කේන්දරයක රවිගේ බලය

මැයි 10, 2024

 

ජීවන තොරතුරු හෙළි කරන හඳහන නිසි වේලාවට බිහිවන නැතහොත් උපත ලබන සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිත කාලයට අදාළ තොරතුරු සත්‍ය ලෙස හෙළිකිරීමට තරම් ප්‍රබලත්වයෙන් පවතී. හඳහන වේලාපත්කඩය, කේන්දරය, ජන්ම පත යන නම්වලින් හඳුන්වනු ලබන හඳහන මෙලොවට බිහිවන හැම කෙනෙකුටම ප්‍රකට නැකැත් විසිහත අතරින් එක් නැකතක් හිමි වේ. ග්‍රහයන් නම දෙනා අතර එක් ග්‍රහයෙකුට නැකැත් තුනක් වශයෙන් මේ නැකැත් විසිහත බෙදී ඇත.

මනුෂ්‍යයෙකුගේ ස්වකීය ධන ධාන්‍ය උපභෝග පරිභෝග සම්පත් අභ්‍යන්තර බාහිර ක්‍රියාකාරකම් අභිවෘද්ධිය මෙන්ම රෝග පීඩා ද, ධන හානි, සතුරු කරදර පීඩා, නඩුහබ, රැකීරක්ෂා ලැබීම්, කැඩීබිදී යෑම් ආදියද සිදු වන කරදර හා විවාහය වගේම ජීවන තොරතුරු හඳහන පරීක්ෂාවෙන් විනිවිදව දැන ගත හැකිය.

සත්ත්වයාගේ උත්පත්තිය ස්ථිති සංහාර යන කරුණු තුනම කර්මානුකූලව සිදු වන බව බුදුදහමෙහි සඳහන්ව ඇත. එය පැහැදිලිව කුසල අකුසල කර්මානුරූපව ලැබෙන සුබ අසුබ විපාක මේ යැයි ප්‍රකාශ කිරීමට ලෝකයේ විශ්මයජනක ශාස්ත්‍රයන් අතරින් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රයක් වූ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පෙර විසූ මහා ඍෂිවරුන් විසින් ලොවට අනාවරණය කර ඇත. ඒ අනුව ඓශ්චර්ය පරිපූර්ණ වූ පුද්ගලයකුට මෙන්ම දුක් කරදර රෝග පීඩා දියෙන් පීඩා විඳින පුද්ගලයන්ටද, හඳහන පිහිට වන බව සඳහන් කළ යුතුය. මෙහි සත්‍යය නම් දුප්පත්, පොහොසත් , උගත්, නූගත් සුඛිත දුක්ඛිත සියලු දෙනාටම ඒ ඒ අයගේ ග්‍රහ තත්ත්වය අනුව එකසේ ප්‍රයෝජනවත් වන බවයි.

වර්තමානයේ මේ දියුණු සමාජය තුළ පුරුෂයාට හෝ ස්ත්‍රියට තම අභිවෘද්ධිය තව තවත් සුවිශාල කර ගැනීමටත් දියුණුවට අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීමටත් සුඛිතභාවය වර්ධනය කර ගැනීමටත් මෙන්ම ඉදිරියට ඇති විය හැකි අපල උපද්‍රවයන්ගෙන් සිදුවන විපත්වලින් බේරීම සඳහාත් ක්‍රමෝපායන් සකස් කර ගැනීම සඳහාත් ඇති විය හැකි කරදර හිරිහැර විපත් පීඩාදියෙන් නිදහස්වීම සඳහාත් කළ යුතු පැවැතිය යුතු වත් පිළිවෙත්ද හඳහන මඟින් දැන ගත හැකිය. සමාජයේ ජාති, ආගම් භේදයකින් තොරව බොහෝ දෙනකු හඳහන කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ හඳහනෙන් පෙන්වා දෙන කරුණුවල ඇති සත්‍යතාවය මතය. හඳහන නැති අයවලුන් පවා හඳහන සාදවා ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඒ නිසා ය.

අද වන විට බොහෝ දෙනාට තමන්ගේ විවිධ කටයුතු සඳහා වේලාපත්කඩය නැතහොත් හඳහන ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී ඇත. විශේෂයෙන් අලුතින් ගෙයක් හෝ කඩකාමරයක් ඉදිකර ගැනීමට සුබ වේලාවක් සහිතව නැකැතක් ලබා ගැනීමට අනිවාර්යයෙන්ම හඳහන අවශ්‍ය වේ. එය ඉදිකර ගැනීමට සුබ වේලාවක් සහිතව නැකැතක් ලබා ගැනීමට අනිවාර්යයෙන්ම හඳහන අවශ්‍ය වේ. එය ඉටුකර ගැනීමට ඔවුන් හඳහන රැගෙන යන්නේ දෛවඥ මහතා ළඟටය. දෛවඥ මහතා දෙනු ලබන දින වකවානු, සුබ හෝරාව, නැකත සතුටින් පිළිගෙන ඒ අනුව ක්‍රියාකිරීමෙන් සියලු කටයුතු සාර්ථක වේ.

කොටු දොළහකින් සමන්විතව මනා ලෙස සකස් කර ඇති හඳහනෙන් තම ජීවිත තොරතුරු ඉතා පැහැදිලිව විනිවිදභාවයකින් යුතුව දැන ගත හැකිය. හඳහනේ කොටු දොළස ජන්මපත හිමියාගේ ගති ලක්ෂණ පෙන්නුම් කරන භාව දොළහකි. එමෙන්ම රවි, සඳු, බුධ, සිකුරු, කුජ, ගුරු, සෙනසුරු, රාහු සහ කේතු ලග්නයේ ඒ ඒ භාවයේ සිටින ආකාරය අනුව පුද්ගලයාගේ ගති ලක්ෂණ පෙන්නුම් කෙරේ. ග්‍රහයන් නම දෙනා ලග්නයේ සිටින විට පැහැදිලි තොරතුරක් ලබා ගත හැකිය. හඳහනේ විස්තර අති විශාල ලෙස පැවැසිය හැකි. එහෙත් මෙහි සඳහන් කරනු ලබන්නේ හැඳින්වීමක් පමණකි.

රාශි චක්‍රයේ බලවත්ම ග්‍රහයා ලෙස සලකුණු ලබන්නේ රවි හෙවත් සූර්යයාය. සූර්යයා ග්‍රහදේව රාජ්‍යයෙහි අධිපති රජු වශයෙන්ද සැලකේ. උපත ලබන්නාවූ මනුෂ්‍යාගේ ජීව ශක්තිය ප්‍රාණ ශක්තිය, ප්‍රඥාව, බුද්ධියට පිහිට වන්නේද සූර්යාය. රවි ලග්නභාවයේ සිටිවිට සාඩම්බර ගති ඇති අනුන්ට හිස නොනමන ක්ෂණිකව කෝප ගන්වන නිර්භීත ගති ඇති අයකු වේ. රවි දෙවැන්නේ වූ විට ඇස්වල රෝගාබාධ කල්පනාකාරීව වස්තුව, ධනය ඉපයීමට කඩිනම්ව ක්‍රියා කෙරේ. රවි තුන්වැනි භාවයේ සිටි විට නීරෝගී ශක්තිමත් ධෛර්ය සම්පන්න කෙනෙකු වේ. මහජන සේවයට ළැදි බවක් පවතී. රවි සිවුවැන්නේ වූ කල නෑදෑයන් සමඟ ආරවුල් වියවුල්වලට ඉදිරිපත් වේ. දේපළ ප්‍රශ්න ඇතිකර ගනී. රවි පස්වැන්නේ නම් ඉගෙනීමෙන් ඉදිරියට යාමේ කැමැත්තක් දක්වයි. ගුණවත් වේ. රවි හයවැන්නේ වූ කල යහපත් වේ. ඥාතීන් හා සම්බන්ධකම් ඇති වේ. නායකත්වයට ළැදි වේ.

රවි හත් වැන්නේ නම් විවාහය කල්ගත වේ. ලැබෙන සහකරු හෝ සහකාරිය ආඩම්බර ගති ඇත්තෙකි. ගෞරවාන්විත වේ. රවි අටවැන්නේ නම් වියදම් අධික කෙරේ. රවි නවවැන්නේ නම් සාධාරණව කටයුතු කෙරෙහි අනාගතය සැලැසුම්කර පවත්වාගෙන යයි. රවි දසවැන්නේ වූ කල යහපත් වේ. ගෞරව නම්බුනාම හා පිළිගැනීම්වලට ලක් වේ. ධනවතකු වීමේ වාසනාව ඇත. රවි එකොළොස්වැන්නේ නම් මිත්‍ර ආශ්‍රය ළැදි වේ. අනුන්ගෙන් උදවු උපකාර ලැබෙයි. රවි

දොළොස්වැන්නේ නම් සාර්ථක ජීවිතයක් ගත කළ හැකිය. එහෙත් අශුභ ක්‍රියාවලට යොමුවූවා නම් නීතියෙන් කරදරවලට ලක් වේ.

හඳහනක් ලබා ගන්නා දෛවඥ මහත්වරු ජන්මියාගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නේ හඳහන මනා ලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. වැඩි දෙනෙකු ජන්ම පත රැගෙන විත් අසන ප්‍රශ්නයක් වන්නේ කවදා රැකියාවක් ලැබේද යන්නයි. එයට පිළිතුරු දීම සඳහා ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥවරයා පළමුවන කොටුවට අවධානය යොමු කොට අසන ප්‍රශ්නයට නිතැතින්ම පිළිතුරු ලබා දෙයි. රවි දුබල වූ විට පියකරු මුහුණු අවලක්ෂණ කරමින් කුරුලෑ හට ගැනීම එක් එක් ආකාරයේ ගෙඩි හට ගැනීම නිතර නිතර උණ රෝගය වැලඳීම, හිසරදය, ක්ෂයරෝගය වගේම ශරීරගත වේදනාවන් ද ඇති වේ. තවද උෂ්ණාධික රෝගවන රක්තවාතය, සරම්ප, පැපොල් වගේම දණහිස් ඉදිමීමේ රෝග ද ඇති විය හැකිය.

 

ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර

මොරටුවේ

තිස්ස මහානාම

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.