අසුබ ග්‍රහයන්ගෙන් සුබපල දෙන දශා

ඔක්තෝබර් 20, 2023

ඡ්‍යොතිෂවේදියෙක් ජන්මියකුගේ කේන්දරයක් පරික්ෂා කොට ඔහුගේ ඉදිරි කාලපරිච්ඡේදය ගත වන්නේ මෙලෙස යැයි කරුණු විග්‍රහ කිරීමට, ජන්මියා ලබා ඇති දශාවත් ඉදිරියට ලබන දශාවලුත් ප්‍රයෝජනවත් වන්නේය.

ඒ අනුව පරාශර මහ ඉසිවරයා දශා ක්‍රම 42ක් හඳුන්වාදී ඇති අතර, අප ජීවත්වන මේ කලියුගයේ ජන්මියාගේ කේන්දර පරීක්ෂා කිරීම සඳහා ඔහු නිර්දේශ කොට ඇත්තේ මිනිසා ගේ පරම ආයුෂ අවුරුදු 120ට සීමාකොට ගොඩනඟා ඇති විංශෝත්තරි දශා ක්‍රමයයි.

ඒ අනුව විංශෝත්තරී දශා ක්‍රමයේ දි පිළිවෙලින් රවි ග්‍රහයාට වර්ෂ 6, සඳු ග්‍රහයාට වර්ෂ 10ක් කුජ ග්‍රහයාට වර්ෂ 7කුත්, රාහු ග්‍රහයාට වර්ෂ 18ක් ගුරු ග්‍රහයාට වර්ෂ 16ක් ද ශනි ග්‍රහයාට වර්ෂ 19ක් ද, බුධ ග්‍රහයාට වර්ෂ 17කුත්, කේතු ග්‍රහයාට වර්ෂ 7ක් සිකුරු ග්‍රහයාට වර්ෂ 20ක් යනාදි වශයෙන් නව ග්‍රහයන් අයත් දශාවන් සඳහා වර්ෂ බෙදා වෙන් කොට ඇති අතර, එලෙස එක් එක් ග්‍රහයාගේ දශාවන්ට අයත් වර්ෂ ගණන එකතු කළ විට වර්ෂ 120ක් ලැබේ. මෙකී එක් ග්‍රහයෙකුට අයත් මහ දශාවක් කොටස් 9කට බෙදීමෙන් අන්තර් දශාවන් නවයක් ලැබෙන අතර, පලාඵල කථනයේදි, ලබා ඇති මහ දශා අධිපතියන් ලබා ඇති අන්තර් දශාව සහ ඉදිරියේදී ලබන අන්තර් දශා අධිපතියන්ගේ බල දුබලතා පරික්ෂා කර බලා ඡ්‍යොතිෂවේදියා ජන්මියාගේ ඉදිරි කාලසීමාව ගත වෙන ආකාරය පිළිබඳව කරුණු විග්‍රහ කරයි.

ඒ අනුව සහජ පාපීන් වන කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ට අයත් මහ දශා, අතුරු දශා, සාමාන්‍යයේ අශුභ ඵල දෙන බවත්, රවි, සඳු, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන්ට අයත් දශාව ශුභඵල දෙන බවත් ඡ්‍යොතිෂ්‍ය පිළිබඳව සාමාන්‍ය දැනුමක් ඇති අයවලුන් පවා දන්නා කාරණයකි. ඒ අනුව යටකී පාප ග්‍රහයන්ගෙන් කුජ ග්‍රහයා ගේ මහා දශාව වර්ෂ 7ක් වන අතර උත්පත්ති කේන්දරයේ කුජ ග්‍රහයා පාප පීඩිතව ලග්නය 2,7,8 යන භාවයක හෝ චන්ද්‍ර ලග්නයෙන් යටකී ලෙස කුජ ග්‍රහයා පීඩා වී ඇති විටකදී ලග්න කේන්දරයට අනුව ජන්මියා ගේ ආයුෂ අල්ප හෝ මධ්‍යම වී ඇති නම්, ඔහු හෝ ඇයට ඒරාෂ්ඨක අපලයක් ලබා ඇති විටදී කුජ ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් ඔහු හෝ ඇය සතුරෙක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින්, හදිසි අනතුරකින්, ශල්‍යකර්මයකදී ජීවිතක්ෂයට පත් වන්නේය. එමෙන්ම කුජ ගේ ගති ලක්ෂණ ඇති කේතු ග්‍රහයාගේ දශා කාලය අවුරුදු 7ක් වන අතර, ඒ අනුව අල්ප හෝ මධ්‍ය ආයුෂ ඇති ජන්මියෙක්ට කේතු ග්‍රහයා ලග්නය 2,7,8 යන භාවයක කුජ, ශනි යන ග්‍රහයන්ගෙන් පාප පීඩිතව ඇතිවිටකදී හදිසි අනතුරකින් සතුරු ප්‍රහාරයකින් වස විස කැවීමකින් ගින්නෙන්, වෛරස් රෝගයකින්, පිළිකාවකින්, සර්ප දෂ්ඨයකින්, එකී කේතු, ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇතිවිටදී ඔහු හෝ ඇය ජීවිතක්ෂයට පත් වන්නේය.

ඒ නමුත් මෙකී කුජ සහ කේතු යන ග්‍රහයන් පාපයන්ට ශුභ යැයි සැලකෙන 3,6,10,11 යන භාවයක ග්‍රහයින්ගේ වික්ෂණයට ලක්ව බලවත් සිටියි නම් කුජ, කේතු යන ග්‍රහයන්ට අයත් මහ දශා වලදි සතුරු ප්‍රශ්නවලින් ජය. කලක් පීඩා වින්ද රෝගවලින් ඉක්මන් සුවයක් ලැබීම, රැකියා ලාභ, ධන ලාභ ලැබෙන්නේය. ඉහත සඳහන් කළ පාප ග්‍රහයන්ගෙන් රාහු සහ ශනි යන ග්‍රහයන්ගේ දශා කාලය පිළිවෙළින් වර්ෂ 18 සහ 19ක් වන අතර, සෑම ජන්මියෙක්ම එනම් දීර්ඝ ආයුෂ ඇති ජන්මින්ට මෙකී දශාවන් දෙකම හෝ එකක් අනිවාර්යෙන්ම ජීවිතයේ මුල්, මැද, අග යන කාලවකවානුවකදී ලබයි. රාහු දශාව ලබා රාහු අශුභව සිටියහොත් ජන්මියාට පෙර ආත්ම ගණනාවකදි කරන ලද අකුසල් කර්ම පලදීමක් සිදුවන අතර, සෙනසුරු දශාවට ලබා සෙනසුරු අශුභ සිටියහොත් ඉපදෙන්නට පෙර භවයේදී කරන ලද අකුසල් කර්ම ඵලදීමක් සිදුවන්නේය. මෙකී දශාවන් දෙකම ලබන ජන්මියකුට රාහු ශුභව සිටියොත් සහ සෙනසුරු අශුභ සිටිහොත් රාහුගේ මහ දශාවේදී ශුභ ඵල ලැබෙන අතර, සෙනසුරු ගේ මහ දශාවේදී අශුභ ඵල ලැබෙන්නේය. ඒ අනුව සෑම ජන්මියකුටම මෙලොව ඉපදෙන්නේ පෙර භාවයන්හි කරන ලද අකුසල් කර්ම ගෙවීමට වන නිසා වන හෙයින් සෑම ජන්මියකුට මෙකී රාහු හෝ ශනි ගේ මහ දශාවක් ලැබූ කල එකී අකුසල් කර්ම ඵල දෙන්නේය.

ඉහත ශනි සහ රාහු පිළිබඳ කළ විග්‍රහ වඩා හොඳින් අවබෝධ කර ගැනීමට පහත සඳහන් උදාහරන කේන්දරය වෙත අපගේ අවධානය යොමු කරමු.

ඉහත උදාහරණ කේන්දරය අයත් වන්නේ ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වන මොරාජි දේසායිට ඔහු අවුරුදු 99ක් ආයු වළඳා සියවෙනි උපන් දිනය සැමරීමට දින කිහිපයක් තිබියදී මිය ගියේය. උපත 1896.02.26

ධනු නවාංශ පුවපල් නැකතේ 4 වෙනි

සිකුරු මහා වර්ෂ 2යි මාස 3 දින 5

එම කේන්දරයේ අප මාතෘකාවට අනුව රාහු, ශනි, මහ දශාවන් දෙකම ඔහු ජීවත් සිටි කාලය තුළදි ගෙවා නිම කළ අතර, ජීවිතයේ මුල් භාගයේදී එනම් අවුරුදු 25දී ලැබූ අවුරුදු 18ක් වූ රාහු මහ දශාව ඉතා අශුභ විය. මන්ද රාහු 9 වැන්නවූ කුම්භයේ සතුරු ක්ෂේත්‍රව රවි සමඟ සංයෝගව ශනි ග්‍රහයාගේ කේන්ද්‍රය දෘෂ්ඨියෙන් පීඩා වෙමින් තුන්වැන්නේ සිටින සඳුට පීඩා කිරීම නිසාය. නමුත් වයස අවුරුදු 59 සිට 78 දක්වා පැවති සෙනසුරු ග්‍රහයාගේ මහ දශාව ඔහුට ශුභ විය. මක් නිසාදයත් සෙනසුරු 5 වැන්නෙහි සේනක යෝගය උදා කරමින් මිථුන ලග්නයට යෝගකාරක බුධ සිකුරු සහ සතරදීප යෝගය උදා කළ කුජ යන ග්‍රහයන්ගෙන් කේන්ද්‍රයට දෘෂ්ටිව භාජනයව සිටීම නිසා අවුරුදු 59 සිට 78 දක්ව පැවති අතර සෙනසුරු මහ දශාව තුළ දේශපාලන ජීවිතයේ සාර්ථක භාවයක් ඇති කර ගැනීමට හැකි වූ ඒ අනුව හෙතෙම අර්ධ ලග්නාධි සහ චන්ද්‍රාධි යෝගකව සම්බන්ධ ලග්නාධිපති බුධ ග්‍රහයාගේ මහ දශා බුධගේ අතුරු දශාවේදී ඒ මහතා ඉන්දියාවේ 4 වෙනි අගමැතිවරයා බවට පත්විය. සහජ පාපීන්ගෙන් රවි ග්‍රහයා ජන්මියාගේ ආත්මය නිවේදනය කෙරෙන හෙවත් ජගත් ආත්මකාරක මෙන්ම ලග්නයට කාරක ග්‍රහයා වන හෙයින් රවි ග්‍රහයා ලග්න කේන්දරයේ උපචය භාවයන් වන 3,6,10,11 යන භාවයක උභයචාරි, මයුරපාල, උපේන්ද්‍ර වැනි යෝගයන්ගෙන් පෝෂිතව බලවත්ව සිටියි නම්, රවි ග්‍රහයාගේ මහ දශාවේදී ජන්මියා ගේ ජීවන තත්ත්වය උසස්වීමක් නිලතල බලතල ලැබෙන අතර, දේශපාලනයට සම්බන්ධ අයෙක් නම් මැති ඇමති, අගමැති, ජනාධිපති වැනි තනතුරු හිමි වන්නේය.

මෙකී රවි මීට ප්‍රතිවිරුද්ධ ලෙස එනම් නීච සතුරු ව සහජ පාප ග්‍රහයන්ගේ වික්ෂණයට ලක්ව 6,8,12 යන දුෂ්ඨ භාව ගතව හෝ එකී භාවාධිපතින්ගේ දෘෂ්ඨියෙන් හෝ සංයෝගයෙන් පීඩා වී ඇති නම්, එවන් ග්‍රහ බලයක් ඇති ජන්මියාට, රවි මහ දශාවක් ලැබූ විට ඔහු ජීවත්වන සමාජ තුළ අයහපත් පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියට පත් වන්නේය. එනම් සොරෙක්, මිනීමරුවෙක් මංකොල්ලකරුවෙක්, මත්කුඩු , කලු සල්ලි ජාවාරම්කරුවෙක්, ගණිකා මඩම් පවත්වා ගෙන යන්නෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වන්නේය.

සහජ ශුභයන් වන සඳු, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් සෑම ලග්නයකටම, එකී ලග්නවලට ශුභ ඵල දෙන කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ ස්ථානාධිපති යෝගකාරක ආදි ග්‍රහයන්ගේ වික්ෂණයට හෝ සංයෝගයට ලක්ව බලවත්ව සිටිත් නම් එකී ග්‍රහයන් ගේ මහා දශා අතුරු දශාවලදී ජන්මියාට ශුභ ඵල ගෙන දෙන්නේය. මෙහිදි විශේෂයෙන් සහජ ශුභයන් අතරින් බලවත්ව ශුභ ග්‍රහයා වන පෙර පින්කාරක ගුරු ග්‍රහයා ඕනෑම ලග්නයකට 1,2,57,9,11 යන භාවයක පාප මෙන්ම ශුභ බලපෑමට ලක්ව හෙවත් මධ්‍යස්ථ බලයකින් සිටින ජන්මින්ට ගුරු මහ දශාවක් ලැබූ කල පෙර ආත්මවලදි කරන ලද කුසල් කර්ම සක්‍රියවී ශුභ ඵල ලැබෙන්නේය. ඒ නමුත් මෙකී සහජ ශුභයන් ලග්න කේන්දරයට අශුභ ඵල දෙන 2,7 මාරක 6,8,12 දුෂ්ට හාවාධිපතියෙකුට හිමිකම් කියමින් පාප පීඩිතව සිටි කල එකී සහජ ශුභයා ගේ මහ දශාවේ සහජ පාපියෙක්ට අයත් අතුරු දශාවේදී අපල විපත් ඇති කරන්නේය. මීට උදාහරණයක් වශයෙන් හිටපු ජනාධිපති පේ‍්‍රමදාස මහතාගේ ජන්ම පත්‍රය ඉදිරිපත් කළ හැකිය.

 

1924/06/23 අලුයම 3.27

ධනු නවාංශයෙන් පුවපුටුප නැකතේ 2 පාදයෙන් උපත ලබා ඇති හෙයින් ගුරු ග්‍රහයාට අයත් මහ දශාව වර්ෂ 11 මාස 09 දින 18ක් ශේෂව පවතී.

ඉහත පේ‍්‍රමදාස මහතාගේ මේෂ ලග්න කේන්දරයේ 2,7 මාරක ස්ථානාධිපති සිකුරු ග්‍රහයා 3 වැන්නේ 3 වැන්නාධිපති බුධ ග්‍රහයා සමඟ මධ්‍යම විවර්තන යෝගයක් උදා කරමින් සිටියි. එම සිකුරුට සහ සිකුරු ගේ මූල ත්‍රිකෝණ රැසක් වන තුලාවේ බාධක ස්ථානාධිපති සෙනසුරු වක්‍රව සිටින අතර, එහි ග්‍රහයන් දෙදෙනාම තවදුරටත් කුජ, කේතු යන ග්‍රහයන්ගෙන් පීඩා වී ඇත. ඒ අනුව ලග්න කේන්දරයට අනුව මධ්‍යම සහ චන්ද්‍ර කේන්දරයට අනුව මහ පරිවර්තන යෝගයක් උදා කළ සිකුරු ග්‍රහයා ගේ මහ දශාවේදී ඒ මහතාට ජනාධිපති වීමට හැකි වුවත් මරණයට කාරක කුජ කේතුගෙන් පීඩාවූ සිකුරු මහ දශාවේ ශනි අතුරු දශාවේදි ත්‍රස්තවාදියකු විසින් එල්ල කරන ලද බෝම්බ අනතුරයකින් ඒ මහතා ජීවිතක්ෂයට පත්විය.

ඉහත විග්‍රහ කළ පරිදි සහජ ශුභයෙක් වන ගුරු ග්‍රහයාගේ මහ දශාව සෑම ලග්නයට ශුභ පල දෙන්නේ යැයි යන මතය පිළිබඳව උදාහරණයක් මඟින් කරුණු පැහැදිලි කිරීමේදි පහත දැක්වෙන මෙරට ප්‍රථම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කන්‍යා ලග්න කේන්දරය ඉදිරිපත් කළ හැකි වන අතර ඒ අනුව කන්‍යා ලග්නයට ගුරු බාධක, ස්ථාන අධිපති මෙන්ම ලග්නාධිපති බුධට සතුරු ග්‍රහයෙක් වන හෙයින් බොහෝ ඡ්‍යොතිෂ පොත්පත්වල ගුරු ග්‍රහයා කන්‍යා ලග්නයට පාපියෙක් ලෙස සඳහන් කොට ඇතත්,

ජේ.ආර්.ජයවර්ධන මහතාගේ කන්‍යා ලග්න කේන්දරයේ ගුරු ග්‍රහයා රාජ්‍ය ස්ථානය වන 10 වැන්නෙ කන්‍යා ලග්නයට අර්ධ යෝග කාරක ශනි සහ යෝග කාරක සිකුරු සමඟ මහා ත්‍රිකෝණ යෝගයක් උදා කරමින් සිටීම ඉතා ශුභ ග්‍රහ බලයක් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඒ මහතාට 1977 දී ගුරු මහ දශාවේ සිකුරු අන්තර් දශාවේ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත්විය.

 

1906.09.17 දින පෙ.ව. 7.27ට කන්‍යා ලග්නයෙන් කටක නවාංශකයෙන් මා නැකතේ 4 වෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් කේතු මහ දශාව ඉදිරියට වර්ෂ 00 මාස 06යි දින 18ක් ශේෂව තිබුණි.

ඒ අනුව ඕනෑම ලග්නයකට සමාජ ශුභයන් ශුභව පිහිටා ඇති විට එකී සහජ ඥානයන්ගේ මහ දශා අන්තර් දශාවලදි ශුභ ඵල ලැබෙන අතර, අශුභ සිටිය විට සහ ග්‍රහයාගේ මහ දශාවේ අශුභව සිටි සහජ පාපියෙක් ගේ අතුරු දශාවේදී අශුභ ඵල ලැබෙන්නේය.

සහජ ශුභයින් වේවා සහජ පාපින් මේවන ලග්නාධිපතිට මිත්‍ර ශුභ පිහිටියා වූ කේන්ද්‍ර ත්‍රිකෝණ 2,11 යන භාවාධිපතින් ගේ මහ දශා අන්තර් දශාවලදී කේන්දර හිමියාට ශුභඵල ලැබෙන්නේය. ඒ වාගේම ලග්නයට යෝගකාරකයෙක් සහ අර්ධ යෝගකාරකත්වයක් උසුලන පාප පීඩිත නොවි ශුභව පිහිටියා වූ ග්‍රහයන්ගේ මහ දශා අන්තර් දශාවලදී කෙන්දර හිමියාට ඉතා උසස් ශුභ ඵලයක් භුක්ති විඳීමට හැකි වන්නේය.

එමෙන්ම ලග්න කේන්දරයට අශුභ ඵල දෙන 6,8,12 යන දුෂ්ට ස්ථානාධිපතියන් සහ 22 දෙර්කාණාධිපති 64 වෙනි නවාංශකාධිපතිය යන ග්‍රහයන් අශුභව පිහිටා ඇති විට එකී ග්‍රහයන්ට අයත් මහ දශා අන්තර් දශාවලදී.

අශුභ ඵල ලැබෙන්නේය. එකී ග්‍රහයන් පාප පීඩිත නොවී ශුභව සිටිය විට ශුභ /අශුභ ඵලයක් හෙවත් මිශ්‍ර ඵලයක් දානය කරන අතර එකී ග්‍රහයන් උච්ච, මූල,ත්‍රිකේණ, ස්වක්ෂේත්‍ර යනාදි බලයකින් යුතුව හෝ වෙනයම් මහ පරිවර්ත, මධ්‍යම පරිවර්තන හෝ විපරීත රාජයෝග බලයකින් යුතුව පිහිටා ඇත්නම් එකී පාප ග්‍රහයන්ට අයත් මහ දශා අන්තර් දශාවලදි කේන්දර හිමියාට උසස් ශුභ ඵලයක් භුක්ති විඳිය හැකි වන්නේය.

එමෙන්ම කේන්දරයකට අනුව ලබා ඇති මහ දශා, අතුරු දශා පිළිබඳව ඵලා පල පැවසීමේදී යෝගිනි මහ දශා අෂ්ටොෂ්තරි මහ දශාව නෛසර්ගික මහ දශා මෙන්ම දශනාථ කේන්දරය උපයෝගී කර ගැනීමෙන් සේවාදායකයාට නොවරදිනසුලු ඉලක්කයටම පලාඵලයක් ඉදිරිපත් කළ හැකි බව මම මෙහිදී අවසාන වශයෙන් සඳහන් කරමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.