පොරොන්දම් වලින් පමණක්ම විවාහයක් සාර්ථක කරගත හැකිද?

ඔක්තෝබර් 29, 2021

වගකීම් සහගත ජීවිතයක පදනම විවාහයයි. එම නිසාම ශිෂ්ඨ සම්පන්න ගමනේ බොහෝ දුර ගමන් කළ හැකි බැවින් මිනිස් වර්ගයා විවාහය සඳහා විශේෂයෙන්ම ආසියාතික රටවල පූර්ව විමසීමක් හෙවත් සොයා බැලීමක් කරති.

ඈත අතීතයේ විසූ දර්ශන වාදීන් ඒ පිරික්ෂීම සඳහා උපයෝගී කරගන්නා ලද්දේ පොරොන්දම් ක්‍රමය බව පෙනේ. ඇමෙරිකාව , එංගලන්තය වැනි රට රටවල අය දියුණුයැයි සම්මතවූ හෙයින් එබදු පොරොන්දම් සීහුමක් නොකරන ලදී. ඒ හරහා බලනවිට විවාහයේ දික්කසාදයද කඩිනම් විය.

ඉන්දියාව , ලංකාව වැනි රටවල අය එකම විවාහයක් සඳහා දැඩිසේ උනන්දු වන බව පැහැදිලිය. විවාහය වෙනස් වීම බිඳ වැටීම මහා අවාසනාවන්ත සිදුවීමක් බැව් ඔවුහු නිරන්තරයෙන්ම කල්පනා කරති. ඒ මානව දියුණුවේ රහසක් නිසාය. පෙරදිග අය අධ්‍යාත්මික අංශය ගැන දැඩි අවධානයක් යොමුකරන බව ඇත්තකි.

විවාහය ශක්තිමත් බලවත්ම අඩිතාලමක් සහිත පදනමක් වීම ඔවුන්ගේ පරම අභිලාෂයකි.

විවාහයට පොරොන්දම් බැලීම පැරණි ඉසිවරුන් විසින් යහපත් යැයි සම්මත වූ 20 පොරොන්දම හෝ 10 පොරොන්දම ටිකක් පමණක් විමසීම යැයි බොහෝ දෙනෙක් සිතයි. එය වැරදි නිගමනයක් බැව් ඔප්පු වී තිබේ.

පොරොන්දම් විමසීම ඊට වඩා තරමක් ගැඹුරුය. මෙය එක් අතකින් බලන විට අංශු මාත්‍රයක් පමණි. විවාහයට ගැලපීම යනුවෙන් උපකල්පනය කළ යුත්තකි. ග්‍රහ හැසිරීම් රටාවට අනුගතව දෙදෙනාගේම ග්‍රහ හැසිරීම් රටාව මැනවින් නිරීක්ෂණය කිරීමද අනිවාර්ය වේ.

සිත, සිරුර ,ආත්මය යන ත්‍රිත්වය කුමන ආකාරයකට දෝලනය වන්නේදැයි විමසා බැලීම අගනේය. ශරීර සෞඛ්‍යය, නිරෝගිකම, ලිංගික ශක්තිය, දාරක සම්පත් ඇති බව වාසනාව අනතුරු ආබාධ මෙන්ම භෞතික ජීවිතයේ එදිනෙදා සිදුවන දහසකුත් එකක් පිළිබඳ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යුගදිවියකට යෝග්‍ය සුදුසුකම් ඇත්තේද යන්න ගැන තීරණය කළ යුතුවේ. ඡ්‍යොතිෂ විද්‍යාව ජීවත්වීමට සකසා ගත් වෘත්තීය ජීවන මාර්ගයක් නම් නොවේ. විචාර බුද්ධියෙන් තොරව පොරොන්දම් 20 ට පමණක් මුල් තැනක් දීමෙන් ඕනෑම මානසික රෝගියකුට ඔහුගේ කේන්ද්‍රයට අයත් පොරොන්දම් වලට පමණක් මුල්තැන දී රාජ කුමාරිකාවියක් වුවත් ගලපා ගැනීමට හැකිවේ.

පුද්ගලයකුගේ ජීවන මග මැනවින් හෙළිකරන කේන්ද්‍ර සටහන හෙයින් පොරොන්දම් වලට පළමුව ජීවිතය ගලා යන අයුරු හඳුනා ගත යුතුයි. නිරෝගි බව අනිවාර්ය වේ. බෙලහීන අයකු ගෙන් අංග සම්පූර්ණ යුගදිවියක ගෙන යා හැකිද? එයට මුල් තැන දිය යුතුමැයි අඩු වයසින් මිය යන අයකුගේ කේන්ද්‍රයත් දිගුකල් ජීවත්වන කෙනකුගේ කේන්ද්‍රයන් අතර පොරොන්දම් සීහුම් තිබිය හැක. මේ අනුව බලන විට අප කළ යුත්තේ දෙවැනි තැනට පොරොන්දම් ගැලපීම් ගැනීම කළ යුතු බැවිනි. පැරණි කාලයේ වැන්දඹුවක්වීම මහා අවාසනාවක් ලෙස සැලකීමේ සිරිතක් අතීත භාරතයේ විය. කලින් මිය යන්නේ කවුද යන්න පමණක් ඔවුන් විමසූහ. විසි පොරොන්දම් වලින් විග්‍රහ කර ගැනීමට හැකිවන්නේ ඒ ටික පමණි. ගැහැණියට එදා සමාජයේ දෙවැනි තැන දී තිබුණ නිසාම ඒ අයුරින්ම පිළිගත්තත් අද වන විට එය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගෙන තිබේ. මේ පොරොන්දම් ක්‍රමයට පමණක් මුල්තැනදීම නිසා වැඩි පිරිසක් අන්ත අසරණ තත්ත්වයට ඇද වැටී ඇති බැව් ඇත්තකි.

තවද වෘක්ෂ පොරොන්දම් වලින් ආයුෂ ගැන ඍජුවම තීරණයකට එළඹිය හැකිද? මේ යුගයේදී පුරුෂයකුගේ ආර්ථිකමය ශක්තිය, වෘත්තීය, බලය, අධ්‍යාපනය ගැන මුලින්ම සිතිය යුතු වේ. ආයුෂ ඊටත් වඩා වැදගත්ය. ඉදිරි කාලය තුළ ඒරාෂ්ඨක අපල මාරක දශා ආදිය ගැන ගැඹුරින් නොවිමසා පොරොන්දම් ලකුණු වලට පමණක් මුල්තැනදීම හරිද?

විවාහය බිඳී යන තත්ත්වයක පවතී නම් තවත් ජීවිතයක් අවාසනාවන්ත තත්ත්වයට පත් නොවන තැනට විවාහයට අනුමත නොකිරීම ඡ්‍යොතිෂ වේදීන්ගේද පරම යුතුකමකි.

විශේෂයෙන්ම බහු ස්ත්‍රි සේවනය හෝ අතිධාවනකාරි කාමයෝග සහිත කේන්ද්‍ර හිමියකු විරාගී යෝග ඇත්තකුට ළංකොට විවාහයට අනුමත කිරීමෙන් වන්නේ කුමක්ද යන්න පැහැදිලි කරුණකි. ලිංගික ශක්තිය විවාහයේ දී පරම ශක්තියයි. එහෙත් ලිංගික ශක්තිය ගැන විමසන පොරොන්දමක් තිබේද?

රාහු, කුජ, ශනි වැනි ග්‍රහයකු සතරවැන්න නියෝජනය කරවීම නිසා ඇති විය හැකි කුරිරු විපාක වේදැයි නොවිමසා, පොරොන්දම් පරික්ෂාවකට කිසිසේත්ම උගත් ඡ්‍යොතිෂ ඇදුරන් නොපෙළඹේ. බුධ ගුරු වැනි ශුභයින් උච්ච ස්වභාවය නිසාම මතුවන සාධාරණ මානව හිතවාදිත්වය මිනිස්කම විවාහයට ශ්‍රේෂ්ඨ බැවින් එවැනි යෙදීම් වැදගත් කොට සැලකීම මැනවි.

අද වන විටද පොරොන්දම් වලින් ගැලපේද යන්න සමහර ඇයට වැඩි දෙනෙක් නගන ප්‍රශ්නයකි. උගත් කෘතහස්ත ඡ්‍යොතිෂවේදියකු මේ ගැන අටුවාටීකා කොතෙක් ගෙන හැර පෑවත් ඒ අය එතරම් සැලකිල්ලකට නොගනී. ඔවුන් පුරුදුවී ඇත්තේ පාරම්පරිකව එන පොරොන්දම් ගැලපීමටයි.

විවාහය ජීවිතය පිළිබඳ ගැඹුරු දර්ශනයක් හා දෙදෙනා අතර පවතින ජීවන රටාවේ බලය ගැන බැලිය යුතුවේ.

විවාහ පොරොන්දම් බැලීමේදී අෂ්ඨකූඨය විමසීමක් කෙරේ වැඩිම ලකුණූ ඇත්තේ නාඩි වලට ලේ ධාතුව ගැන කියන නිසාය. 8 ක් දරුඵල ගැන කියන නිසා එය දී ඇති බැව් පෙනේ. සඳු සිටින රාශිය පිළිබඳ ගැලපීමට ලකුණු 7 ක් ලැබේ සිත ගැන කියන නිසා විය හැක. ගණපොරොන්දමට ලකුණු 6 ක් සමඟිය ගැන කියැවේ. රාශ්‍යාධිපති පොරොන්දමට ලකුණු 5 කි. ඒ දෙකම ඒ තරමට දෙවැනි වන්නට හේතුව කිමද? බලවත්ම පොරොන්දමට නැකැත් වලට දී ඇත්තේ 3 කි. වශ්‍යවලට 2 කුලභේදය විමසන වර්ණ පොරොන්දම ලකුණූ 1 ක් ය. භාරතයේ සමාජ හැසිරීම හරහා වර්ණ පොරොන්දම වැදගත් වූවාට ශී‍්‍ර ලාංකිකයින් වන අපට එහි කිසිදු වැදගත් බවක් නොපෙනේ.

මෙවන් කරුණු කාරණා ගැන අපේ උගත් බුද්ධිමත් කෘතහස්ත අත්දැකීම් බහුල ඡ්‍යොතිෂවේදීන් මේ මතයට එකවරම එකඟ නොවෙනු ඇත. ඒ අය විමසා බලන්නේ දෙදෙනාගේම ග්‍රහ හැසිරීම් රටාව ගැනයි. පොරොන්දම් වලට දෙවැනි තැන දෙනු ඇත. පොරොන්දම් ලකුණු වලට පමණක් සීමාවී විවාහයට පා තබනවාද එසේ නැත්නම් දෙදෙනාගේම කායික හා මානසික හැසිරීම් රටාව ගැන ගැඹුරින් නිරීක්ෂණය කරනවාද යන්න ගැන තීරණ විවාහ පේ‍්‍රක්ෂක ඔබ අතේය. මේ අදහස මගේම පෞද්ගලික අදහසක් නොව උගත් ඡ්‍යොතිෂ ඇදුරන් දරණ මනසක් බැව් සනිටුහන් කරමු.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී

ටී. හෙන්රි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.