මෙරට පළමු පෞද්ගලික හෙලිකොප්ටරයේ අයිතිය හිමිකර දුන් ඒරාෂ්ටක අපලය

ජූලි 5, 2024

මේ දක්වා මෙම ලිපි පෙළ තුළ ඒරාෂ්ටක කාල වකවානු තුළ ලැබුණු සුබදායක සිදුවීම් පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරන ලදී. ඒ නිසා ඒරාෂ්ටක කාල වකවානුවල සුබ ප්‍රතිඵල පමණක් ලැබෙනවාය යන අදහස කෙනෙකුට ඇතිවිය හැකි බැවින් ඒරාෂ්ටක කාල වකවානුවල ඇති වූ අසුබ සිදුවීම් කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කරන්නට අද දිනයේ දී බලාපොරොත්තු වෙමි. සැබවින්ම ඒරාෂ්ටක කාලවකවානුවලදී බලාපොරොත්තු රහිත ආන්දෝලනාත්මක සුබ ප්‍රතිඵලවලට අමතර ලෙස බලාපොරොත්තු රහිත ආන්දෝලනාත්මක අසුබ ප්‍රතිඵල ද ලැබීමට ඉඩ ඇත.

අද දිනයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අන්තර්ජාතික කීර්තියට පත් ශ්‍රී ලංකික ව්‍යාපාරිකයෙකුව සිටි උපාලි විජයවර්ධන මහතාට ඒ මහතාගේ තදබල ඒරාෂ්ටක කාලවකවානුවල දී මුහුණ දීමට සිදු වූ අත්දැකීම් පිළිබඳවය. උපාලි විජයවර්ධන මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය මීන වන අතර චන්ද්‍රයා 7 වැනි භාවය තුළ තැන්පත්ව ඇත. ඒ අනුව ඒ මහතාට 1950 වසරෙහි සැප්තැම්බර් 20 වනදාත්, 1952 නොවැම්බර් 25 වනදාත් අතර කාලය තුළ සහ 1953 අප්‍රේල් 24 වනදාත් 1953 අගෝස්තු 21 වනදාත් අතර කාලය තුළ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවද, 1952 නොවැම්බර් 25 වනදාත්, 1953 අප්‍රේල් 24 වනදාත් අතර කාලය තුළද, 1953 අගෝස්තු 21 වනදාත්, 1955 නොවැම්බර් 12 වනදාත් අතර කාලය තුළද ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අවස්ථාව සහ අෂ්ටම ඒරාෂ්ටකයද ගත වී ඇත. මෙම අති ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටක අවස්ථා ගත වූ 1953 වර්ෂයේ දී උපාලි විජයවර්ධන මහතා එංගලන්තයෙහි සංචාරය කර ඇත්තේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ය. ඒ අනුව ප්‍රබලම ඒරාෂ්ටක කාල වකවානුවක් ගත කරද්දී ඒ මහතාගේ ජීවිතයෙහි ප්‍රබලම හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය වී ඇති බව පෙනේ.

ශ්‍රී ලංකාවේ හෙලිකොප්ටර් යානයක් සතු වූ පළමු පුද්ගලයා බවට උපාලි විජයවර්ධන මහතා පත්ව ඇත්තේ 1979 වසරෙහි ජනවාරි මාසයේ දී වන අතර ඒ වන විට ඒ මහතා ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර ගත කරමින් සිට ඇත. උපාලි විජයවර්ධන මහතාට ඒ මහතාගේ කේන්ද්‍ර සටහනට අනුව 1979 නොවැම්බර් 4 වනදාත්, 1980 ජූලි 27 වනදාත්, 1982 ඔක්තෝබර් 5 වනදාත් අතර කාලය තුළද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව, 1982 ඔක්තෝබර් 5 වනදාත් 1984 දෙසැම්බර් 20 වනදාත් අතර කාලය තුළ අෂ්ටම ඒරාෂ්ටකය සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වී ඇත. විදේශ ආයෝජකයන් 40 ක් පමණ ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ කලාපයේ ව්‍යාපාර සඳහා ගෙන්වා ගැනීමට ඒ මහතාට හැකි වී ඇත්තේ මේ තදබල ඒරාෂ්ටක කාල වකවානුව තුළ වන අතර එමගින් 15,000 ක පමණ පිරිසකට රැකියා අවස්ථා ලබා දීමටත් 30,000 පමණ දෙනාට වෙළෙඳ කලාපය නිසා ඇතිවන අමතර රැකියාවල යෙදීමටත් හැකි වී ඇත.

1983 වසරෙහි පෙබරවාරි 13 වනදා ලියර් ජෙට් යානයෙන් කොළඹ බලා පැමිණෙද්දී උපාලි විජයවර්ධන මහතා ඇතුළු ගුවන් යානයෙන් පැමිණි පිරිස අතුරුදන් වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඒ මහතා අතුරුදන් වූ දිනය වද්දී ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර සහ අති ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරමින් සිටීමය. මේ ආන්දෝලනාත්මක ගුවන්යානා අතුරුදන් වීමත් සමඟ උපාලි විජයවර්ධන මහතාව ලෝකය පුරා කතාබහට ලක් වන චරිතයක් බවට පත් විය. එනම් ඒ මහතාගේ නම ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් විය. අති ප්‍රබල ඒරාෂ්ටක කාලවකවානුවල ජීවිතයේ කිසිදා නොලද අත්දැකීම් ලැබෙන බවද, නොසිතූ සිදුවීම් සිදු වන බව ද, ප්‍රසිද්ධිය වැඩි වන බවද, හදිසි ගුවන් ගමන් යෙදෙන බවද අප මීට කලින් පැහැදිලි කර ඇත. උපාලි විජයවර්ධන මහතාට තදබල ඒරාෂ්ටක කාලවල මුහුණ දීමට සිදු වී ඇති සිදුවීම්වලින් එය තවදුරටත් පැහැදිලි වෙයි.

ඒරාෂ්ටක කාලවකවානුවල අසනීප වී ආරෝග්‍යශාලාවල නවතින්නට සිදු වන බවටද ප්‍රසිද්ධ මතයක් ඇත. ඒරාෂ්ටක කාලවකවානුවල මා මුහුණ දුන් අත්දැකිම්වලට අනුව එහි කිසියම් සත්‍යතාවයක් ඇති බව පෙනේ. ඒ නම් එම සීමා තුළ මා අසනීපව ආරෝග්‍යශාලා තුළ නේවාසිකව නොසිටියත් මගේ සමීප ඥාතීන් රෝගී වූ කිහිප අවස්ථාවකම ආරෝග්‍යශාලා තුළ නිදිවර්ජිතව රැඳී සිටින්නට මා හට සිදු විය. මෙහි විශේෂත්වය වන්නේ මා හට තදබල ඒරාෂ්ටක ලබන්නට පෙර, කිසිම අවස්ථාවක මෙසේ ආරෝග්‍යශාලාවල රැඳී සිටින්නට සිදු වී නොතිබීමය. එමෙන්ම, මාගේ බිරිඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි රැකියාවක් කරන අයෙකු නිසා ඇයගේ රාජකාරි අවසන් වන තුරු ආරෝග්‍යශාලා තුළ රැඳී සිටින්න මා හට සිදු විය. මේ සියලු සිදුවීම් ජීවිතයේ පළමු වතාවට සිදු වන්නේ තදබල ඒරාෂ්ටක කාල වකවානුවක් ගත කරද්දීය. ඒ අනුව, ඒරාෂ්ටක කාල වකවානු සහ ආරෝග්‍යශාලාවල ගැවසීම අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බව පෙනේ.

මීන ලග්න හිමියන්ට 2011 වසරෙහි නොවැම්බර් 18 වනදාත්, 2012 වසරෙහි මැයි 13 වනදාත් අතර කාලය තුළ සහ 2012 වසරෙහි අගෝස්තු 6 වනදාත්, 2014 වසරෙහි නොවැම්බර් 3 වනදාත් අතර කාලය තුළ අෂ්ටම ඒරාෂ්ටක කාලවකවානුවක් ගත විය. මීන ලග්නයෙන් උපත ලබා තිබූ මගේ සමීප ඥාතියෙකුගේ විවාහය 2012 වසරෙහි නොවැම්බර් මාසයේ දී සිදු විය. එනම් අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරද්දී ඇයගේ ජීවිතයෙහි සුවිශේෂීම සිදුවීමක් සිදු වී ඇත. ඒරාෂ්ටකවලදී අසුබ ප්‍රතිඵල ලැබිය යුතු යැයි තර්ක කරන්නට මෙවැනි සුබදායක සිදුවීම් ඉතා ප්‍රබල අභියෝගයක් වනු ඇත. ඉහත කී ඥාතිවරියට ඉතා යහපත් විවාහයක් සිදු වූ අතර ඇයගේ පියාණන් හදිසියේ අසනීප වී රෝහල් ගත කළ බැවින් ඔහුට තම දියණියගේ විවාහයේ දෙවැනි ගමනට සහභාගි විය නොහැකි විය. මනාල යුවළ තම විවාහ මංගල්‍යයෙහි වැඩ කටයුතු අවසන් වීමෙන් පසු මුලින්ම කළ කටයුත්ත වූයේ තම පියාණන්ගේ සුව දුක් බැලීමට ආරෝග්‍යශාලාව කරා යාමය. එලෙස අනියම් ලෙස හෝ ආරෝග්‍යශාලාවට යාමට සිදු වූයේ මනමාල මහත්මිය ඒරාෂ්ටක කාලවකවානුවක් ගත කළ නිසා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ඒරාෂ්ටක කාල වකවානු සහ ආරෝග්‍යශාලාවල ගැවසීම අතර ඇති සම්බන්ධතාවය මේ උදාහරණයෙන්ද ඉතා හොඳින් පැහැදිලි වේ යැයි සිතන අතර තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු ඒරාෂ්ටක කාල වකවානුවලදී ලද අත්දැකීම් පිළිබඳව මීළඟ ලිපියෙන්ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.