර්ග ගණන පාපයන්ගේ විය යුතු වෙයි.

ස්ත්‍රී කේන්ද්‍රයක එකොළොස්වැන්නේ පාප ග්‍රහයකු සිටී නම් එහි අධිපතියාද පාපයන්ට පමණක් පෙනේ නම් එම කාන්තාවගේ ස්වාමිපුරුෂයාට අපල පෙන්වයි. මෙම තත්ත්වය මෙසේ තිබියදී හත්වැන්නේ පාපයකු සිටීම, හත්වැන්න අධිපතියා පාපියකු දැකීම වැනි දෙයින් දුර්වල වී නම් ස්වාමිපුරුෂයාට ඉතා අපලයි. ස්ත්‍රී කේන්ද්‍රයක රවි හත්වැන්නේ සිටීමද අසුබ පලදීමට හේතුවක් වෙයි.

සඳු පමණක් පාපයන්ට මැදි වී සිටීමෙන් ඇගේ ස්වාමිපුරුෂයා අවි ආයුධවලින් මරණයට පත්වීමද, සඳු පාපයන්ට මැදිවී අඟහරුගේ රාශියක පිහිටි විට ගින්නෙන් මරණය ද සිදුවන බව සඳහන්ව පවතී. යම් ස්ත්‍රියකගේ ජන්ම පත්‍රයෙහි ලග්නය කන්‍යාව වී අටේ සඳුද පස්වැන්නේ ගුරු නීචවද සිටියහොත් කෙතරම් දියුණු තත්ත්වයකින් සිටියද ඇගේ ස්වාමිපුරුෂයා අකාලයේ මරණයට පත්වනු ඇත.

කාන්තාවන්ගේ මෙන්ම පුරුෂයන්ගේද මෙවැනි පිහිටීම් ඇත. සිකුරු ග්‍රහයා පාපයන් දෙදෙනකුගේ මධ්‍යයේ සිටියේද එනම් සිකුරු සිටි තැනින් දොළොස්වැන්නෙහි එක් පාපියකු සිටි කල්හි එලෙස උපන් පුරුෂයාගේ බිරිඳ වැටීමෙන් මරණයට පත්වෙයි. මේ අයුරින් දැක්වෙන යෝගවලින් ස්වාමිපුරුෂයාගේ අකල් මරණ සිදුවී ඔවුනොවුන් එකිනෙකාට තනිවී ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමේ භාග්‍යය අහිමිවනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.