තරග විභාග කරන දරුවන්ට විශේෂයි

ඔක්තෝබර් 25, 2024

දුවක හෝ පුතෙකු මේ ලෝකයට බිහිවීම ඕනෑම මවකට පියෙකුට සම්පතක්. එසේ උපතක් සිදුවුණාම උපන් ස්ථානය, දිනය නිවැරදි වේලාව සමඟ ඡ්‍යොතිෂවේදයකු හමුවනවා.

එතකොට එයා සරලව කේන්දරය හදලා මූලික ලක්ෂණ කීපයකුත් කියලා නමට අකුරු දෙනවා. මේ අකුරු දෙන්නේ ඔහු හෝ ඇය උපන් නැකැතට, ලග්නයට, නවාංශකයට සාපේක්ෂව අක්ෂර. ඒ සමඟම නම සාදාගන්නා හැටිත් කියා දෙනවා. එනම් පුතෙකු නම් ලඝු අක්ෂරයෙන්, ආරම්භ කර ලඝු අක්ෂර වැඩිපුරත්, දුවක් නම් “හර” අක්ෂරයෙන් ආරම්භ කර හර අක්ෂර වැඩිපුරත් වන ලෙසයි. තවත් වැදගත් කරුණක් තමයි සමහර විට තමන් දුන් වේලාවටම කේන්දරය නොහැදීම. ඒකයි වෙලාව ශුද්ධ කරනව කියන්නේ. ඕනෑම කේන්දරයක් වෙලාව ශුද්ධ නොකර දුන් වෙලාවටම හැදුවොත් ඒ අඩුව පවතිනවා. මේ හැට පැයේ ක්‍රමයයි. එහෙම නැතුව දුන් වෙලාවටම කේන්දරය හැදුවොත් ළමයට අයිති වන්නෙ නිවැරැදි කේන්දරයක් නොවේ. කෙනකුගේ පලාපල නැත්නම් ගුණාගුණ කියන්ට කලින් මේ වරද නිවැරැදි කරගත යුතුමයි.

නිවැරැදිව හැදූ කේන්දරයකින් නියම ප්‍රතිපලය කියන්නෙ උපන් වේලාවට ග්‍රහයෝ නැත්නම් ග්‍රහකිරණ පෘථිවි තලයට පතිත වීමේ තත්ත්වය අනුවයි. කේන්දරයේ රාශි 12යි. එකක මහත අංශක 30යි. මොකද සම්පූර්ණ රාශි 12 වටිනාකම අංශක 360 නිසා.

මේ ලග්නය 9කට බෙදුවාම නවාංශකය ගණනය කෙරෙනවා. මේ ආකාරයට නිවැරැදි ලග්නය ලබා ගත්තාම මේ ශ්ලෝකය අනුව පලාපල දැනගත හැකියි. එනම්

“ලග්නස්ථානා - ධනස්ථානා - සහජබන්දු පි‍්‍රයඞ - ශුතඞ, ශත්‍රෘ කලත්‍රංච, මුත්‍රංච, ධර්ම, කර්ම අයඞ වැයඞ”

මූලික කේන්දරය ගැන මම මේ පුන පුනා කියන්නෙ මේක නිවැරදිව හදාගන්න බැරි වුණොත් මුළු ජීවිතයම අවුල්. අනෙක තමයි ලංකාවට බලපවත්වන්නෙ එකම සූර්ය උදාවත් නොවේ. ඒකත් නිවැරදිව ගණනය කරගන්ට ඕනෑ.

මේ වසරේ එනම් 2024 අවසානයේ නොවැම්බර්, දෙසැම්බර ග්‍රහයෝ ටිකක් අවුල්. අපි කෙටියෙන් කතා කළොත් අධ්‍යාපනය කරන තරග විභාගවල සැර අවුල් ගතියක් පෙන්වනවා. ඔබේ දරුවාගේ කේන්දරයේ මහ දසා, අතුරු දසා බුධට හෝ ගුරු නැත්නම් බ්‍රහස්පතිට ගියොත් ඔබ කොච්චර හොඳින් පාඩම් කළත් ඔබ ලියන දේ නොවෙයි හිතන්නේ. දන්නවානේ බුධ ග්‍රහයා ගුරුට අයිති මීනයෙදී නීච බව. අනෙක මකරයටත් බ්‍රහස්පති නීචයි. මකරයට චන්ද්‍රයාත් හතුරු නිසා සතුටත් නැතිවේවි. සතුට නැති වුණාම පාඩම් කරන්න එපා වෙනවා. ටිකක් කල්පනාවෙන් මේවා බලාගන්න. මොකද දරුවකුගේ කඩඉම් විභාග මේවා.

ඊළඟට කියන්න ඕනෑ සෙනසුරුගේ ගෝචරය ගැන. මේෂයට නීචයි. සිංහයට, වෘශ්චිකයට හතුරුයි. සෙනසුරා යමක් දිනා දෙන්නෙ ප්‍රමාද කරලා. මේ වගේ විභාග ප්‍රමාද කරල දිනල වැඩක් නැහැ. මොකද මේවා කඩඉම් විභාග. එනිසා මම කලින් සඳහන් කළ මහදසා, අතුරු දසා ඇති අය ගොඩක් කල්පනාකාරි වන්න. මේවාට සුදුසුම යන්ත්‍රය තමයි නවනාථය. ඒ බව කලිනුත් කියල ඇති. විභාගය කල් ගියොත් මේ කරදර ටිකක් අඩුවෙනවා ඒත් විභාගය කල් යන පාටක් නැහැ.

තරග විභාවලට පෙනී සිටින ඇතැම් දරුවන්ට මේ වසර අග අසතුටුදායක විය හැක්කේ ග්‍රහ කිරණවල පිහිටීමේ දුර්වලතාවය නිසාමයි. පැරණි ඡ්‍යොතිර්වේදීන් මේ වගේ ග්‍රහයෝ දුර්වල වී පිහිටියාම එවා ග්‍රහ යුද්ධ නමින් තමයි හැඳින්වූයේ. වැඩිපුරම අධ්‍යාපනය දුර්වල කරන්නේ බ්‍රහස්පති හා බුධ ග්‍රහයා නරක් වුණාම බව දන්නවනේ. ඒ ස්වකීය ග්‍රහ කිරණ නරකට පෘථිවියට එල්ල වුණොත් පමණයි. ඒ වගේම තමයි සුබ දායකව පිහිටියත්. මේ ග්‍රහකිරණ යහපත් වුණත් අයහපත් වුණත් ඒවා ඉක්මන් කරන්නේ අඟහරුවා. 2024 ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවා කටකයේ නීච වනවා ඊට පසු මේ වසර අවසන් වනකල්ම වක්‍රයක් හා අස්ථයක් තමයි සිදුවන්නේ.

කොහොම ග්‍රහකිරණ පිහිටියත් දරුවන්ගේ අධ්‍යාපනයෙහි මේ අපහසුතාවයට වඩාත්ම උචිත යන්ත්‍රය තමයි නවනාථය. මේ යන්ත්‍රය වර්ග දෙකකින් තිබෙනවා. ඒ ස්කෝන් නවනාථය හා සාමාන්‍ය නවනාථයයි. ස්කෝන් නව නාථය ටිකක් සැරයි. ප්‍රතිඵලත් සැරයි. ඒක පලඳින්නේ බ්‍රහස්පති රවි සමඟ නරක් වුණාමයි. ඒ දෙන්නා එකට නරක් වුණාම මොළේ ස්නායුවක් සියුම් කරල අංශභාගේ වගේ රෝගත් හදන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි ස්කෝන් නවනාථය පලඳින්නේ.

එහෙත් දරුවන්ගේ අධ්‍යාපන ගැටලුවලට හොඳ සාමාන්‍ය නවනාථයයි. ඔබේ දැන ගැනීම සඳහා නවනාථයේ සටහනක් මෙහි දක්වනවා. මේ යන්ත්‍ර ඉතා දුර්ලභයි. කොටින්ම කිව්වොත් හැම යන්ත්‍ර පොත් වල මුද්‍රණය කරලත් නැහැ. දරුවා විභාගයකට පෙනී සිටිනවා නම් සහ යම් ග්‍රහ අපල තත්ත්වයක් තිබෙනවා කියා ඡ්‍යොතිර්වේදියකු පවසා තිබෙනවා නම් මෙවැනි ප්‍රතිකර්මවලට ගියාට කමක් නෑ. ඒත් මේ හැමදේකටම වඩා තමන්ගේ චිත්ත ශක්තිය වඩවන්න දරුවන්ට කියා දෙන්න. දරුවන් අනවශ්‍ය තරම් පීඩාවට පත් වන පරිදි ප්‍රතිඵල ඉල්ලා නොසිට, හිත සැහැල්ලුවෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න යොමු කිරීමත් මවු පියන්ගේ වගකීමක් බව මතක තබා ගැනීම වටිනවා.

පාරම්පරික ගුප්තවේදී

ශාස්ත්‍රවේදී රන්ජිත් පී. විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.