ට්‍රම්ප්ට ඒරාෂ්ටකයක් ඇමරිකාව වැටඋඩ!

ජනවාරි 31, 2025

මේ ජනවාරි මස 20 වැනි සඳුදා ඇමෙරිකාවේ ප්‍රබල ධන කුවේරයකු මෙන්ම නළුවකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දෙවැනි වරටත් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒ අනුව ලොව බලවත්ම රාජ්‍යය වූ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නායකයාගේ උපන් ලග්න කේන්දර අනුව ඔහුගේ ක්‍රියාකලාපය ලෝකයට මෙන්ම අප රටට කෙසේ බලපානු ඇත්දැයි විමසා බලමු.

ඔහු 1946.06.14 උදේ 10.54ට දෙට නැකතේ 4වැනි පාදයෙන් උපත ලද බැවින් බුධ මහ දශාව ඉදිරියට වර්ෂ 2 යි, මාස 05 දින 02 ක් ශේෂව තිබුණි.

ඉහත ලග්න කේන්දරය දෙස බැලූ බැල්මට සියලුම ග්‍රහයන් රාශි 06ක පිහිටීමෙන් පැන නැගුණු දාමිනි යෝගය 2, 11 ධනස්ථානාධිපති බුධ ග්‍රහයා 11 වැන්නේ එනම් මිථුනයේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව අත්පෙත් යෝගය උදා කරමින් සිටියි. ධන කාරක ගුරු එනම් 5 - 8 අධිපති සිංහ ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයා වෙමින් ධනස්ථානය වූ දෙවැන්නෙහි වක්‍ර වීමෙන් චේෂ්ටා බලය ලබමින් බලවත්ව සිටීම සහ සිංහ ලග්නයට ප්‍රබල යෝග කාරක ග්‍රහයා වන අඟහරු ලග්නයේ මිත්‍රකාරකව සිටීමෙන් ඇති කරන ග්‍රහ බලය ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථමයෙන් ලෝකයා අතර ධන කුවේරයකු ලෙස ප්‍රසිද්ධියට පත් කළේය. එනමුත් 2016 නොවැම්බර් මස 08 වැනි දින සහ මේ වසරේ ජනවාරි මස 20 වැනි දින ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට හැකි වූයේ ඔහු උපන් සිංහ ලග්නයෙහි තිබුණු ප්‍රබල රාජයෝග නිසාය. ඒ පිළිබඳව කරුණු විග්‍රහ කළහොත් ලග්නාධිපති මෙන්ම රාජ්‍ය කාරක රවි වෘෂභයේ සතුරු නමුත් ලග්නයේ බලවත්ව පිහිටා ඇති යෝගකාරක අඟහරු ග්‍රහයාට අයත් සිත නැකතේ පතිතව සිටී. එය සිංහ ලග්නයට යෝග කාරක මෙන්ම අර්ධ යෝගකාරක කුජ, ගුරු දෙදෙනාගේ ග්‍රහ බලපෑමට ලක්ව 10 වැන්නේ දිග්බලව සිටීම සහ රාජ්‍ය ස්ථානාධිපති හෙවත් 10 වැන්නාධිපති සිකුරු 10 වැන්නෙහි උපචය භාවයක් වන 3වැන්න වූ කටක රැසෙහි 10 වැන්නෙන් 9 සහ 10 වැනි ස්ථාන වන මකර කුම්භ රාශීන්ට අයත් සෙනසුරු සමඟ යෝගව සිටීම ප්‍රබල රාජයෝගයක් වන හෙයින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට දෙවතාවක් අමෙරිකාවේ ජනාධිපති බවට පත්වීමට හැකි විය. මෙහිදී ගුරු ග්‍රහයා 10 වැන්නේ සිටින රාජ්‍ය ස්ථානාධිපති රවි දැකීම හේතු කොට ගෙන ඔහුට 2016.11.08 වැනි දින ගුරු මහ දශාවේ ගුරු අතුරු දශාවේදී ප්‍රථම වතාවට අමෙරිකාවේ ජනාධිපති බවට පත්වීමටද හැකිවිය. එයට හේතුව ගුරු 10 වැන්නෙත් 11 වැන්න වූ මීන රාශියේ අධිපති වීමයි. මෙවර ජනාධිපතිවන ට්‍රම්ප්ට ගුරු මහ දශාවේ 10 වැන්නාධිපති සිකුරුට අයත් මහ දශාව ලබා තිබුණි. ඉහත විග්‍රහ කළ පරිදි 10 වැන්නාධිපති සිකුරු රාජ්‍යස්ථානාධිපතිව 10 වැන්නෙන් 3 වැන්න වූ කටකයේ සෙනසුරු සමග යෝගව සිටීම එලෙස ඔහුට සිකුරු මහ දශාවේ රාජ්‍ය බලය ලැබීමට හේතු වූ ග්‍රහ බලය විය.

ඒ අනුව ට්‍රම්ප් තම රටට ලෝකයට සේවයක් කරයිද යන්න පිළිබඳව කරුණු විමසා බැලීමේදී දැනට ට්‍රම්ප්ට ලබා තිබෙන මහ දශාව සහ ඒරාෂ්ටක අපල ගැන කරුණු විමසා බැලිය යුතුය. ඒ අනුව ට්‍රම්ප්ට දැනට ලබා තිබෙන ගුරු මහ දශාව ලග්න කේන්දරයට අනුව 22වෙනි දෙර්කාණාධිපති ග්‍රහයා වීමත්, එමෙන්ම මාරක ස්ථානයක් වන 8 වැන්නට අධිපති වීමත් එසේ වෙමින් 7 වැන්නෙන් 8 වැන්න වූ දෙවැන්න වන කන්‍යාවේ පතිතව ලග්නයෙන් 8 වැන්න දැකීමත් ඒ සමඟ දැනට ලග්නයෙන් 7 වැන්නේ ශනි ගෝචරය වෙමින් කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලයක් ලබා තිබීමත් මෙකී කාල සීමාව තුළදී ස්නයිපර් වෙඩි කරුවෙක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් සුළු තුවාල ලබා බේරීමත් සිදුවිය. මේ ගැන සලකා බලන විට සෙනසුරු ලග්නයෙන් 8 වැන්න වූ මීන රාශියට මේ වසරේ මාර්තු මස 29 යෑමත් සමඟ දැනට වඩා බලගතු ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපලයක් සමඟ සඳුගෙන් කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලයක් යෙදෙන බව පෙන්නුම් කෙරේ. ඒ අනුව එකී කාල සීමාව තුළ දේශපාලනයට සම්බන්ධ ආලෝක ග්‍රහයන් වන සතුරු රවි සහ නීච සඳුගේ අතුරු දශාවන් ලබන අතර, අෂ්ටම ඒරාෂ්ටක ශනි මෙකී ආලෝක ග්‍රහයන් පීඩා කරමින් ගමන් කරන හෙයින් ට්‍රම්ප්ගේ දේශපාලන කටයුතුවලට සහ ඔහුගේ ජීවිතයට අෂ්ටම ඒරාෂ්ටකය අශුභ බලපෑම් එල්ල කරන බව පෙනේ. එහෙයින් දැනට 79වැනි වියේ පසුවන ට්‍රම්ප්ට මෙකී ඒරාෂ්ටක අපලය තදින්ම බලපාන බැවිනුත්, ඔහුගේ උපන් රටවන අමෙරිකාව එක්සත් ජනපදයටත් ලෝකයටත් සේවයක් කළ හැක්කේ මෙකී ඒරාෂ්ටක අපලය ජය ගතහොත් පමණි.

ඒ අනුව මෙකී ඒරාෂ්ටක අපලය ජය ගෙන ඔහු ඔහුගේ උපන් රටටත් ලෝකටයත් සේවය කිරීමට හැකි වේ යැයි මම සිතමි. එසේම කන්‍යා ලග්න හිමි අමෙරිකා එක්සත් ජනපදයට ඉදිරියේදී ලබන කණ්ඨක ශනි සහ ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපලය එරට අනාගත දියුණුවට යම් අහිතකර බලපෑම් ඇති කිරීමට හේතු විය හැකිය.

කෙසේ වුවත් මේ වසරේ මැයි 18 වැනි සඳුදා රාත්‍රී 7.35ට රාහු කුම්භ රාශි ගතව මූල ත්‍රිකෝණ බලය ලැබීමත් ගුරු ග්‍රහයා ජූනි මස 02වැනි අඟහරුවාදා අලුයම 1.49ට කටක රාශිගතව උච්ච බලය ලැබීමත් යන ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී මෑතකදී ඇමරිකාවවේ කැලිෆෝනියා සහ ලොස් ඇන්ජලිස් පෙදෙස්වල ලැව් ගින්නෙන් ඇති වූ විශාල ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට මැදපෙරදිග රටවල් සහාය ලැබෙනු ඇත. ඔහු කෙසේ හෝ ඒ අර්බුදය ජය ගනු ඇත. ඒ රටවල් සමඟ වෙළෙඳ සබඳතා ඇති කර ගැනීමට කටයුතු කරනවා සේම ඒ රටවල්වල ඇති යුදගිනි නිවා සාමය ඇති කිරීමට කටයුතු කරන බවක් ද ට්‍රම්ප්ගේ සිංහ ලග්න කේන්දරයට මෙන්ම ඇමෙරිකාවේ ලග්න කේන්දරය වන කන්‍යා ලග්න කේන්දරයට අනුව පෙන්නුම් කරයි. එකී ග්‍රහ ගෝචරය ලංකා කුම්භ ලග්න කේන්දරය අනුව බලන කල ට්‍රම්ප්ගේ මේ දේශපාලනික තීරණ ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇමෙරිකාවේ මෙන්ම මැදපෙරදිග රටවල සහාය ලබා ගැනීමේදී වාසිදායක වන බවක් ද පෙන්වා දෙන්නේය. මේ සියල්ල ඔහුට සිදු කළ හැකි වන්නේ ඔහුගේ කඩහන්දි වයසක් වන 79 වැනි වියේ ඇතිවන කණ්ඨක ඒරාෂ්ටකය ජයගැනීමට සමත් වුව හොත් බවද අවසාන වශයෙන් පැවසිය යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.