පුරුෂයන්ගේ අපල දුරලන ස්ත්‍රී කේන්දර

අගෝස්තු 11, 2023

විවාහ ජීවිතය අසුන්දර කටු පඳුරක් කරන්නටත්, නැතිනම් සුන්දර මල් උයනක් කරන්නටත් විවාහ දිවියට පත්වුණ තම බිරිය සමත් වන්නීය.

ගුණ නුවණින් හා යහපත් චරිතයකින් යුත් ළඳක හා විවාහ වීමෙන් පුරුෂයාගේ සියලු අසුබ පල භංග වී යහපත් සැපවත් අයකු බවට පත්වෙන අතර, ඔහුගේ ආයු බලයද වැඩි කරන බව ඡ්‍යොතිෂයේ සඳහන් කර ඇත.

බොහෝ විට විවාහයෙන් පසු ස්ත්‍රියගේ වාසනා ගුණ මහිමයෙන් පුරුෂයා යස ඉසුරින් පිරුණ අයකු වන බවටත් විවාහය පුුරුෂයකුට වාසනාව ළඟා කරන බවටත් සමාජයේ පිළිගැනීමක් වෙයි. යහපත් කාන්තාවක හා විවාහ වන පුරුෂයාත් දිනෙන් දිනම දියුණුව කරා ළඟාවෙයි. විවාහයත් සමඟ මහා ධනවතුන් බවට පත්වූවන්ද අප අතර සිටිති. “දියුණු වූ හැම පුරුෂයකු පසු පසම යහපත් ස්ත්‍රියක් සිටී” යන මේ කියමන ද අපේ සිහියට නැඟේ. ගුරු උච්චව හතේ සිටියදී උපන් තැනැත්තිය ස්වකීය ක්‍රියාවෙන් හා වස්තුවෙන් සතුටට පත්වෙන්නා වූ ස්වාමි පුරුෂයාටද කීකරු වන්නා වූ ඉතා යහපත් තැනැත්තියක් වේ. ස්වාමි පුරුෂයාද එසේම ගුණවතකු වෙයි.

එමෙන්ම ස්ත්‍රී කේන්ද්‍රයේ නවාංශකයේ හත්වැන්නේ ගුරු සඳු යෝගය ඇති කාන්තාව ද ඉතාම වාසනාවන්තය. මකර නවාංශකය උදාවූ විට මෙම සංයෝග මෙසේ වූයේ නම්, ඇය පතිවත රකින සැමියාට දෙවියකු මෙන් සලකන උතුම් කාන්තාවකි. ගුරු, සඳු බලවත්ව නවාංශකයේ දෙවැන්නේ සිටියේ නම් ඇය නිසා නිවසට ධන සම්පත් ළගා වන්නේය. මෙම යෝග කේන්ද්‍රයේ දහවැන්නේ යෙදුණේ නම් සැමියාගේ රැකියා දියුණුව ද ඉක්මන් වේ. ව්‍යාපාරයක යෙදී සිටියේ නම් එයද දියුණුවෙන් දියුණුවට පත්වේ. නවාංශකයේ හත අධිපති ග්‍රහයා අයස්ථානගතව සිටීම අය මාර්ග දියුණු වීමටත් එකොළොස් වැන්නේ සිටියේ නම් ස්වාමියාට මිතුරකු මෙන් සදාකල්හිම ළඟ සිටීමත් පෙන්නුම් කරයි.

එසේම හත්වැන්න සුබ රාශියක් වීමත් වාසනාවන්ත යෝගයකි. මෙය දළ විග්‍රහයක් වුවත් එහි බලපෑම වඩාත්ම යහපත් වන්නේ ශුභ ග්‍රහයෙක් හතේ සිටීම හෝ හත දැකීමය.

හත්වැන්න සිංහ රාශිය වී ඇති විට ශුභ දැකීමක් තිබුණේ නම්, ඇය පතිවත රකින වාසනාවන්ත ස්ත්‍රියකි. ගුරුගේ දර්ශනයට හසුව එකොළොස් වැන්නට ගියේ නම් ඇය මහා ධනයක් ලබන්නීය.

ස්ත්‍රී කේන්ද්‍රයක තවත් වැදගත්ම පිහිටීමක් නම් චන්ද්‍රයා කේන්ද්‍රගතව ලග්න ස්ථානයේ පිහිටීමය. මෙම අවස්ථාවේ උපත ලබන ඇය ඉතා සෞම්‍ය ගතිගුණවලින් යුතු වේ.

එලෙසම රවුම් වටකුරු අත්පාවලින් යුතු පිරිපුන් දේහ ලක්ෂණවලින්ද යුතු වේ. තවද මෙවන් යුවතියන් කලා ලොවේ ද අගතැන්පත් තැනැත්තියන්ද වෙයි. සංගීතය, චිත්‍ර ශිල්පය, නැටුම් වැනි ක්‍රියාවන්වලදී ඉතා ඉහළ තැනක් හිමි කර ගන්නීය. මෙවන් ස්ත්‍රීන් කෙරෙහි දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණය නම් ඒ හැම දෙයක්ම අභිභවා ඉදිරියට එන ස්වාමි භක්තියයි. එම නිසා මෙවැනි ස්ත්‍රියක් හා විවාහ වන පුරුෂයා ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන නිසා ඔහු සමාජයේද බබළන්නේය.

ස්ත්‍රී කේන්ද්‍රයක චන්ද්‍ර සිකුරු සහ කුජ – ගුරු දෙදෙනා බලවත් වීම ද ඉතා ශුභය. එසේම 2,3,5,11 යහපත් නම්, එයද ශුභ පිහිටීමකි. ලග්නය බලවත් වීමද කිව යුතු නෙවේ. විශේෂයෙන් චන්ද්‍රයා ස්ත්‍රියකගේ ලග්නයේ සිටීම ඉතා ශුභය. එසේම දෙවැන්නේ සිකුරු, චන්ද්‍ර, ගුරු වැනි ග්‍රහයන් සිටීම හෝ එවැනි ග්‍රහයන් දැකීම ද ඉතා ශුභයි. විවාහය වාසනාවන්ත වේ. හතේ ත්‍රිකෝණයක් වූ තෙවැන්න විවාහය සම්බන්ධව බලපවත්වයි. එම ස්ථානයේ ශුභ ග්‍රහයකු සිට හත දකී නම්ද ඇගේ ස්වාමි පුරූෂයා දීර්ඝායුෂ විඳින්නේය.

යම් ස්ත්‍රියකගේ 6,8,12 හැර වෙනත් ස්ථානයක චන්ද්‍රයා උච්චනම් ඇය සුරූපී යහපත් ගුණාංගයෙන් හෙබි පින් ඇත්තියක් වෙයි. දෙවැන්නා වූ ධනස්ථානයට අධිපති ග්‍රහයා 8 වැන්නේ ඇති කාන්තාව සිය සැමියාගේ ධනයට හිමිකාරියක් වෙනවා මෙන්ම ඇයට දායාදයක්ද අවශ්‍ය නොවේ. තම සැමියාට ද ධනය උපයා දෙන්නියකි.

ස්ත්‍රී කේන්ද්‍රයක ග්‍රහයන් සිවු දෙනෙක් උච්චව සිටියේ නම් ඇය රජ බිසවක් හා සමාන වන අතර එවන් ස්ත්‍රියක හා විවාහ වන පුරුෂයා සමාජයේ ඉහළ තැනක වැජඹෙන්නෙකු බවට පත්වේ. පුරුෂ කේන්ද්‍ර බලයෙන් හීන වුවත් රවි, කුජ, ගුරු, ශනි ග්‍රහයන් කේන්ද්‍රස්ථාන වූ ලග්නය හතර, පහ, දහය යන රාශිවල උච්චව සිටී නම් ඇගේ පුරුෂයා දේශපාලන ක්ෂේත්‍රයේ ඉහල තැනක වැජඹෙන උසස් සමාජය ඇසුරු කර කාගේත් වැඳුම් පිදුම් ගෞරව ලබන අයකු වන අතර, ඉතාමත් සැප සම්පත් භුක්ති විඳින්නකුද වෙයි.

පස්වැන්නාධිපති හත්වැන්නේද හත්වැන්නාධිපති පස්වැන්නේද ස්ථාන මාරු වී සිටින්නේ නම්, ඇය මිතුරු සම්බන්ධතාවයකින් විවාහයට පත්වෙන අතර, විවාහයෙන් පසු ස්වාමියාගේ ධනයද දියුණු කරවන්නීය. එසේම ඇය වාසනාවන්ත දරුවන් ලබන්නීය. තවද ලග්නාධිපති පස්වැන්නේ පහ අධිපති ගුරු සමඟ සිටීමද උසස් ඉගෙනීමක් ලබන දක්ෂ දරුවන් ලැබීමට හේතුවේ. දෙවැන්නාධිපති පස්වැන්නේ සිටීමද ධනය ඉපයීමට දක්ෂ දරුවන් ලබන යෝගයකි. මෙම යෝගය යෙදී ඇති ළඳක් ගැබ්බර වූ මොහොතේ සිටම සැමියාගේ ධනය දියුණු කරවයි.

 

 

ඡ්‍යොතිෂවේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.