කම් සැප සුබ අසුබ ගෙන දෙන යෝග

ජනවාරි 31, 2025

විහඟ යෝගය

විහඟ යනු කුරුල්ලාය. සියලුම ග්‍රහයෝ 4 හා 10 යන ස්ථානවල පමණක් සිටින්නේ නම් එය විහඟ යෝගයයි. සමහර කතුවරු මෙය විහග යෝගය ලෙස ද හඳුන්වයි. මේ විහඟ යෝගයෙන් උපන් තැනැත්තා ගමන් බිමන් යාමට, සංචාරයට බෙහෙවින් කැමැතිය. ඔහු පණිවිඩකරුවෙකි. නැතහොත් යම් යම් ආරංචි පතුරුවන්නෙකි. ඉහළ මට්ටමින් සැලකුවහොත් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධවීමට ද අවකාශ ඇත. මෙවැන්නෝ කම් සැප ලැබීමට බෙහෙවින් ඇල්මක් දක්වති. ඔවුන් ලජ්ජාශීලී බවෙන් තොරය. කලහ පි‍්‍රය කෙනකු වෙයි.

ශ්‍රී නාගටක යෝගය

සියලුම ග්‍රහයෝ ලග්නයෙන් 1, 5, 9 දී ත්‍රිකෝණයන්හි පමණක් සිටින්නේ නම් මෙකී යෝගය ඇත. මේ ත්‍රිකෝණ යෝගය නොහොත් ලග්නය මුල්කොට ගත් ත්‍රිකෝණ යෝගය ඇති තැනැත්තා සතුට පී‍්‍රතිය ලැබීමට කැමැතිය. රාජ්‍ය නායකයන්ට කැමැත්තක් දක්වා ඔවුන් ඇසුරු කරන්නකු වෙයි. ඔහුට ඉතා උසස් මට්ටමේ උතුම් භාර්යාවක් සිටියි. අනෙක් කාන්තාවන්ට ඔහු නිග්‍රහ කරයි. ඔහු ධනවත්ය. ශ්‍රී නාගටක යනු හතරමං හන්දියයි. මෙහි තව තවත් අර්ථවත් තේරුම් ඇත. ශ්‍රී යනු හොඳයි. මෙහි ශ්‍රී යන්න යෙදී ඇති නිසා සෞභාග්‍යය විවිධාකාරයෙන් ජීවිතයෙහි සැලකිල්ල ගෞරවය හිමිවන බවත් වචනාර්ථය අනුව පෙන්වයි.

හල යෝගය

සියලුම ග්‍රහයෝ ලග්නයෙන් නොව අන්‍යෝන්‍ය ලෙස ත්‍රිකෝණව සිටින්නේ නම් එය හල යෝගය වේ. උදාහරණයක් වශයෙන් 2, 6, 10 ස්ථානවල පමණක් ග්‍රහයන් සිටීම 3, 7, 11 ආදී ස්ථානවල පමණක් ග්‍රහයන් සිටීම.

4, 8, 12 යන ස්ථානවල පමණක් ග්‍රහයන් සිටීම මේ හල යෝගයයි. මේ යෝගයෙන් යුක්ත ජන්මියා ගොවියකු වීමට අවකාශ ඇත. ඔහු බොහෝ ආහාර භුක්තිවිඳී. කෙසේ මුත් ඔහුට ධනවත් අයකු විය නොහැකිය. ඥාතීන් බන්ධුන් හා මිත්‍රයන් ඔහු අත්හරිනු ඇත. ඔහු අසතුට සහ පීඩනයන් මධ්‍යයේ කටයුතු කරන්නකු වේ. හල යනු කිසියම් විදියකින් ඉවත් වීමයි.

වජ්‍ර යෝගය

වජ්‍ර යනු දියමන්තියයි. ලග්නය සහ 7 සුබයන්ගෙන්ම යුක්ත වේද 4 හා 10 පාපයන්ගෙන්ම යුක්ත වේද මේ යෝගය යෙදේ. මේ යෝගයෙන් යුක්ත පුද්ගලයා සතුට සන්තෝෂය ලබන්නේය. විශේෂයෙන්ම ඒ ජීවිතයේ අවසාන භාගයේ දී ය. ඔහු වික්‍රමවත් නිර්භීත අයෙකි. සමහරවිට ඔහු භාග්‍යයෙන් අඩු බවක්ද පෙන්වයි. ඔහු සටන්වලට කැමැති නිර්භීත බව පෙන්වන අයකු විය හැකිය.පාපයන් දෙදෙනකුම 4, 10 සිටීම මේ අයහපත් බවට හේතු වන කාරණයන් විය හැකිය.

යව යෝගය

යව යනු ධාන්‍යයයි. ලග්නය හා 7 වැන්න යන ස්ථානවල නෛසර්ගික පාපියෝ වේද එමෙන්ම 4, 10 ස්ථානවල නෛසර්ගික සුබයෝවේද මේ යව යෝගය යෙදේ. මේ යෝගයෙන් යුක්ත තැනැත්තා සීල සමාධියේ යෙදෙන්නකු විය හැකිය. ඔහු ජීවිතයෙහි මැදභාගයේ දී සතුට ලබයි. ඔහු ධනවතකු වන අතර ඉතා යහපත් දරුවන් ලබන්නේ ය. එමෙන්ම සුචරිතවත් තැනැත්තෙකි. ඔහුට නිර්භීත ශක්තිමත් මානසිකත්වයක් ඇත. සමස්තයක් වශයෙන් මේ යෝගය යෙදීම ජන්මියකුට යහපත ගෙන දෙයි.

ඡත්‍ර යෝගය

සියලුම ග්‍රහයෝ 7 සිට ඉදිරියට ඇති භාවවල සිටියි නම් එය ඡත්‍ර යෝගයයි. මෙවැනි යෝග ඇත්තා අන්‍යයන්ට ආධාර උපකාර කරයි. ඔහු කරුණාවන්තය. උසස් අයගේ හෙවත් රජවරුන්ගේ පාලකයන්ගේ සිත් දිනාගැනීමට සමත්වේ. මොහු ඥානවන්තය. මොහු ජීවිතයේ මුල් භාගයේදීත් අග භාගයේදීත් සතුට ලබන්නේ ය. බොහෝ කල් ජීවත් වේ. ඡත්‍ර යනු කුඩයයි.

චාප යෝගය

මේ යෝගය ඇත්තා 10 වැන්නේ සිට ඉදිරියට ඇති භාව 7 හි ග්‍රහයන් සිටින්නෙකි. මෙම යෝගයෙන් යුතු අය බොරු කියයි. හොර බොරු කරන අයකු වීමටද අවකාශ ඇත. නොයෙක් නොයෙක් රහස් හෙළිදරව් නොකර සිටින්නෙකි. ඔහු වනාන්තරවල නැතහොත් යම් යම් රහසිගත ප්‍රදේශවල ඇවිදිනු ඇත. මොහු අවාසනාවන්ත යැයි ඡ්‍යොතිෂයේ දැක්වේ. එහෙත් මොහු ජීවිතයේ මැද භාගයේ දී කිසියම් සතුටක් ලබයි. චාප යනු දුන්නයි.

පර්වත යෝගය

කේන්දරයෙහි කේන්දරස්ථාන වල ශුභයන් පමණක් සිටීද 7, 8 ආදී ස්ථානවල ග්‍රහයන්ගෙන් ශුන්‍ය වී තිබේ ද එසේ නැතහොත් එම ස්ථාන ද ශුභයන්ගෙන් පමණක් යුක්ත ද මේ යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා ඉතාමත් වාසනාවන්තය. දක්ෂ කථිකයෙකි. ප්‍රසිද්ධය. උසස් චරිතාංගයන්ගෙන් යුක්ත අයකු වේ. සමාජය ද ඔහුට ගරු කරයි. පර්වත යනු පර්වතයක් හෙවත් කන්දක් වැනි අර්ථයකි. මෙවැන්නෝ ද සමාජයට ඉමහත් ආඪ්‍යයකින් හෙබි පර්වතයක් හා සමානයැයි කිවහොත් වරදක් නැත. කැපී පෙනෙන යහපත් සාරධර්ම ඇති උත්තමයන් වන හෙයිනි.

මේ යෝගය යෙදුණු අයට විෂ්ණු, ලක්ෂ්මී වැනි දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදය පිහිට පැතීමෙන් ජීවිතයේ යසස්ශ්‍රීය අභිවෘද්ධිය ගෙන දේ.

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.