සක්‍ර දෙවිඳු බැල්ම හෙළන ගුරු හංස යෝගය

ඔක්තෝබර් 25, 2024

පංච මහා පුරුෂ යෝග අතරින් හංස යෝගය හෙවත් රණ හංස, ගුරු හංස යෝගය අග්‍රස්ථානයේ සැලකේ. බ්‍රහස්පති ග්‍රහයා හංස යෝගයේ නිර්මාතෘවරයාය. ප්‍රඥාව, උදාරතර ඥාන සම්භාරය, ඉතාමත් ඉහළ මට්ටමින් පවතින්නා වූ ආත්මාවබෝධය පිළිබඳ දැනුම හා ඉහළම මට්ටමේ උගත්කමට අදාළ ග්‍රහයා වශයෙන් බ්‍රහස්පති ග්‍රහයා හැඳින්වේ.

ප්‍රඥාවට කාරක ගුරු

ඉහළම මට්ටමේ ගුරුවරු, කථිකාචාර්යවරු, මහාචාර්යවරු ආදී විද්වතුන්, ප්‍රබල නමක් හිමිකරගත් උදාරතර දැනුම් සම්භරයකින් මෙන්ම ඉහළ මට්ටමේ ආගමික නැඹුරුවකින් යුතු ශ්‍රමණ පූජකයන් නැතහොත් කවර ආගමක වුවද ඉහළ තලයේ ප්‍රසාදීන් වහන්සේලා, අධිකරණ ක්ෂේත්‍රයේ උසස් තනතුරු දරන්නන්, නීතිවේදීන්, නීති විශාරදයන් මෙන්ම ආගමික කර්තෘවරුන් ධර්ම දේශකවරුන්, කවර හෝ ආගමක උසස් ඇවතුම් පැවතුම් දේශනා කරන්නන්, ඉහළම තලයේ ග්‍රන්ථ කර්තෘවරු හා විවිධ තලයේ ලේඛකයන්, මහා ප්‍රාඥයන් බ්‍රහස්පති නියෝජනය කරයි. ලග්නයට දිග්බල ග්‍රහයන්ගෙන් එක් අයකු වන්නේ ප්‍රඥාවට කාරක බ්‍රහස්පතිය. ප්‍රඥාව ඥානයටත් වඩා ශ්‍රේෂ්ඨය.

‘ප්‍රඥා නරානං රතනං’ යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ ඒ මතය පරිදිය. බුධගෙන් නියෝජනය වන බුද්ධියට හෝ ඥානයට විරුද්ධ වචනයක් ඇත. ඒ කූඨ බුද්ධියයි. එහෙත් ප්‍රඥාවට එබඳු විරුද්ධ වචනයක් නැත. එහෙයින්ම ප්‍රඥාව අතිශයින්ම ශ්‍රේෂ්ඨම වන්නේ ය.

 

බ්‍රහස්පතිගේ නියෝජනයන්

මෙකී ප්‍රඥාව බ්‍රහස්පති ග්‍රහයා පාලනය කරයි. බ්‍රහස්පති ශාරීරික වශයෙන් සැලකීමේ දී මේදය (කොලෙස්ටරෝල්) පාලනය කරන්නා ලෙස ද සැලකේ. ඒ හැර මුහුණෙහි නාසය නියෝජනය කරනුයේ බ්‍රහස්පතිය. බ්‍රහස්පති බලවත් අයගේ නාසය ඉතා උත්තුංග ලෙස පිහිටා ඇත. උදාහරණයන් වශයෙන් හිටපු රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයකු වන ජේ.ආර්. ජයවර්ධන ජනපතිගේ බ්‍රහස්පති ග්‍රහයා බලවත්ව 10 වැන්නේ සිටීම නිසා දෝ ඔහුගේ නාසය කැපී පෙනෙන ඉහළ මට්මකින් පිහිටා තිබුණි.

දේවානාද්ච ඍෂි නාද්ච
ගුරුං කාඤ්චන සන්නිභං
බුද්ධිමන්තං තිලෝකේසං
තං නමාමී බ්‍රහස්පතිං

යනුවෙන් බ්‍රහස්පතිට වෙන් වූ කවචයේ සඳහන් වේ. කවචය යනු යුද සැට්ටයයි. ජන්මියාට බලපාන සියලු අසුබ, අයහපත් බලපෑම්, නැතහොත් නොයෙකුත් අවැඩ ප්‍රහාරයන් වළක්වනා යුද හැට්ටයක් ලෙස බ්‍රහස්පතිගේ මේ කවචය දැක්වේ. බ්‍රහස්පති දෙවියන්ට සහ ඍෂිවරුන්ට ගුරුවරයෙක් වැනිය. ස්වර්ණමය ස්වභාවයෙන් බැබලේ.

 

බ්‍රහස්පතිගෙන් පිහිට ලැබීම

ඒ අනුව තුන්ලෝකයටම මහා ඉහළ මට්ටමේ බුද්ධිමතෙක් ලෙස බ්‍රහස්පතිව සලකනු ඇත. බ්‍රහස්පතින්දා දිනෙක ගුරු හෝරාවෙන් ඉහත ශ්ලෝකය 7 වරක් කියා බෝධීන් වහන්සේට පැන් භාජන 7ක් වත් කිරීමෙන් බ්‍රහස්පතිගේ අපල දුරලයි. සඵල වැඩිවේ.

ගුරු හංස හෙවත් රණ හංස යෝගය

බ්‍රහස්පති කේන්ද්‍රයෙහි 1, 4, 7, 10 ආදි ස්ථානවල ස්වක්ෂේත්‍රව හෝ උච්චව සිටින්නේ නම් රණ හංස යෝගය යෙදෙන බව ග්‍රන්ථාන්තර ගතයි.

ගුරු හංස යෝගයේ ප්‍රතිපල

ගුරු හංස, රණ හංස යෝගයේ ප්‍රතිපල ජාතක රත්නාකරයට අනුව මෙසේ දක්වා ඇත.

හසයෙහි උපනුන් නාසය උස්වෙති
හස බඳු කටහඬ මුවරත් පැහැවෙති
අනඟය මෙන් කම් සැපතෙහි ලොල්වෙති
සතරත් දැනගන සුසිරිතෙ යෙදුමැති

ජාතක රත්නයට අනුව ගුරු හංස යෝගයේ ප්‍රතිඵල මෙසේ දක්වා ඇත.

සිව් සත දස ජම්මය ගුරු යෙදුණා
සව් සිරි විඳ පිරිවර ලැබ සේ නා
දෙව් පිය දන සම්පත් රජ කරු ණා
කව් ගුරු හස යෝගය ලද සිරි නා

මේ අනුව බ්‍රහස්පති පංච මහා පුරුෂ යෝගයේ යුක්ත වීම මත ජන්මියා උදාර තලයකට පත්වන බව නිසැකයෙන් පැවැසිය හැක්කේ ය. බ්‍රහස්පතිගෙන් රණ හංස යෝගය යෙදීම තුළ ජන්මියා සමාජය තුළ ඉහළ මට්ටමේ පිළිගැනීමකට පාත්‍ර වේ. බ්‍රහස්පතිගෙන් ලැබිය යුතු ඉතා ඉහළ මට්ටමේ සුබ ප්‍රතිඵල වඩ වඩාත් සාර්ථක කර ගැනීමට නම් පුෂ්ප රාග ගලක් පැලඳීම බෙහෙවින්ම ඵලදායක වේ. බ්‍රහස්පති සම්බන්ධ වෘක්ෂය බෝධියයි. බ්‍රහස්පති සම්බන්ධ දේවත්වය සක්‍ර දේවයන් වහන්සේ වේ. බ්‍රහස්පතින්දා දිනෙක ගුරුට අයත් කවචය හත්වරක් කියා බෝධීන් වහන්සේට වතුර වත් කිරීමෙන් ඉමහත් ප්‍රතිඵල ලැබිය හැකිය. විශේෂයෙන්ම සක්‍ර දෙවියන් වහන්සේට නමස්කාර කිරීම, පින් අනුමෝදන් කිරීම මඟින් බ්‍රහස්පතිගෙන් ලැබිය හැකි ආශිර්වාදය වඩාත් සක්‍රිය කරගත හැකිය.

ශ්‍රීමාන් දේව පුරන්දරාදී නිමලාං
දිව්‍යාදි දේවා මහං
යුග්මේ හස්තක සංඛ වක්‍ර ධරණෞ
සර්වාභරණ භුෂිතාම්
ශ්‍රේෂ්ඨං ඵෙරාවණධි නිමලාං
දිව්‍යාධි දේවා මහං
තංතේජේන භවන්තුමේ
සුරවිදුං
රක්ෂංතු කුර්ව මංගලම්

හංස යෝගය යෙදුණු අය අතර මහා ශ්‍රේෂ්ඨයා සර්වඥ රාජෝත්තමයන් වහන්සේ වන බුදුරජාණෝයහ. උන්වන්සේගේ ලග්නය කටකය වූ අතර බ්‍රහස්පති උච්චව ලග්න ගත විය. මෑතක ලංකාවේ සිටි ප්‍රකට ගණයේ ධර්මධරයකු වූ ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුරු 4 වැන්නේ ස්වක්ෂේත්‍රව සිටියේ ය. එයද හංස යෝගයයි. කන්‍යා ලග්නයේ උපන් උන්වහන්සේගේ ගුරු 4 වැන්නේ ධනු රාශි ගතව ස්වක්ෂේත්‍ර විය. ඒ ශක්තිය නිසාම උන්වහන්සේ මහා දේශකයාණන් වහන්සේ නමක් වූහ.

හංස යෝගය යෙදෙන ලග්න අතර මේෂ, මිථුන, කටක, කන්‍යා, ධනු, මකර, මීන ආදී ලග්න වේ. ගුරු මේ ලග්නවලදී කේන්ද්‍රස්ථානගතව උච්ච හෝ ස්වක්ෂේත්‍රවීමෙන් හංසයෝගය උදා කරයි.

 

ගජකේෂරී යෝගය

බ්‍රහස්පති චන්ද්‍රයාගෙන් 4, 7, 10 ආදී ස්ථානවල සිටින්නේ නම් එය ගජකේෂරී යෝගය ලෙස සැලකේ. ඇතුන් මැද වන් සිංහයකු වැනි යන අදහස මින් ගම්‍ය වේ.

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

 

 

තුෂාරි නේරංජා වික්‍රමසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.