හඳහනේ ලියැවුණු ඔබට හිමි රැකියාව

දෙසැම්බර් 29, 2023

වත්මන් සමාජයේ තරුණ අසහනයට බලපාන ප්‍රධානම හේතුව වන්නේ රැකියාවයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලදහොත් ඊළඟ අපේක්ෂාව වනුයේ ද රැකියාවයි.

යම්කිසි අයකුට හිමිවන රැකියාව කුමන විදියේ එකක් ද යන්න තමන්ගේ කේන්ද්‍රයේ පිහිටි ග්‍රහ බලපෑම් අනුව දැනගත හැකිය. කේන්ද්‍රයේ දසවෙනි භාවයෙන් හෙවත් දසවැන්නෙන් අඹුසැමි ජීවන පැවැත්ම දිගටම සාර්ථකව පවත්වාගෙන යෑම පිළිබඳව පෙන්නුම් කරයි. එහෙයින් දෙක, හතර, හත ස්ථාන රැකියා තීරණය කිරීමේ දී වක්‍ර මෙහෙයක් ඉටු කරයි. කේතු හැර අන් කවර ග්‍රහයෙක් දසවැන්නේ සිටියත් අශුභ තත්ත්වයක් නොමැත. ක්ෂේත්‍ර බලයකින් යුතුව ශුභ දෘෂ්ටි ශුභ සංයෝගවල සිටීම ඒ ඒ ග්‍රහයන්ට අනුව උසස් රැකියාවක් ලැබීම පෙන්නුම් කරයි.

විශේෂයෙන් රජයේ රැකියාවක් ලැබීමට රවිගේ බලය ඉතා අවශ්‍ය වේ. රවි ආත්ම කාරක ග්‍රහයා පමණක් නොව රජයට සම්බන්ධ ග්‍රහයා බැවින් රවිගේ බලය හා ඔහු හා බැඳුණු උසස් ග්‍රහ සංයෝග හා ග්‍රහ දෘෂ්ටි තිබුණ තරමට රජයේ තනතුරු වරප්‍රසාද උදා කරයි. දස වැන්නේ උච්චක්ෂේත්‍ර ග්‍රහයන් සිටීම දහය අධිපති බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානගතව හෝ ත්‍රිකෝණස්ථානගතව සිටීම සහ සුබ ග්‍රහ සංයෝග සුබ දෘෂ්ටි සහිත වීම ස්ථිර රැකියාවක් ලැබීමට හේතුවේ. තවද රවි, බුධ සංයෝගය කේන්ද්‍ර ස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක හෝ යෙදුණ විට රජයේ රැකියාවක් උරුම වෙයි. එම රැකියාව කුමක්ද යන්න එම ග්‍රහ සංයෝගය එම ග්‍රහ සංයෝගය පිහිටි රාශ්‍යාධිපති හා ඊට දෘෂ්ටි ලබාදුන් ග්‍රහයින් සැලකිල්ලට ගත යුතුය. දසවැන්නේ රවි, ගුරු, කුජ හෝ රවි, බුධ, ගුරු ආදී වශයෙන් සංයෝගය වීමද, ස්ථිර රජයේ රැකියාවක් පෙන්නුම් කරයි. දෙවැන්න වෘෂභ හෝ කටක රාශියක් වී චන්ද්‍රයා එහි සිටියේ නම් හෝ දෙවැන්න ධනු, මීන යන රාශියක් වී ගුරු සිටියේ නම් හෝ රජයේ සේවය උරුම වේ.

කේන්ද්‍රයේ දෙවැන්න මිථුන, කන්‍යා රාශියක් වී එහි ශුභ දෘෂ්ටි සහිතව රවි, බුධ යෝගය, රවි, ගුරු යෝගය යෙදීම ලේඛන කලාව තුළින් හිමිවන රැකියාවක් පෙන්නුම් කරයි. දසවැන්නාධිපති දහයේ බලවත් නම් ගුරු වෘත්තිය හිමිවීමක් ද යෝග කාරක ග්‍රහයින් හතර දෙනෙකු රවි හෝ සඳු සමඟ කේන්ද්‍රයේ යෝගවීමෙන් රාජ්‍ය සේවයේ රැකියාවක්ද පෙන්නුම් කරයි. දසවැන්න අධිපති සෙනසුරු සමඟ යෝග වූ විට ලැබෙන රැකියාව දැසි දස් කම්කරුවන් ආශි‍්‍රත කය වෙහෙස කරනු ලබන රැකියාවක් වෙයි. දහය අධිපති රාහු සමඟ යෝග වූ විට අයුතු මාර්ගවලින් ධනය උපයයි. දස වැන්නේ රවි සිටි විට රාජ්‍ය සේවයේ අධ්‍යක්ෂධුර, විධායක ශ්‍රේණියේ රැකියා ආදී අන් අය පාලනය කරනු ලබන රැකියා හිමිවෙයි. රවි දස වැන්නට දික්බල බැවින් පාලන ක්ෂේත්‍රයේ රැකියාවලට ඉතා යහපත්ය. එසේම තම ආත්ම ගරුත්වය රැකගෙන සේවයේ යෙදෙයි.

කුජ ද දසවැන්නට සුබය. දසවැන්නට කුජ දික්බල බැවින් කුමන කටයුත්තක් කළත් හෙතෙම කාර්යයේ අති දක්ෂයෙක් වෙයි. වෙළෙඳ ව්‍යාපාරවලට ද ඉතා යහපත් වේ. එක තැන සිට කරන රැකියාවලට වඩා ක්‍රියාශූර තත්ත්වයෙන් කරන වැඩවලට යෝග්‍ය ය. විරුද්ධවාදීන් පහසුවෙන් මෙල්ල කළ හැකිය. පටන්ගත් කාර්ය කුමන බාධක මැද්දේ වුවද අවසානය දක්වා කිරීමේ දක්ෂතාවයද ඇත. එසේම අවි ආයුධ පිළිබඳ ආරක්ෂක අංශයේ රැකියා, යන්ත්‍ර සූත්‍ර පිළිබඳ වැඩ මාංශ වෙළෙඳාම ආදී ක්ෂේත්‍රයන්හි රැකියාවල් ද හිමිවේ.

පාප දෘෂ්ටි නොලබා ගුරු දහවැන්නේ පිහිටා තිබීමද යහපත්ය. කොන්ත්‍රාත්වැඩ, ගුරු සේවය, නියෝජිතධුර, මැති අමැතිකම් බොහෝ දෙනාගේ ගරුසරු ලැබිය හැකි කාර්යයන් රැකියාවක් ලෙස ලැබෙයි.

තිබෙන රැකියාවෙන් ක්‍රම ක්‍රමයෙන් උසස්වීමටද වාසනාව ඇත. ගුරු දස වැන්නේ සිටින්නන්ට සමාජයේ ගෞරවය නිතැතින්ම හිමිවෙයි. තමන් යටතේ වැඩ කරන්නන්ගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට දක්ෂය. රාහු දස වැන්නේ සිටිවිට විප්ලවවාදී දේවලට සිත යොමුවේ. විදේශගත රැකියාවලටද හිමිකම් ඇත. එසේම තැනින් තැන සංචාරය කරමින් කරන රැකියා ක්ෂේත්‍ර නිලධාරී, අලෙවි නියෝජිතයින් ආදී රැකියාවන් හිමිය. කේතු දස වැන්නේ සිටිවිට ඥානය මෙහෙයවා කරන කාර්යයන් සඳහා ද ඉතා යහපත්ය. ලිපිකරුවන්, ගුරුවරුන්, ලේඛකයන් ආදී අය කේතු දහවැන්නෙන් බිහි වේ.

චන්ද්‍රයා ජලීය (ජලය ආශි‍්‍රත) ග්‍රහයෙකි. මෙබඳු ජල ග්‍රහයකු රැකියා කාරක වේ නම් ජන්මියා ජලය හා සම්බන්ධ රැකියාවකට යොමුවීම දෛවයේ නියමයයි. එබඳු අය ජලයට සම්බන්ධයක් ඇති ජීවන වෘත්තියක යෙදෙමින් ධනය උපයයි. නාවික හමුදා සේවය, සිසිල් බීම කර්මාන්තයක හිමිකරුවකු වීම හෝ සේවකයකු වීම, සායම් තීන්ත ආදිය නිෂ්පාදනය, සරුවත්, තේ පැන් ආදිය විකිණීම ආදිය මේ ගණයට වැටේ. චන්ද්‍රයා කෑම බීම ආදියටද සමීප සම්බන්ධයක් ඇති ග්‍රහයෙකි. ධනස්ථානාධිපති ග්‍රහයාගේ යෝගවීමක් හෝ දෘෂ්ටිවීමෙන් හෝ යම් සම්බන්ධයක් වේ නම් එම අය කෑම, බීම අලෙවිකරන්නකු හෝ ආපන ශාලාහිමියකු හෝ වීමට ද ඉඩ ඇත. රැකියා කාරක චන්ද්‍රයා කෙරෙහි රාහුගේ ප්‍රභවය (බලපෑම) වේ නම් කේන්ද්‍ර හිමියා මත්පැන් අලෙවි කරන්නෙකු වීමටද ඉඩ ඇත. කවර හෙයින් ද යත් මත්පැන් ද විස සංයුක්ත ජලීය පදාර්ථයක් බැවිනි.

වෘෂභ හෝ තුලා කෙනකුගේ ලග්නය වී සිකුරු බලවත්ව දහවැන්න අධිපතියා සමඟ සිටීමෙන් කලා අංශයට බර රැකියාවක් කිරීමට භාග්‍යය පෙන්වන ග්‍රහ යෙදුමකි. තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල බුධ ග්‍රහයා බලවත් නම් විශේෂයෙන් ව්‍යාපාරවලට රැකියාවලට ඵල පෙන්වන ග්‍රහ පිහිටීමකි. සිංහ හෝ කුම්භය ලග්නය වී බුධ සමඟ සඳු දහවැන්නේ හෝ ලග්නයේ දහවැන්න සමඟ බලවත්ව සංයෝගවීමෙන් පොළොවට සම්බන්ධ ව්‍යාපාරවලින් ජයග්‍රහණ පෙන්වන ග්‍රහ පිහිටීමකි.

චන්ද්‍රයා ස්ත්‍රී ග්‍රහයෙකි. මේ ස්ත්‍රී ග්‍රහයා සිකුරු වැනි තවත් ස්ත්‍රී ග්‍රහයෙකුගේ බලපෑම ලැබූ විට කේන්ද්‍ර හිමියා ස්ත්‍රීන් සමඟ එක්වී එම අයගේ සහාය ඇතිව රැකියාවක් කරයි. සමහර විට හේ සිනමා නළුවෙකු වීමටද ඉඩ ඇත. සිනමා අධ්‍යක්ෂ වැනි තනතුරුද ලබනු ඇත. රැකියාකාරක චන්ද්‍රයා හා ශුක්‍ර රාහු හා සම්බන්ධව දුර්වලව හෝ නීච රාශිගතව සිව්වැන්නේ වී නම් ජන්මියා ගණිකා මඩම් පැවැත්වීම වැනි කටයුතුවලින් ධනය රැස් කරනු ඇත. චන්ද්‍රයා බලවත්ව රවි, ගුරු ආදීන් හා සම්බන්ධ රැකියා කාරකව සිටීනම් තානාපති තනතුරු, රාජ්‍ය අධිකාරී තනතුරු වැනි තනතුරු ලැබීමටද වාසනාව ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.