ආදරයෙන් බැඳෙන්නන් සහ ලිංගිකත්වයෙන් බැඳෙන්නන්

මාර්තු 29, 2024

ලොව ජීවත්වන අප සියලුම දෙනාටම අදරය අත්‍යවශ්‍ය කාරණයකි. එය මිනිසාට පමණක් උරුම වු කාරණයක් නොවන බව අප සතා සිවුපාවුන් හැසිරෙන ආකාරයෙන් අපට තහවුරු වේ. ආදරය යන්නට නොයෙක් අර්ථකථනයන් තිබිය හැකිය. එහෙත් පොදුවේ ගත් කල අපට පෙනෙන කරුණක් වන්නේ සියලු ජීවින්ගේ පැවත්ම උදෙසා සියලු බැඳීම් ඇතිකිරීමට ආදරය මුල්වන බවය.

කරුණු එසේ වෙතත් තමා තුළ ඇති ආදරය කුමන ආකාරයේ එකක්ද එහෙමත් නැතිනම් තමාගේ සහකාරයාගේ ආදරය කෙබඳුද යන්න ස්වයං තක්සේරුවක් කර දැන ගැනීමට අප කැමැතිය. ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට ඒම සඳහා හස්ත රේඛා ශාස්ත්‍රය මහඟු පිටිවහලක් වන බව කිව යුතුය.

හස්ත රේඛා ශාස්ත්‍රයේදි ආදරය සම්බන්ධයෙන් කථාකිරීමේදි ඉතාම වැදගත් රේඛාව වන්නේ හෘද රේඛාවයි. එනම් ඕනෑම පුද්ගලයකුගේ සිත අභ්‍යන්තරයේ ඇතිවන හැඟීම් නිසා ඇතිවන්නා වූ ප්‍රතික්‍රියා අන්‍යයන් කෙරෙහි ප්‍රතිචාර දක්වන ආකාරය, ආදරය, අනුකම්පාව, හැඟීම් ප්‍රකාශය කරන ආකාරය ආදි වු කරුණු ගණනාවක් හෘද රේඛාව හැසිරෙන ආකාරයෙන් අවබෝධ කර ගත හැකිය.

හෘද රේඛාව ආරම්භය සම්බන්ධයෙන් මත කිහිපයක් ඉදිරිපත් වූවාට තර්කානුකුලව පිළිගත හැකි ක්‍රමය වන්නේ ගුරු මණ්ඩලය ආශ්‍රයෙන් ආරම්භ වීමයි. ඒ අනුව පිරිසුදු ගැඹුරු ස්ථාවර ආදරයක් සහිත පුද්ගලයාගේ හෘද රේඛාව ගුරු මණ්ඩලයෙන් ආරම්භ වේ. එසේත් නැතිනම් හෘද රේඛාවෙන් ගුරු මණ්ඩලය වට කිරීම සිදුව තිබේ. තවද දෛව රේඛාව හෘද රේඛාව කැපීමෙන් පසු ත්‍රිශූලයකින් අවසන් වීම සහ එහි එක් අතුශාඛාවක් ගුරු මණ්ඩලයට යාම ද හෘද රේඛා දෙකක් පිහිටා තිබීමද ඉහත ආකාරයේ ස්ථාවර ආදරයක් සහිත පුද්ගලයකු බව කිව යුතුය. එසේම ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයේ එනම් තහනම් ආදරයක් සහිත පුද්ගලයකුගේ අත්ලේ හෘද රේඛාවේ දුපත් සලකුණක් (A) පිහිටීමෙන් පෙන්නුම් කෙරේ. එසේම දුර්වල හෘද රේඛාවක් පිහිටීම හෝ ග්‍රීල් සහිත සිකුරු මණ්ඩලයක් (B) පිහිටිමද එවැනි වූ ආදරයක් සහිත පුද්ගලයකු බව කිව යුතුය.

ආදරයෙන් පැරදීම හෙවත් ආදරයේ විරහා වේදනාව උරුම බව පෙන්වන සාධක අතුරින් හෘද රේඛාව ජීවන රේඛාව සහ ශිර්ෂ රේඛාව එකම තැනකින් ආරම්භවීම පෙන්වාදිය හැකිය. තවද පළමු මැණික් කටු රේඛාවෙන් ආරම්භ වන දෛව රේඛාව (C) හෘද රේඛාවෙන් අවසන් වීම, බුධ මණ්ඩලය යට හෘද රේඛාවේ කලු ලප (D) ඇතිවීම, හෘද රේඛාවෙන් පහළට විහිදෙන අතුරේඛා සිකුරු මණ්ඩලයෙන් එන රේඛා දෙකක් දෛව රේඛාවේ ඇති තරුවකට හමුවීම වැනි රේඛා ලක්ෂණයන්ද ආදරයෙන් පැරදීම පෙන්වන රේඛා ලක්ෂණයන් වේ. හෘද රේඛාව රත් පැහැයට හුරු නම් ඔහු හෝ ඇය ආදර සම්බන්ධතාවලදී හිංසාකාරි ලෙස හැසිරෙන අය වේ. හෘද රේඛාව කහ පැහැයට හැරී පෙන්නුම් කෙරේ නම් ආදර සම්බන්ධතාවලදි දුර්වලතාවයක් පෙන්නුම් කෙරේ. හෘද රේඛාවේ කැඩීමක් සහ කැඩුණු (E) තැන ලොකු හිඩැසක් තිබීම හෘද රේඛාව හමුවන ප්‍රදේශයේ දෛව්‍ය රේඛාවේ දම්වැල් පිහිටීම සිකුරු මණ්ඩලයේ ලප පිහිටීම වැනි (I) තත්වයන්ද ආදර සම්බන්ධයෙන් කණගාටු තත්ත්වයන් ඇති කරයි.

එසේම හෘද රේඛාව බොහෝ වක්‍ර ස්වභාවයක් ගන්නේ නම් ප්‍රබල ලිංගික ආශාවක් ඇති පුද්ගලයෙක් බිහි වේ. මොවුන් තෘප්තියක් ලබන්නේ ආදරය කිරීමෙන් නොව ලිංගික සම්බන්ධතා පැවත්වීමෙනි. අධික බෑවුමක් ලෙස හෘද රේඛාව වක්‍ර සහිතව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය රූමත් සහකරුවෙක් හෝ සහකාරියක් තෝරා ගැනීමට වෙහෙසෙයි. හෘද රේඛාව ගුරු මණ්ඩලයෙන් පටන් ගන්නේ නම් සහකරුවාට හෝ සහකාරියට ඉතා ගෞරවයෙන් සලකන පිහිටීමකි. අවංකවම ආදරය කරන්නකු වන අතර, අනෙකාගෙන්ද එවැනිම ආදරයක් බලාපොරොත්තු වන්නෙකි. ඔවුන් ගොඩ නඟා ගන්නේ ස්ථිර සම්බන්ධතාවයකි. තත්ත්වයෙන් පහළ අයකු සමඟ විවාහ වන්නේ නැත. එහෙත් හෘද රේඛාව ගුරු ඇඟිල්ලෙන් ආරම්භ වන්නේ නම් එය මෝඩ ආදරයක් වීමටද පුළුවන. අධික ගරුත්වය සහ අන්ධ විශ්වාසය නිසා සහකරුගේ හෝ සහකාරියකගේ වැරැදි නොදැකීම හේතුවෙන් අවසානයේ පසුතැවිල්ලකට හේතු විය හැකිය. රේඛාව ආරම්භ වන්නේ ගුරු ඇඟිල්ල සහ ශනි ඇඟිල්ල අතරින් නම් (H) සමබරව පවුල් ජීවිතය පවත්වාගෙන යන පිහිටීමකි. ආදරය මෙන්ම ජීවත් වීම සඳහා මිල මුදල් ද අවශ්‍ය බවද තෙරුම් අරගෙන යන විවාහයකි. මෙහිදී සහකරු හෝ සහකාරිය ඉවත් වුවහොත් තැවි තැවි නොසිට ඊළඟ විවාහයකට ගමන් කරන පිහිටීමකි. ශනි මණ්ඩලයෙන් හෘද රේඛාව ආරම්භ වන්නෙ නම් (F) ආත්මාර්ථකාමි ආදරයකට පුද්ගලයා තල්ලු කරයි. යුග දිවියේ ආදරණීය හැඟුම් පෙන්නුම් නොකරයි. විවාහය ලිංගිකත්වයම මත පදනම් වේ. සෑම විටම සහකාරියකගේ හෝ සහකරුගේ වැරදි සොයන අයකු බව වටහාගත යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.