ලග්න හතරක බලය වැඩි කරන රාජ යෝග තුනක් උදාවෙයි

ඔක්තෝබර් 25, 2024

මේෂ,කටක, වෘශ්චික, මීන ලග්නවලින් උපන් ජන්මීන්ට වැඩි බලයක් උදා කරමින් ද අන් ලග්න අටෙන් උපන් සියලු දෙනාට සුබපල ගෙන දෙමින් ද සඳු ග්‍රහයා මූලික කරගත් ගජකේශරී, නීච භංග රාජයෝගය සහ මහා පරිවර්තන යන යෝග තුන නොවැම්බර් මස 2වැනිදා සෙනසුරාදා රාත්‍රී 11.23ට සඳු ග්‍රහයා ස්වකීය නීච භවන වන වෘශ්චික රාශියට පැමිණීමත් සමඟ උදා වේ.

වෘශ්චික රාශිගත වන සඳුට සප්තම දෘෂ්ටියෙන් සිටින වෘෂභ රාශියේ වක්‍ර නිසා උච්ච බලය ලැබූ ගුරු ප්‍රබල ගජකේෂරී යෝගය උදා කරයි. එම සඳු තැන්පත් වෘශ්චික රාශි අධිපති අඟහරු එහි ත්‍රිකෝණ රැසක් වන කටකයට ගොස් නීචව සිටීමෙන් නීච භංග රාජයෝගයක් සහ මහා පරිවර්තන රාජයෝගයක් උදා කරයි. ඒ අනුව මෙකී යෝග තුන නොවැම්බර් මස 5 වැනිදා අඟහරුවාදා උදේ 09.45ට සඳු ග්‍රහයා ධනු රාශි ගතවනතෙක් පවතී.

ඒ අනුව උත්පත්ති කේන්දරයේ සඳු ග්‍රහයා කේන්ද්‍ර කොට ගෙන මෙකී යෝග යෙදී ඇති දැනට සඳු ග්‍රහයාට අයත් මහ දශා අන්තර් දශා ගත කරමින් සිටින අයට සුරතල් මසුන් හා මිරිදිය මසුන් ඇති කිරීමේ කර්මාන්ත, කිරි නිපදවීමේ කර්මාන්ත ආරම්භ කිරීමෙන්, භූමිතෙල්, පෙට්‍රල්, අම්ල සම්බන්ධ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමෙන් උසස් ප්‍රතිපල භුක්ති විඳීමේ වාසනාව උදාවෙයි. එමෙන්ම විදේශ ගමන්, පිහිනුම්, කිමිදුම් පුහුණුවීමේ කටයුතු ආරම්භ කිරීමටද, දරුවන් නැති අඹු සැමියන්ට දරුපල සඳහා සම්භෝගයෙහි යෙදීමටද මේ කාලය සුබ වන්නේය. දැඩි සිතක් ඇති අයකු යම්කිසි කටයුත්තක් සඳහා එකඟ කර ගැනීමටද, අමනාප වූ අයකු සමඟ මිත්‍රවීමටද, මෙකී සඳු වෘශ්චික රාශියෙහි ගෝචරය වන කාල සීමාව සුබ වන්නේ ය.

මේ සියලු කටයුතු සඳහා වඩාත්ම ශුභ වන්නේ නොවැම්බර් මස 4වැනිදා සඳුදා උදේ 05.58 සිට 06.58 දක්වාත් දහවල් 12.58 සිට 1.58 දක්වා සහ රාත්‍රී 7.58 සිට 8.55 දක්වා සඳු හෝරාවේ මිනිත්තු 12ක් පමණ පවතින ගුරුගේ පංචම කාල හෝරාවේ මිනිත්තු 4ක් පමණ පවතින ගුරුගේ සූක්ෂ්ම කාල හෝරාවයි.

ඒ අනුව එවැනි කටයුත්තක් ආරම්භ කරන්නේ නම්, සුදු පැහැති වස්ත්‍රයකින් සැරසී පත්තිනි මෑණියන්ට පහනක් දල්වා උතුර බලා එම සුබ කටයුතු ආරම්භ කිරීම වඩාත් යෝග්‍යය. මෙලෙස යෝග සදන සඳුගෙන් උසස් සුබවාදී බලයක් ලැබෙන්නේ නොවැම්බර් මස 4 වැනිදා සඳුදා දින උදේ 5.58 සිට 8.03 දක්වා උදාව පවතින අනුර නැකතටත් ඉන් පසුව උදාව පවතින දෙට නැකතටත් සීහෙන නැකැත්වලින් ජන්ම ලාභය ලබා ඇති ජන්මින්ටය. එසේම මේ සඳු ගෝචරය සිදුවන වෘශ්චික රැස ජන්ම සඳුගෙන් 1, 3, 6, 10, 11 යන භාවයක පිහිටා ඇති ජන්මින්ට සහ සඳු කේන්ද්‍ර කොටගෙන ඒරාෂ්ටක අපල නොයෙදී ඇති ජන්මීන්ට සුබවාදීය.

සඳුගේ වෘශ්චික රාශි ගෝචරය අප රටට බලපාන ආකාරය පිළිබඳ විමසා බැලීමේදී මේ කාල සීමාව තුළ ඉන්ධන, කිරි සහ කිරි ආශ්‍රිතව නිෂ්පාදිත ආහාර සුලභ විය හැකි අතර පානීය ජලය සම්බන්ධ ගැටලු සමහන් වනු ඇත. එහෙත් දිවයිනේ ඇතැම් පළාත්වල තද වැසි ඇතිවිය හැකිය.

 

මේෂ ලග්නය

සිව්වැන්නාධිපති සඳු 8 වැන්නෙහි ගෝචර වීම මවගේ දේපළ ධනය අන්තිම කැමැති පත්‍ර මඟින් හිමිවන, රැකියා ව්‍යාපාරවලින් ධනය ලැබෙන කාලයක් වන්නේ ය. දරුඵල නැති මේෂ ලග්න කාන්තාවන්ට දරුගැබ් හටගන්නා කාලයක් වේ.

වෘෂභ ලග්නය

තුන්වැන්නාධිපති සඳු 7 වැන්නෙහි ගෝචරය වීම හවුලේ කරන ජංගම ව්‍යාපාරවලින් වෙනදාට වඩා මිල මුදල් ලැබෙන කාලයක් වන්නේ ය. විවාහයෙන්, බාල සහෝදරියගෙන්, විවාහක සහකාරිය මඟින් ධන ලැබෙන අතර අඹු සැමියන් අතර සතුට පී‍්‍රතිය, වර්ධනය වන කාලයකි.

මිථුන ලග්නය

මිථුන ලග්නයෙන් උපන් ජන්මීන්ට 6 වැන්න වූ වෘශ්චික රැසෙහි සඳු ගමන් කරන දින 2 1/2 තුළ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයෙන් ජලජ සත්ත්ව සහ ශාක සම්බන්ධ කටයුතුවලින් වෙනදාට වඩා අතමිට සරුවන කාලයක් වන්නේ ය.

කටක ලග්නය

අදාළ දින 2 1/2 තුළ කටක ලග්න තරුණියන්ට දරු ගැබ් ඇතිවීමටත්, ගැබිනියන්ට දරුවන් ලැබීමටත්, ප්‍රාථමික සහ උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් හැකි වේ. පිහිනුම් තරගකරුවන්ට ජය අත්වන කාලයකි.

සිංහ ලග්නය

මාතෘකාරක සඳු සිව්වැන්නේ බලවත්ව ගමන් කරන දින 2 1/2 තුළ මවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙන අතර, ගෙදර සාමය සමඟිය ඇතිවන, ආගමට දහමට සිත යොමුවන සැනසිලිදායක කාලයකි.

කන්‍යා ලග්නය

මේ දින 2 1/2 තුළ ලේඛක ලේඛිකාවන්ගෙන්, සංගීතඥයන්ගෙන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් උසස් නිර්මාණ බිහිවන පොත්හල් හිමියන්ට, රස කැවිලි, සිසිල් බීම අලෙවි කරන ජංගම වෙළෙඳුන්ට ලාබ ලැබෙන කාලයක් වන්නේ ය.

තුලා ලග්නය

රැකියා කටයුතුවලින් දියුණුවක් ඇති කරන තැන්පත් ධනය වර්ධනය වන කාලයක් වන්නේ ය. එමෙන් පවුලේ සාමාජිකයන් අතර සතුට සමාදානය සමඟිය වයර්ධනයට හේතු වේ.

වෘශ්චික ලග්නය

අන්‍ය ලග්න හිමියන්ට වඩා වෘශ්චික ලග්න හිමියන්ට සඳු ග්‍රහයාගේ වෘශ්චික රාශිගත ගෝචරය ශුභ ඵල ගෙන දෙන්නේ ය. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් විදේශ ගමන් වලින්, පියා වැනි වැඩිහිටියන්ගෙන් ලාභ ප්‍රයෝජන අත්වීමට හේතුවන අතර, තරුණ තරුණියන්ට උසස් විවාහයක් සිදුවීමටත් හේතු වන්නේ ය.

ධනු ලග්නය

ධනු ලග්නය 8 අධිපති සඳු 12 වැන්න වෘශ්චික රැසෙහි ගමන් කරන්නේ සරලා නම් විපරිත රාජයෝගය උදා කරමිනි. අන්‍යයන්ගේ දේපළ ධනය අන්තිම කැමැති පත්‍ර මඟින් හිමිවීමටත්, පී‍්‍රතිමත් විදේශ සංචාරයන් සිදුවීමටත්, උදරය, යටි බඩ, ලිංගේන්ද්‍රිය ආශි‍්‍රත ශල්‍යකර්ම සාර්ථකම වීමටත් හේතු වන්නේ ය.

මකර ලග්නයට

හවුල් ව්‍යාපාර කටයුතුවලින් ජංගම හවුල් ව්‍යාපාර කටයුතුවලින්, බිරිඳගෙන්, ලිපි ලේඛන ආදී කටයුතුවලින් ධනය ලබා දෙන ග්‍රහ ගෝචරයකි. විභාගවලින් උසස් සාමාර්ථ්‍යයන් ලැබීමටත් හේතුයි.

කුම්භ ලග්නය

නාවික, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ධීවර වැනි ජලයට සම්බන්ධ රැකියා කරන අයගේ රැකියා කටයුතුවල දියුණු ඇතිවන කාලයක් වනවා සේම, විවිධ රෝගවලින් පීඩා විඳිමින් සිටි කුම්භ ලග්න හිමියන්ගේ රෝග සුවවන කාලයක් වන්නේ ය.

මීන ලග්නය

විදේශ ගමන් සහ විදේශයන් සමඟ කරන හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක වන කාල සීමාවක් වනවාට සේම කලක් තිස්සේ දරුඵල බලාපොරොත්තුවෙන් සිටි කාන්තාවන්ට දරුවන් ලැබෙන කාලයක් වන්නේ ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.