සුප්‍රකට ඡ්‍යොතිර්වේදියකුට ඒරාෂ්ටක අපල බලපෑ හැටි

නොවැම්බර් 1, 2024

අද දිනයේදී මා කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ මුළු රටම දන්නා සුප්‍රසිද්ධ ඡ්‍යොතිර්වේදියකු ඉතා තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදීි මුහුණ දුන් අත්දැකීම් කිහිපයක් පිළිබඳවයි. කලක් ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම ඡ්‍යොතිර්වේදියකුව සිටි ඔහුට ඔහුගේ උත්පත්ති කේන්දර සටහනට අනුව 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් 2006 වසරේ දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලසීමාව තුළද 2007 වසරෙහි ජූලි 17 වැනිදාත්, 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලසීමාව තුළ ද ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත විය.

මේ කාලසීමාව තුළ දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය 2009 වසරේදී ස්ථිර ලෙසට අවසන් වන බවට අන්තර්ජාතික මාධ්‍යයක් වන “ඕඕඛ්” ය ඔස්සේ ඉතා තීරණාත්මක අනාවැකියක් පළ කළ ඔහු 2009 වසරේදී යුද්ධය අවසන් වීමත් සමඟ ලොව පුරා මහත් ප්‍රසිද්ධියට පත්විය. මෙසේ ඔහු කීර්තිමත් ඡ්‍යොතිර්වේදියකු ලෙස ඉහළම තලයට පත් වූයේ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතකරද්දීය. තවද මේ කාලසීමා තුළ ඔහු රාජරාජ මහාඅමාත්‍යවරුන්ගේ ප්‍රසාදයටද වැඩි වැඩියෙන් ලක් විය.

කෙසේ වෙතත් ඉහත කී ඡ්‍යොතිර්වේදීයාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත්, 2017 වසරෙහි ජනවාරි 27 වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර ගත විය. එම කාලසීමාව තුළ සියල්ල සහමුලින්ම වෙනස් වූ අතර වසර 21ක් තිස්සේ ඉතා නිරවුල් ලෙස, රජුන් තැනීම ගැන අනාවැකි පැවසූ ඔහුට එක් අනාවැකියක් සාවද්‍ය වීම තුළ සැමදෙනාගේම දෝෂ දර්ශනයට ලක්වන්නට සිදු විය. එකල පළ වූ ජාතික පුවත්පත්වල මෙන්ම සතිපතා පුවත්පත්වල ද කාටුන් සඳහා ප්‍රධාන තේමාව ඔහු බවට ක්‍රම ක්‍රමයෙන් පත් විය. එම කාලසීමා තුළ දේශියව මෙන්ම විදෙස් රටවලද විශාල ලෙස පැතිරී ගිය ආන්දෝලනාත්මක ප්‍රසිද්ධියක් ඔහු හට ලැබුණි.

කෙසේ වෙතත් ඉහත කී ඡ්‍යොතිර්වේදී මහත්මා මුල්වරට, ආධුනිකයෙකු ලෙස කටයුතු කරද්දී දේශීය ඡ්‍යොතිර්වේදීන් දෙදෙනකුගෙන් උපදෙස් ලබා ගන්නා විට ඔහුට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇත. කෙසේ වෙතත් ඒ මහතාගේ පියා අභාවයට පත්ව ඇත්තේද එම තදබල ඒරාෂ්ටක කාලසීමාව තුළය. එමෙන්ම ඒ මහතාගේ දරුවන් දෙදෙනාම උපත ලබා ඇත්තේ ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වද්දීය. මීට අමතරව බොහෝ විට ජීවිත කාලය තුළ එක් වරක් පමණක් සිදු වන සුවිශේෂී සිදුවීමක් ලෙස ඉහත කී ඡ්‍යොතිර්වේදියාගේ චරිතාපදාන ග්‍රන්ථයක් රචනා කිරීම 2019 වසරේදී සිදු වූයේ ද ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වද්දීය.

සාමාන්‍යයෙන් එකම ඒරාෂ්ටකය වරින් වරට උදා වන්නේ වසර තිහෙන් තිහට පමණය. ඒ අනුව ඒරාෂ්ටක පමණක් සලකද්දී වසර 30ක පමණ පුද්ගලයකු ඒරාෂ්ටක කාලයක් ගත කරන්නේ නම් ඔහුට වයස 60 දී පමණ නැවත එම ඒරාෂ්ටකයට ගත වීමට ඉඩ ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට වයස 30 දී ලද ඒරාෂ්ටක අත්දැකීම්වලට සමාන්තර ඒරාෂ්ටක අත්දැකීම් වසර 60දී ලැබීමේ ඉහළ ඉඩක් නිර්මාණය වෙයි. එහෙත් වයස අවුරුදු 60 දී, වයස අවුරුදු 30 දීට වඩා අවුරුදු 30ක් වයසින් වැඩි වන නිසා අවුරුදු 60 දී සිදුවිය හැකි සිදුවීම් පිළිබඳව, බුද්ධියෙන් විමසා සිදුවීම්වල ස්වභාවය වටහා ගත යුතු ය. උදාහරණ ලෙස, මා හට 1993 නොවැම්බර් 9 වැනිදාත්, 1995 ජුනි 01 වැනිදාත් අතර කාල සීමාව තුළ, මාගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දේශන සඳහා රත්නපුර නගරයට නිතර ඒමට සිදුවිය. තවද ඊට ආසන්න කාල වකවානුවෙහි මා කලින් අධ්‍යාපනය ලද පාසලින් ඉවත් වී, උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රත්නපුරෙහි කීර්තිමත් විදුහලකට ඇතුළත් වූ අතර ඒ අනුව මා හට දිනපතාම රත්නපුරයට ඒමට සිදුවිය. ආසන්න වශයෙන්, වසර 30කට පමණ පසු මා හට මේ වන විටද, පෙර කී කාල වකවානුවෙහි මෙන්ම ලග්න ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වෙයි. මෙහි විස්මයජනක කාරණය වන්නේ මේ ඒරාෂ්ටකය ගතවද්දී, පෙර වතාවේ මෙන්ම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නොවුණත් මේ වතාවේද එම ප්‍රදේශයේම ගැවසීමට සිදුවීමය.

වර්තමානයේ දී ශනි ග්‍රහයා කුම්භ රාශිය තුළ චලිත වන අතර, ඒ අනුව, කටක ලග්න හිමියන්ට 2023 වසරෙහි ජනවාරි මාසය තුළ ආරම්භ වූ ලග්න අෂ්ටම ඒරාෂ්ටකය 2025 වසරෙහි අප්‍රේල් 1වැනිදා දක්වාම තව දුරටත් පවතින අතර කුම්භ ලග්න හිමියන්ට 2023 වසරෙහි ජනවාරි මාසය තුළ ආරම්භ වූ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව 2025 වසරෙහි අප්‍රේල් 1 වැනිදා දක්වාම තව දුරටත් පවතියි. මීට පෙර අවසන් වතාවට කටක ලග්න හිමියන්ට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයද, කුම්භ ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවද ගත වී ඇත්තේ 1993 මාර්තු 5 වැනිදාත්, 1993 ඔක්තෝබර් 15 වැනිදාත් අතර කාලය අතර, 1993 නොවැම්බර් 9 වැනිදාත්, 1995 ජූනි 1 වැනිදාත් අතර කාලය තුළ සහ 1995 අගෝස්තු 9 වැනිදාත්, 1996 පෙබරවාරි 15 වැනිදාත් අතර කාලය තුළය. ඒ අනුව ඒරාෂ්ටක පමණක් සැලකූ විට, මේ වන විට වයස අවුරුදු 30 ඉක්මවූ කටක ලග්න හිමියන්ට සහ කුම්භ ලග්න හිමියන්ට 2023 වසරෙහි ජනවාරි මාසයත්, 2025 අප්‍රේල් 1 වැනිදාත් අතර කාල සීමාව තුළ සිදුවන සිදුවීම්, ඉහත කාල සීමාවන් තුළ සිදු වූ සිදුවීම්වලට සමාන්තර වීමට ඉඩකඩ ඇත. කෙසේ වෙතත් අදාළ කාලවකවානුවලදී වයස් සීමාවන්වල වසර 30ක් වැනි විශාල පරතරයක් ඇති නිසා, ඒ අනුව, සිදුවිය හැකි සිදුවීම්වලට මුහුණ දීමේදී ඇති වන වෙනස්කම් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය.

මී ළඟට මගේ සමීපතම ඥාතිවරයකු ඒරාෂ්ටක කාල වකවානුවකදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරන්නට මීළඟට බලාපොරොත්තු වෙමි. ඔහුගේ ලග්නය “වෘශ්චික” වන අතර ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වද්දී ඔහුට රැකියා ස්ථානය තුළ වසර ගණනාවකට පසු විධායක මට්ටමේ තනතුරක් ලැබුණි. කෙසේ වෙතත් ඔහුට එම තනතුර මඟින් විශාල සතුටක් දැනුණු බවක් මා හට නිරීක්ෂණය නොවීය. එමෙන්ම එම කාලසීමාව තුළ ඔහුට මානසික අසමතුලිතතාවයක් ඇති විය.

එම මානසික අසමතුලිතාවය වෙනුවෙන් ඔහු උපදේශන සේවාවන්වල සහයෝගය ලබාගත් අතරම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් බව මා හට දැනගත හැකි විය. මෙහි විශේෂත්වය වන්නේ ඔහුගේ අසනීප තත්ත්වයට හේතු මේ දක්වාත් අනාවරණය කර ගැනීමට කිසිවෙකුවත් නොහැකි වීමය. මෙයින් පෙනී යන්නේ සමහර තදබල ඒරාෂ්ටක කාලවලදී සුබ ප්‍රතිඵල ලැබුණත් එම සුබ ප්‍රතිඵල භුක්ති විඳීමට අවස්ථාව නොලැබෙන අයුරින් වෙනස් ආකාරයේ අසුබ ප්‍රතිඵල ද ඇතැම් අයට ලැබිය හැකි බවයි. මෙය මා අවශ්‍ය නම් මීට පෙර ඒරාෂ්්ටකවලදී රෝහල්ගත වීම හෝ රෝහල් ආශ්‍රිතව කල් ගෙවීමට සිදුවීම සම්බන්ධව දැක්වූ කරුණු හා සම්බන්ධ කර බැලිය හැකිය. එබැවින් ඒරාෂ්ටක පිළිබඳ බියපත් මානසිකත්වයකින් සිතනවාට වඩා ඒ පිළිබඳ අවබෝධයෙන් අවස්ථා කළමනාකරණය කරගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.