ඔබේ අංකය 4 නම්...

ජුනි 9, 2023

පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 3 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 4 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 4,13,22,31 යන දිනයන්හි එකක උපත ලබා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික අංකය අංක 4 ය. පෞද්ගලික අංක 4 හිමියන්ට හිමිවන්නේ යුරේනස් ගේ බලයයි.

පෞද්ගලික අංක 4 හිමි පුද්ගලයන්ට ආවේණික වූ චරිත ස්වභාවයක් ඇත. යුරේනස් ග්‍රහයා වෙතින් පාලනය වන බැවින්, ඔහු ප්‍රබල අධිෂ්ඨානශීලි බවක් පෙන්වයි. කදිම ගොඩනැඟීමේ ශක්තියක් හිමි පුද්ගලයකු බිහි වේ. අනෙකුත් පෞද්ගලික අංක හිමි පුද්ගලයන් බලන කෝණයට ප්‍රතිවිරුද්ධ කෝණයකින් බැලීම ඔවුන්ගේ ක්‍රමයයි. නිවැරැදි තර්කයකදි පවා ඒ බව දැන දැනත් සෑමවිටම විරුද්ධව තර්ක කිරීම ඔහුගේ ක්‍රමයයි. අරගලකාරි හැසිරීමකට ගමන් කිරීම සිදු නොවන නමුත් ඔහුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තමාට විරුද්ධ කණ්ඩායමක් ගොඩනඟා ගනියි. එම නිසා ඔහුගේම හිතවතුන් පවා අභ්‍යන්තරයෙන් මෙම පුද්ගලයාට රහසිගතව විරුද්ධව ක්‍රියා කිරීමට පටන් ගැනීම දැකිය හැකිය.

පෞද්ගලික අංක 4 හිමියෝ ස්වාධීන පුද්ගලයෝය. එම නිසා ඔවුන් නීතිවලට කොටුවී සිටීමට ප්‍රිය කරන්නේ නැත. තමාටම ආවේණික වු අදහස් පෙරදැරි කරමින් කටයුතු කරයි. පැරැණි මත, අණ පනත්වලට විරුද්ධව කටයුතු කිරීමට මෙන්ම නව අණ පනත් ඇති කිරීමට දක්ෂ චින්තකයන් වශයෙන් සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් වන්නේ ද මොවුන්ය. පෞද්ගලික අංක 1 හිමියන් පවතින නායකත්වයට පක්ෂපාති බවක් දක්වන නමුත් ඊට ප්‍රතිවිරුද්ධ එනම් පවතින නායකත්වයේ ක්‍රියාරාමුව වෙනස් කිරීමට පෞද්ගලික අංක 4 හිමියන් උත්සාහ කරනු ඇත. සමාජය වෙනස් කිරීමේ ක්‍රියවලිය කෙරෙහි මොවුන් ප්‍රබල උත්සහයක් ගන්නා පුද්ගලයන් වේ.

ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න. යම් පවුලක අංක 4 හිමි සාමාජිකයකු සිටී නම් ඔහු හෝ ඇය කුඩා කල සිටම වෙන්ව හඳුනාගත හැකිය. ඔවුන් කටයුතු කිරීමේදී ඉතා තද බල මුරන්ඩු ස්වභාවයක් පෙන්නුම් කරයි. ඒ නිසාවෙන් අනිකුත් සාමාජිකයින් මොහුගෙන් ඈත්වීමේ ස්වාභාවය නිසා ඔහු යම් හුදකලාවීමකට ලක්වේ. එම නිසා ඔබ අංක 4 හිමියෙක් නම් ඥාතීන් සමඟ එක්ව ක්‍රියා කිරීමේදී වචන හැසිරීම පිළිබඳව ප්‍රවේශම් විය යුතුය. නැතිනම් විවේචන සහ ඔබ පිළිබඳව ඇති ආකල්ප දරා ගැනීමට අසීරු වන විට ඔබ නිවෙසින් ඉවත්ව යාම සඳහා උත්සාහ ගනු ඇත. විශේෂයෙන්ම මොවුන් විවාහයෙන් පසුව වෙනම නිවෙසක පදිංචි වන්නේ නම් සාර්ථක වන්නේය. එසේ නොමැති වුවහොත් විවාහ ජීවිතය පවා අසාර්ථක වීමට ඉඩ තිබේ. මන්ද ඔවුන් විවාහ පත් සහකරුගේ හෝ සහකාරියගේ ඥාතීන් රුස්සන්නේ නැති ස්වභාවයක් ඇතිවන නිසාය.

විවාහය සඳහා අංක 1 පෞද්ගලික අංකය හිමි සහකරුවකු හෝ සහකාරියක වඩාත් ගැළපෙන අතර අංක 2,5, 7 යන පෞද්ගලික අංක හිමි අයකු වුවද යෝජනා කළ හැකිය. අංක 4 හිමි අයකු අංක 4 හිමි අයකු සමඟ විවාහයේදි ඔවුන් දෙදෙනාම ජීවිත කාලයම තර්ක කරමින් කාලය ගත කරනු ඇත. එම නිසා විවාහය අසාර්ථක වේ. 3, 6, 9 අංක හිමියන් අංක 4 හිමියන් සමඟ කිසිවිටෙක විවාහය මෙන්ම හවුල් ව්‍යපාර සඳහා ද සුදුසු වන්නේ නැත.

පෞද්ගලික අංක 4 හිමියන්ට අන් අය වසඟ කරගත හැකි කථිකත්වයක් හා පෞරුෂත්වයක් ඇති බැවින් නිතැතින්ම සමාජය තුළ නායකත්වය හිමි වේ. ඔවුහු පහසුවෙන් මිතුරන් ඇති කර නොගනිති. එසේම ආකර්ෂණය වන්නේ 1, 2, 4, 7 යන අංක වලටය. ඔවුන් ලෞකික වශයෙන් සාර්ථක වන්නේ කලාතුරකිනි. නීතියක් වශයෙන්ම ධනය එකතු කර ගැනීම ගැන උනන්දු නොවේ. මුදල් වැඩිපුර ඇත්තේ නම් ඔවුන් එය වියදම් කරන ආකාරයන් පිළිබදව අනිත් අය විස්මයට පත්වෙති. ඒ බොහෝ විට විශාල මුදල් ප්‍රමාණ සමාජ සුබසාධනයට යොමු කරන නිසාය. සෑම විටම පුද්ගලයන්ට ගැළපෙන්නේ කාර්මික අංශයේ රැකියාවන්ය. විශේෂයෙන් ඉංජිනේරු සේම විදුලි අංශය ද මෙම පුද්ගලයන්ට ගැළපේ.

මොවුන්ගේ ප්‍රධාන වරද වන්නේ අධික සංවේදි භාවයයි. ඔවුහු ඉක්මනින් සිත් රිදවා ගනිති. තමා තනිවී ඇතැයි සිතයි. එසේ සිතමින් කළකිරීමට පත්වෙයි. ඔවුන් වෙත සිටින යහළුවන් කිහිප දෙනාට ඔවුන් කැප වී ඉහළින් සලකයි. එයට අමතරව අශුභවාදි දැක්ම ද හිතුවක්කාරකම, විශ්වාස කළ නොහැකි වීම, අපරික්ෂාව හා අවධානය අවම කිරීම ද මෙම පුද්ගලයන්ගේ දුර්වලතා ලෙසින් හඳුනාගත හැකිය. ආර්ථික අපහසුතා වරින් වර මතු වෙයි. එහෙත් නොසැලෙන අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමෙන් ඒවා විසඳා ගැනීමට සෑම විටම ඉඩ ලැබේ. ඒ සමඟම අමාරුකම් මතුවී තිබියදි අන් ආදායම් මාර්ගයක් පෑදීම මෙම පුද්ගලයන්ගේ ලක්ෂණයයි.

ළමා කාලය අතිශය දුෂ්කර වේ. එය අවුරුදු 35 වන තුරු පවතින අතර, ශනිගේ වසරවලදි එනම් අංක 4 සහා අංක 8 එන වයසේදි පුද්ගලයාට දුෂ්කර කාල වකවානු වේ. මේ නිසා වයස අවුරුදු 4,8,13,17,22,26,31 යන වයස් කාලවලදී සියලු සුබ කටයුතුවලට යොමු නොවී පරිස්සමෙන් කටයුතු කළ යුතුය. ඔබ පෞද්ගලික අංක 4 අයකු නම් ඔබේ ජීවිත කථාව සසඳා බලන්න.

මොවුන්ගේ සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මානසික තත්ත්වය උඩයි. හිත සතුටින් නම් අසනීප නැත. එසේම සිතේ සතුට මත අසනීපවලින් සුවය ලැබීම රඳා පවති. මේ පුද්ගලයන් වැඩි වශයෙන් ස්නායු සම්බන්ධ රෝගාබාධයන්ට ගොඳුරු වේ. ජීවිතයේ අවසාන කාලයේ අංශභාගය සෑදීමට ඉඩ කඩ තිබේ. ඔහු උපන් මාසය සමඟ මේ තත්ත්වය යම් වෙනස් කම් දැකිය හැකිය. කෙසේ වුවත් මේ තත්ත්වයන් වළක්වා ගැනීමට මනස සැහැල්ලුවෙන් තබා ගැනීම යහපත් වේ.

මොවුනට සියලු කටයුතු සඳහා සුබ දිනයන් වන්නේ මාසයේ අංක 4 ට යෙදෙන 04,13,22,31 දිනයන්ය. සතියේ සුබ දිනයන් වන්නේ සෙනසුරාදා, ඉරිදා, සඳුදා ය. මේ දිනයන් ඕනෑම මාසයකට පොදු නමුත් ඉතාම වැදගත් කටයුතු සඳහා ජුනි 21 සිට ජුලි 20 හෝ ජුලි 21 සිට අගොස්තු 20 අතර කාලය තෝරා ගන්න. මිතුරන් ලෙස පෞද්ගලික අංක 1,4,5,7 පුද්ගලයින් ද සුදුසු වේ. නමුත් පෞද්ගලික අංක 3,6,9 හිමි අය මිතුරුකමට සුදුසු නොවේ. ජීවිතයේ සාර්ථකත්වය සඳහා දීප්තිමත් නිල් පැහැය හෝ අළු පැහැය භාවිත කරන්න. මේ වර්ණවලින් සැදුම් ලත් ඇඳුම් හෝ කුඩා ලේන්සුවක් හෝ භාවිත කරන්නේ නම් මැනවි. අංක 4 හි විකල්ප අංකය අංක 1 වේ. ඔවුන්ගේ වසනාවන්ත මැණික් ගල් සපායර්ය. (තද පැහැය හෝ ළා පැහැය) මෙම ගල් කැබැල්ලක් සමෙහි ගෑවෙන සේ පැලඳීමෙන් මහඟු ප්‍රතිපල අත්වේ.

ලබන සතියේ පෞද්ගලික අංක 5 හිමි අයගේ ජීවන තොරතුරු කථා කරමු.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.