ආසාර්ථක විවාහ ඇති වන ග්‍රහ යෝග

ජනවාරි 28, 2022

 

කලත්‍ර ස්ථානය ජල රාශියක් හෝ ද්වි ස්වභාව රාශියක් හෝ වී කුජ එහි සිටීම අයහපත් බව කිව යුතු ය. හත අධිපති සහ දෙක අධිපති බලවත්ව සිටිවිට හත සුබ ග්‍රහයිනට පෙනෙනවා නම් දෝෂ සහිතයි.

 

අඟහරු හතේ නීචව සිටියදී හත අධිපති ඉතා දුර්වල වීමත්, හතේ ත්‍රිකෝණයන් වන අයස්ථානයේත්, වික්‍රමස්ථානයේත් පාප ග්‍රහයන් සිටීම ඉතා අශුභ වේ. මෙවැනි අයට විවාහ ජීවිතයේ පරම පී‍්‍රතිය වැඩි කලක් විඳීමට නොලැබේ. බොහෝවිට සහකරු අකාලයේ මිය යාමට බලවත් හේතුවක් වනු ඇත. දෙවැන්නේ ග්‍රහයින් සිව් දෙනකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටීමත් යහපත් නැත. විවාහ සහකරු අකාලයේ මිය යාමට මෙයද හේතුවක් වේ.

හත අධිපතියා කුජ වී වැය ස්ථානයේ පාප ග්‍රහයන් සමඟ සිටි විට 11, 3 තැන්වල පාප ග්‍රහයින් සිටීමත් විවාහය අසාර්ථක වීමට හේතු වේ. මෙයද සහකරු ඉක්මනින් මිය යාමට හේතුවකි. සඳු සමඟ ගුරුත්, කිවි සමඟ කුජත් කේන්ද්‍රයක කවර හෝ තැනක සිටීම ඉතාම නරකය. මෙවැනි අය බොහෝ විට විවාහ කීපයක් කර ගැනීමට පෙලඹෙන බවත් මුල් විවාහය අසාර්ථක වන බවත් පරීක්ෂණවලදී ඔප්පු වී තිබේ.

ලග්නයේ රවි හා කිවි ද හතේ ශනි ද යෙදී තිබේ නම් බිරිඳ වැඩිකල් ජීවත් නොවේ. ලග්නය කුමක් හෝ වේවා මිථුන රාශියේ කුජ ශනි සිටිත් නම් ඔහු තම විවාහය කඩාකප්පල් කර ගන්නෙක් වනු ඇත. රවි කුජ, ශනි පාප ග්‍රහයින් හතරේ හා අටේ සිටී නම් තම භාර්යාව ගින්නෙන් මිය යන්නීය. සිකුරුගෙන් දෙකේ හා දොළහේ පාප ග්‍රහයින් සිටීනම් උසකින් වැටී බිරිඳගේ මරණය වේ. සිකුරු සෞම්‍ය ග්‍රහයින් විසින් නොදකීද ඔවුන් සමඟ නොසිටියේ ද බිරිඳ බන්ධනයකින් මරණයට පත්වේ. කාන්තා කේන්ද්‍රයක ශනිගෙන් අටේ බලවත් පාප ග්‍රහයින් සිටී නම් පුරුෂයා ඉක්මනින් මිය යයි. බුධ, ගුරු, ශනි, ත්‍රිග්‍රහ යෝගයෙන් උපන්නේ නම් බොහෝ සැප සම්පත් අනුභව කරන ධනවත් ප්‍රසිද්ධ කෙනෙක් වේ. ඔහු භාර්යාව කෙරේ ඉතා ආදරය ඇත්තෙක් වේ.

විවාහය පිළිබඳ බලන ප්‍රධාන ස්ථානය කලත්‍ර ස්ථානය හෙවත් ලග්න කුණ්ඩලියේ හත් වැන්න වේ. හත අධිපතියා හා ඔහු සමඟ සිටින ග්‍රහයින්, හත පෙනෙන ග්‍රහයින් සඳුට හතේ සිටින ග්‍රහයින් සහ කුජ සිකුරු දෙදෙනා ගැනද බැලීමෙන් විවාහය ගැන තොරතුරු දැනගත හැකි ය. හත අධිපතියා උච්ච, ස්වක්ෂේත්‍ර වී අධික බලයෙන් සිටීම තිබේ නම් අනිකුත් ග්‍රහයන් දුබලව සිටියත් සාර්ථක විවාහයක් සිදු වේ. එම විවාහය සැපවත් වාසනාවන්ත එකක් වේ. හත අධිපතියා තිර රාශියක හෝ තුලා රාශියේ හෝ සිටීනම් ස්ථිර ආලය ඇති කෙනෙක් බව කිව හැකි ය. හත අධිපති ලග්නාධිපතිට වඩා බලයෙන් අඩුව ලග්න අධිපති සමඟ සිටී නම් තමාට වඩා උසස් කෙනෙක් සමඟ විවාහ වීමට පුළුවන් වනු ඇත. විවාහය ඉතා යහපත්වීමට නම් හත අධිපති කුජ නොවී සිකුරු සමඟ කේන්ද්‍ර ස්ථානයක සිටිය යුතු ය. හත අධිපති සඳු නොවී ගුරු සමඟ සිටී නම් උසස් දැනුමක් ඇති කලබල නොවන තමාගේ දියුණුවට පිහිට විය හැකි කෙනෙක් සමඟ විවාහ වී සමඟියෙන් ජීවත් විය හැකි ය.

අසාර්ථක විවාහ ඇතිවන පසිඳු ග්‍රහ යෝග කීපයක්

භාර්යා සහ ව්‍යාභිචාර යෝගය

කිවි ශනි, කුජ යන තිදෙනා සඳු සමඟ හතේ යෝග වූ කල්හි මේ යෝගය යෙදෙනවා. මෙය යෙදුණ විට සහකාරිය හෝ සහකරු දෙදෙනාම ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙති. මෙය කොටින් කියතොත් කාන්තාව පුරුෂයාත් පුරුෂයා කාන්තාවත් දැනුවත්වම පරදාර පාප කර්මය කරති. මෙම යෝගය මානසික පීඩා ගෙන දෙන්නකි. කුජ කිවි සංයෝගය ලිංගික තෘප්තියක් නොලබන පිහිටීමකි. මෙවැනි පාප යෝග යෙදුණ විට දුරාචාරයේ යෙදීම පුදුමයක් නොවේ. අතෘප්ති කාම ආශාව අයථා ක්‍රමවලින් හා දුරාචාරයේ යෙදීමෙන් සංසිඳුවා ගන්නා අය අද සමාජයේ කොපමණ සිටිත් ද?

වැන්දඹු යෝග

අලුත් විවාහ ජීවිතය ඔවුනොවුන්ගේ ප්‍රේමයේ ශක්තිය මත රඳා පවතී. බොහෝවිට මෙම පින්වත් නොවන අයට නොසිතූ පරිදි සිය පෙම් මාලිගා අකාලයේ බිඳ දමා වියෝවීමට සිදුවේ. එය තරම් ඉවසිය නොහැකි දුකක් ඒ අයට නැත. මෙයට හේතු සොයා බලමු.

ස්ත්‍රී හඳපානක පළමුවන රාශියෙන් ජන්මියාගේ හැඩරුව හා පෙනුම ගැන දැනගත හැකි ය. හත් වැන්නෙන් කාමය, සැමියාගේ චරිතය හා ඇගේ වාසනාව ගැන ද, අටෙන් විවාහ ජීවිතයේ පී‍්‍රතිය ද, පහෙන් දරුවන් ලැබීම හා ඒ ගැන විස්තර ගබ්සාවීමාදිය ද ගැන දැනුමක් ලැබිය හැකි ය. 7, 8 අතර සබැඳියාවක් වැන්දඹු යෝගවලදී ඇති බව පෙනී යයි. මේ රාශි අධිපතියන් අටේ සිටි විට පාප ග්‍රහ දැකීමෙන් ද සංයෝග වීමෙන් ද වැන්දඹුවක් වන්නීය. හත අධිපති ශනි සමඟ වූ විටද කුජට පෙනීමද එවැනි යෝගයකි.

රාහු, සඳු අටේ සිටීමද පාප ග්‍රහ වීක්ෂණයට ලක් වූ විටද වැන්දඹුවන් උපදින අවාසනාවන්ත පිහිටීමකි. රාහු සමඟ සඳු අටේ සිටිද්දී හත අධිපති ශනි සමඟ සිට කුජ විසින් දැකීමද එවැනි අශුභ යෝගයකි. 1, 8 අධිපති ග්‍රහයින් 12 දී සංයෝග වූ විට 8 ට පාප ග්‍රහ වීක්ෂණය වැටීමද වැන්දඹු යෝගයකි.

හත සහ එහි අධිපති පාප ග්‍රහ දෙදෙනකුට හෝ වැඩි ගණනකට මැදිවේ ද කිසිම ශුභ දෘෂ්ටියක් නොලබා ද වැන්දඹු යෝගයකි. රවි රාහු කුජ ලග්න ස්ථානයේ සිටීමද එවැනි අයහපත් යෝගයකි. කුජ හතේ සිටිද්දී සතුරු ග්‍රහයකුගේ පීඩාවට පත්වීම එවන් යෝගයකි. එසේම ශනි හතේ යෙදී සතුරු ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක් වීම ද ඉහත යෝගයකි. රාහු ලග්නයේ සිටිද්දී පාපියකු සමඟ කුජ 8, 12 තැනක සිටීමද වැන්දඹු කතක් වන අවාසනාවන්ත සංයෝගයක් වෙයි.

පහ අධිපති 6, 8, 12 තැනක සිටීමෙන් වඳ යෝගය යෙදේ. මෙය යෙදුණ විට දරුවන් නොලබන්නීය. දරුවකු ලැබීම පූර්ව වාසනාවක් ලෙස සලකන අතර වඳ බව පෙර පවක් පලදීම වශයෙන් ද අද සමාජය සලකන බව කවුරුත් දනිති. බොහෝ අඹු සැමියෝ දරුවන් නැති වූ කල්හි විවිධ දේව පූජා යාග හෝම බාරහාරාදිය කරති. ඒවා නිෂ්ඵලයයි කිව නොහැකි ය. කලහ පේකිරීම කුමාර සමයම නැටීම බලවත් ශාන්ති කර්මයක් බව කිව හැකි ය.

යම් කේන්ද්‍රයක කාල සර්ප යෝගය යෙදුණ විට ඔවුන්ගේ ජීවිතය අසාර්ථක වන බව පෙන්වා දිය හැකි ය. මහත් අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව අපට හඳහන් පරීක්ෂා කර බලන විට පෙනී ගොස් තිබේ. මෙහිදී කාල සර්ප යෝගය ගැන කෙටියෙන් සඳහන් කරමි. මේ යෝගය යෙදුණ විට සියලු ග්‍රහයින් රාහු කේතු දෙදෙනාට මැදිව පිහිටිය යුතු ය. වෙනත් ආකාරයකින් කියතොත් රාහුට අංශක 180 ක් ඈතින් කේතු පිහිටා තිබේ. ඒ අංශක 180 ඇතුළත සියලුම ග්‍රහයින් පිහිටා ඇති විට මේ අවාසනාවන්ත යෝගය සිතා ගැනීම ඉතා පහසු ය. කාල සර්ප යෝගයෙන් උපත ලබා ඇති අයට බොහෝ හිරිහැර කරදර පවුල් අවුල් යෙදේ. කලාතුරකින් සුබපල දෙන අවස්ථාද තිබේ. ඉන්දියාවේ හිටපු අගමැති ලෝකප්‍රසිද්ධ ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා, පකිස්ථාන් ජනාධිපති අයුබ්ඩාන් බ්‍රිතාන්‍ය අගමැති හැරල්ඩ් විල්සන්, මුසෝලිනි යන ශ්‍රේෂ්ඨයින්ගේ කේන්ද්‍රවල මේ යෝගය යෙදී ඇත.

 

කලාභූෂණ ඡ්‍යොතිෂ ඉඳුවර, කිවිපති

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.