ග්‍රහයන් බල දුබල වූ විට ඔබට ගෙනෙන සුබ අසුබ

අප්‍රේල් 15, 2022

ගුරු ග්‍රහයා බලවත් වු විට උස්වු දේහයක් හිමිය. රන්වන්පාටින් දිදුලන ඝන වූ කැරලි ගැසුණ කෙස්කළඹක් හිමිවෙයි. දිගටි ඇස්වලින් හෙබි ඔවුන්ගේ පපුව පළල්ය. ඉඟටිය සිහිගන්වන අතර පැහැදිලි කටහඬක් හිමිය.

ඔබේ ජන්ම පත්‍රයේ අදාළ රාශිවල ග්‍රහයින් බලවත්ව හා දුබලව පිහිටා ඇති ආකාරය අනුව ජන්මියාට ලැබෙන සුබ අසුබ ඡ්‍යොතිෂයේ මේ අයුරින් සඳහන් කර ඇත. ඒ අනුව ඔබේ කේන්ද්‍රයේ පළමුවෙනි කොටුවේ හෙවත් ලග්නයේ රවි ග්‍රහයා බලවත්ව සිටීනම් අනිවාර්යයෙන්ම රාජ්‍ය ගෞරව, නම්බුනාම පදවි හිමි වෙන අතර, උසස් ගෞරව සම්පන්නයෙන් යුතු රැකියාවක් ලැබීමට ද වාසනාව හිමිවෙයි. හැම විටම සතුටින් විනෝදයෙන් දිවි ගෙවයි.

එසේම රවි බලවත්ව ලග්නයේ සිටියොත් උස්වූ දේහධාරි ඇත්තකු වෙයි. රවි දුබල වුවහොත් උඩඟු සිතකින් යුතු වෙයි. අන්‍යයින්ගෙන් ලැබෙන දෙයින් ජීවත්වන්නට සිදුවෙයි. දරුණු සිතක් ඇති ඔවුන් කාගේත් අප්‍රසාදයට ලක්වෙයි. පියාගේ දේපල ධනය විනාශකිරීමට පෙළඹෙයි.

සඳු බලවත්ව උපන් අයට මනා අඟපසඟින් යුතු ලස්සන දේහයක් හිමිවේ. කාරුණික හදවතක් හිමි ඔවුන් නිදහසේ ජීවත්වෙන්නට ලැදිකමක් දක්වති. සැලෙනසුළු හදවතක් ඇති අයෙක් වෙයි. චන්ද්‍රයා බඳුවූ රුවකින් යුතු ඔවුන්ට තමාගේ අදහස්වලට හැම අතින්ම ගැලපෙන සහකරුවෙක් හෝ සහකාරියක් විවාහයට ලැෙබි. විවාහ ජීවිතයද ඉතා වාසනාවන්තය. හැමවිටම සිනහමුසු මුහුණින් යුතුව ගත කරයි. සඳු හෙවත් චන්ද්‍රයා දුබලවූ විට මේ හැම දෙයකටම වෙනස්වූ ගතිගුණ පෙන්නුම් කරයි. ඔවුන් කාගේත් නින්දා අපහාසවලට ලක්වෙයි. සදා නීචත්වයට පත්වි රාහුද, කුජද, යෝගවූ සිව්වැන්න පුරා සැරිසරයි නම් ප්‍රකට පුද්ගලයකු වුවත් සූක්ෂම අයුරින් සිත රවටන කපටි පුද්ගලයකු ද වේ.

කෙනකුගේ කුජ බලවත් වූ විට නිර්භීත වූ යුද්ධයට දක්ෂ අයකු වෙයි. කේන්ද්‍රයේ කොටු දොළහ තුළ කොතනක සිටියත් කුජ බලවත්නම් යම්කිසි ස්ථාවර රැකියාවක් හිමිවෙයි. කටක ලග්නයෙන් ඉපිද දහවැන්නේ කුජ රජ වුවහොත් රාජ්‍ය පාලනයේ යෙදීමට වාසනාව හිමිවේ. යුදකාමියකු වීමටද බොහෝවිට ඉඩ ඇත. කෙනකුගේ කුජ දුබල වුවහොත් නපුරු ගති ඇතිවෙන අතර, කලකෝලාහලවලට ද මැදිවේ. අහංකාර සිත් ඇතිවෙයි. අපිරිසුදු චේතනාවලින් පිරුණ ඔවුන් විශ්වාස කළ හැකි අය නොවේ.

බුධ බලවත් වූ අයට මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් හිමිය. දික්වූ මුහුණක් දික්වූ අතපය තඹ පැහැති හිසකෙස්වලින් යුතුය. බුද්ධිමත් වන අතර තැනට සුදුසු නුවණ මෙහෙයවා කටයුතු කිරීමට දක්ෂවන අතර, ඔවුන් වාද විවාදවලට ද කැමැත්තක් දක්වති. ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ආදියට ද පි‍්‍රයකරයි දුරදිග බලා කාර්යයන් කිරීමේ ශක්තිය ඇත. බුධ ග්‍රහයා දුබල වූ විට සිතේ චංචල ගතිය වැඩිය. භාෂා ශාස්ත්‍ර පිළිබඳව අවබෝධයක් නැති අතර, අන් අයට ඊර්ෂ්‍යා කිරීමේ ගති ඔවුන් තුළ ඇත. බුධ දුබලවූවිට ගොළුවකු බිහිරකු වීමේ අවාසනාව ද පෙන්නුම් කරයි.

ගුරු ග්‍රහයා බලවත් වු විට උස්වු දේහයක් හිමිය. රන්වන්පාටින් දිදුලන ඝන වූ කැරලි ගැසුණ කෙස්කළඹක් හිමිවෙයි. දිගටි ඇස්වලින් හෙබි ඔවුන්ගේ පපුව පළල්ය. ඉඟටිය සිහිගන්වන අතර පැහැදිලි කටහඬක් හිමිය.

කාරුණික හිතක් ඇති ඔවුන් සමාජයේ ගෞරවයෙන් ජීවත්වන අය වෙති. ආගන්තුක සත්කාරවලට කැමැතිය. සත්‍යවාදීය. බුද්ධිමත්වන අතර, නොයෙක් ශාස්ත්‍ර අධ්‍යයනයෙහි උගතුන් පිරිසක් බිහිකිරීමේ පරමාර්ථයට මහෝපකාරිවන බෝධිසත්ව ගුණයෙන් යුතු වු කෙනකු වෙයි. මහණ වුවහොත් උතුම් වූ බුද්ධ පුත්‍රයකු විය හැකිය. ගුරු දුබල වු විට අරපිරිමැස්ම නොදන්නා අහංකාර කුහක ගති මෙන්ම නිෂ්්ඵල කාර්යයන්හි නිරතවන අව සිහියෙන් යුතු දුර්වල මනසක් ඇති අයකු වෙයි.

සිකුරු ග්‍රහයා බලවත්වූ විට මධ්‍යම ශරීරයකින් යුතු පි‍්‍රයජනක පෙනුමක් හිමිය. දීප්තිමත් හිසකෙස් නීල වර්ණයෙන් බැබලෙන නෙත් සඟලක් ද උස්වු නාසයක් ද ඇති අයකු වෙයි. සිකුරු බලවත් වු යුවතියක් නම් ඇය රූ රැජනකට සමාන වෙයි. එම රූමතිය හිමිකර ගැනීමට නම් ඔබේ කේන්ද්‍රයේ හත්වැන්න සිකුරුගේ රාශියම විය යුතුය. සිකුරු බලවත් වු අය කාරුණික හදවතක් ඇති සත්‍යවාදිව කටයුතු කරන්නෝ ද වෙති. සංගීතයටද ලැදිවන අතර, සමාජශීලි කටයුතුවලදි සමාජයේ උසස් තැනක් ද හිමිවෙයි. සිකුරු දුබලවූ විට චරිතය කැළැල් කරගනී. කලහකාරී සිතක් ඇතිවෙයි. හිතුවක්කාර අදහස් ඇති අතර, සුරාපානයට මෙන්ම දූ කෙළියටද පි‍්‍රයතාවයක් දක්වයි. ස්ත්‍රියකගේ කේන්ද්‍රයේ එවැනි යෝගයක් ඇතිවුවහොත් ඇය අබිසරුලියක් වෙයි. මේ අය තරබාරු බවක් පෙන්නුම් කරයි. තොල් මහත මසින් පිරුණ බවක් ද වෙයි.

සෙනසුරු බලවත් වු අයගේ ශරිරය උස් බවක් පෙන්වන අතර, දික්වු අවයව පිහිටයි. කාලවර්ණ පෙනුමකින් හා ඉතා සිහින් වු ශරීරයක්ද හිමිය. කම්මුල්වල ඇට උඩට නෙරා ඇත. අරපරිස්සමින් යුතුව වියදම් කරයි. ආත්ම ගරුත්වය ඉහළින් ආරක්ෂා කරයි. ආලය ආදරය නොකරයි. සෙනසුරු හත්වැන්නේ යෙදුණොත් දෙමාපියන් ගෙනෙන යෝජනාවක් අනුව විවාහය සිදුවෙයි. සෙනසුරුට සෙනසුරුම එක්විය යුතුය. දුක සැප සමව විඳගැනීමේ ශක්තිය ඔවුන් තුළ ඇත. සෙනසුරු දුබල වුවහොත් කුහක අදහස් ඔවුන් තුළින් පෙන්නුම් කරයි. පාපකාරි සිතුවිලිවලින් යුතුවේ. ධන සම්පත් තිබුණත් ලෝභිබවක් පෙන්වයි. බොහෝවිට වැරහැලි ඇඳුම් අඳින අශෝභන පෙනුමකි. සෙනසුරු දුබල වූ විට සත්‍ය වශයෙන්ම දුප්පතකු ලෙසම ජීවිතය ගෙවයි. කොතරම් මුදල් තිබුණත් තිබෙන බවක් අන් අයට නොපෙන්විය. තද මසුරු බවින් යුතුවෙයි. එමෙන්ම ශනි දුර්වල වූ විට රැස්කරගත් දේ විනාශවීම,අවාසනාවන්තකම, අසීමිතව දුක්විඳීම, අලස බව, ශරීරය කෘශවීම, ඉක්මනට සුව නොවන රෝග ආදිය ද වැළඳීමට හේතුවෙයි.

රාහු බලවත් වු විට නිතර ගමනින් යුතු රැකියාවල් හිමිවෙයි. උසට සරිලන පුෂ්ටිමත් ශරීරයක් හිමිය. කරන කියන කටයුතුවලින් ප්‍රසිද්ධිය ලැබෙයි. කෙසේ හෝ තමන්ගේ කටයුතු සාර්ථක කරගනී. දේශපාලන ජීවිතයට නැඹුරු වුවහොත් නිතැතින්ම ජයග්‍රහණය ලැබෙයි. ලොතරැයි තරග ආදියෙන්ද ජයග්‍රහණ හිමිවෙයි. රාහු හත්වැන්නේ යෙදුණොත් ප්‍රසිද්ධ විවාහයක් සිදුවෙයි. මීන රාශිය වි රාහු සිටියහොත් විදේශ ගතවීමට ද අවස්ථාව හිමිවෙයි.රාහු තුන්වැන්නට ඉතා බලවත් වෙයි.

වික්‍රමවන්ත වෙන අතර, වස්තුව හා ධනය ලබා දේ. රාහු දුර්වල වූ විට පොතපත හා ඥානය මෙහෙයවා කරන කටයුතු අඩපණ වෙයි. අන් අයගේ රැවටිලි කපටිකම්වලට අසු වෙන අතර, කරන කියන කටයුතුවලින් ප්‍රතිඵලයක් නොලැබෙයි. කලබලකාරි ගතිය නිසා පාඩු සිදුකර ගනි. රාහු දුර්වලවීමෙන් මානසික රෝග, වස විස ශරීරයට ඇතුළුවීමෙන් හටගන්නා අසනීප හා සමේ රෝග ඇතිවීමට ද හේතුවෙයි.

කේතු බලවත් වූ විට උස්වූ කෙසඟ සිරුරක් හිමිවෙයි. ඡ්‍යොතිෂ විද්‍යාව ගුප්ත විද්‍යාව වැනි විෂයයන්ට ලැදිකමක් දක්වයි. එමඟින් ඔවුන් ප්‍රසිද්ධියක් ද ලබයි. අන්‍යයන්ට ගුරුහරුකම් දීමට ආශා කරයි. සෑම කාර්යයක්ම පිළිවෙළක් ඇතිව කල්පනාකාරීව ද කරයි. කේතු දස වැන්නේ යෙදුණොත් ජීවිතයේ අවසන් කාලයේ ප්‍රකට පුද්ගලයකු බවට පත්වේ. සයවැන්නේ යෙදුණොත් ලස්සන පරිසරයක සුව පහසු නිවසෙක ජීවත්වීමේ වාසනාව හිමිවෙයි. කේතු හතට යෙදුණොත් කෙසඟ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හා විවාහයට හේතුවේ. කේතු දුර්වල වූ විට ඔත්පල කර තබයි. හිතෙන් දුක්විඳීමට මෙන්ම පාළු හුදෙකලා ගතියකින් ජීවිතයේ අවසන් කාලය ගත කිරීමටද සිදුවේ.

හිඹුටානේ පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.