වෙනසකට මුලපුරන්නන් බිහිකරන මේෂ රාශියේ ගුරු පිහිටීම

පෙබරවාරි 23, 2024

 

ඉභිනනාසු සම්ප්‍රදායේදී ජීවයට මුල්තැන දෙනු ලබන්නේය. වර්තමාන මනුෂ්‍ය ආත්මය ලබා සිටියද ජීවය අනාදිමත් අතීතයක සිට පැවත පැමිණ ඇත. යම්කිසි ආත්මයකින් චුත වූ විට තවත් මව්කුසක පිළිසිඳීම සිදු වන තෙක් එසේ විශ්වගත වූ එකී චුති විඥානය පෙර කරන ලද කුසලාකුසල කර්ම ශක්තිය යන තවත් මව්කුසක පිළිසිඳුන කළලයකට අධිගෘහිත වන්නේය. ක්ෂීරපායී සත්ත්ව විශේෂයක් වන මනුෂ්‍ය දුවකගේ නාභිය තුළින් ගර්භාෂගත වන එකී විඥාන ධාතුව නාමරූපයක් නිර්මාණය කරගෙන ෂඩායතන ප්‍රාදූර්භූත කොට තිබී වර්තමාන ජීවියා බිහිවී සිටියි.

ජීව ග්‍රහ සිද්ධාන්තය

එසේ පැමිණියා වූ ජීවය හරියටම උත්සව කාලයේදී කණා මුට්ටිය බිඳීමේ තරගයට යොදන උපකරණ හා සමානය. වර්තමාන ජීවිතය බිඳිනු ලබන මුට්ටිය වාගේය. මුට්ටිය එල්ලා පවතින රැහැන තෙරක් නොපෙනෙන විඥාන ධාතුව වන්නේය. මෙකී විඥාන ධාතු සංසාර ගමනේදී පුද්ගලයා වශයෙන් මෙම ආත්ම භාවයේදී දකින්නට ලැබෙන සතර මහා භූත පංචස්කාමයට සුවිශේෂී අනාවැකි පවසන්නට ජීව ග්‍රහ සිද්ධාන්තය අතිශය වැදගත් වන්නේය. ඒ අනුව මනුෂ්‍යයා පිළිබඳව විස්තර හෙළිකර ගැනීමට ජීවබල ග්‍රහයා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නවග්‍රහ මණ්ඩලය අතුරින් එකී ජීවග්‍රහ බලධාරී බලවේගය හිමි වන්නේ “ගුරු” ග්‍රහයාටය. මේ අනුව ඉභිනනාසු සම්ප්‍රදායයේදී පුද්ගල චරිතය අනාවරණය කර දීමට ජීවබල ග්‍රහ ගුරුගේ ප්‍රභාස්වරය ශාස්ත්‍රඥයාට මහෝපකාරී වනු ලබන්නේය.

මීනාදී දක්ෂිණාවෘත රාශී කුණ්ඩලියේ පවතින චතුර්මහාභූත චතුෂ්කයේදී පවා “ජීව ග්‍රහ ගුරු” විසින් විවිධ ප්‍රතිඵලයන් ලබා දීමට සමත්කම් දක්වනු ලබන්නේය. ඒ සඳහා ආරම්භක පුහුණුව වශයෙන් මේ පාඩම් මාලාවේ අංක 27 දරන රූපසටහන තුළින් එය පැහැදිලි කරනු ලබනවා ඇත.

මෙකී චතුස්කයේ අංක 01 දරන ස්ථානය තේජෝ බලය විහිදුවන මේෂ රාශිය ක්‍රියාත්මකය. අංක 02 දරන ස්ථානය ආපෝ බලය විහිදුවන කටක රාශිය ක්‍රියාත්මකය. අංක 03 දරන ස්ථානය වායෝ ලෙස විහිදුවන තුලා රාශිය ක්‍රියාත්මකය. අංක 04 දරන මූලස්ථානය පඨවි බලය විහිදුවන මකර රාශිය ක්‍රියාත්මකය.

මේ එක් එක් ස්ථානවලදී ජීවිබල ගුරු ග්‍රහයාගේ ප්‍රබලත්වය ඒ ඒ ජන්මීන් තුළින් විවිධ ලෙස උද්දීපනය කරනු ලබන්නේය.

එවිට ඔහුට සංවේදී වන ස්ථානවල තැන්පත් ග්‍රහයින්ගේ ගුණද විද්‍යමාන කරන්නේය. විවිධ ග්‍රහ දෘෂ්ටීන්ද විවිධ ප්‍රතිඵල ප්‍රදානය කරන්නේය. මේ සඳහා නිසි අවබෝධයක් ලබා ගැනීමට උත්පත්ති ජන්ම දින ග්‍රහ සටහනකට අවධානය යොමු කිරීම සඳහා අංක 28 දරන රූපසටහන කෙරෙහි සැළකිල්ල දක්වන්න.

අංක 28 දරන උත්පත්ති ග්‍රහසටහනෙහි මේෂයෙහි රවි, බුධ, ශුක්‍ර යන ග්‍රහයින් අංශක 00 සිට අංශක 10 අතරෙහි පිහිටා ඇත. නමුත් ගුරු ග්‍රහයා අංශක 23 කලා පනස් තුනේද රාහු ග්‍රහයා අංශක 28 කලා 39හිදී පිහිටා ගුරුට වැඩිපුර ළංවීමත් රාහු සිදු කර ඇත.

ගුරු ග්‍රහයා තම කල්‍යාණ මිත්‍ර කුජගේ මේෂ රාශියේ තැන්පත්ය. එය කාර්යශූර තේජෝ බල කුජගේ රාශිය වෙයි. ඒ වාගේම රජෝ ගුණයෙන්ද යුක්තය. තවද නොසැළෙන තීරණ ගත හැකි කෲර රාශියක්ද වෙයි. තවද දිශා පිළිබඳව සලකා බැලීමේදි නැඟෙනහිර දිශාවෙහි ගුරු ග්‍රහයා තැන්පත්ව ඇත. මෙම හඳුන්වාදීමේ සියල්ලම පසුගිය ඉභිනනාසු සූත්‍රම් පාඩම්වල විස්තර කර ඇත.

තවද මෙකී ගුරු ග්‍රහයා ව්‍යාපාරික ප්‍රජාව, නීතිය පිළිබඳ කටයුතු සහ නීතිවේදීන්, ආගමික අංශය මෙන්ම ද්‍රව්‍ය ආත්ම පිළිබඳ සම්බන්ධතා, බැංකු ක්ෂේත්‍රය ආදිය කියාපායි. මොහු වටා සක්‍රිය වන මණ්ඩලය පවා අංශක හයක වටා ප්‍රමාණයකට විහිදේ. (සියලු ග්‍රහයින්ගේ මණ්ඩල සහ ආවේණික කාරක තත්ත්වයන් ඉදිරි පාඩමකදී ඉදිරිපත් කිරීමට නියමිතය.)

ඒවාගේම චන්ද්‍රයාගේ දෘෂ්ටියක්ද මේෂයට පතිත වෙයි. චන්ද්‍රයාගේ දෘෂ්ටිය මේෂයේ ගෝචරය වූ සිකුරු ග්‍රහයා මතටම පතිත වෙයි.

එවැනි ග්‍රහ දෘෂ්ටි පිළිබඳවද ඉදිරිපත් කිරීමක් මතුවට සිදු කෙරේ

කෙසේ වෙතත් මේෂයේ තැන්පත් මෙකී ගුරු ග්‍රහයා අංශක 23 යි කලා 53 භජනය කරන නිසා සිකුරු හිමි බෙරණ නැකතේ ගමන් කර ඇත. ගුරුගේ මෙකී පිහිටීම් පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කරයි. එකී ආවේණික තොරතුරු තීව්‍ර කර දීමට ගුරු + රාහු සංස්කරණ තුළින් පුද්ගලයාට ඒකාධිපති තීරණ ගති හැකි වේගවත් බුද්ධිමත් ව්‍යාපාරික ඥානයක්ද පහළ වන සුන්දර පුද්ගලයකු බවට ජන්මියා පත්වනු ඇත. මේ උත්පත්ති ජන්ම ග්‍රහ සටහන අන්කිසි වෙකුගේවත් නොව ශ්‍රී ලංකා සිනමාවට එදා නවමු අත්දැකීම් ලබා දුන් අති දක්ෂ සංස්කාරකවර ටයිටස් තොටවත්ත ශූරීන්ගේය. ඒ වාගේම අවංකත්වයෙන් යුතුව ජීවත්වන පුද්ගලයින් ජනිත වීමද මේ ගුරුගේ පිහිටීමෙන් මතු කෙරෙනවා ඇත.

අංක 29 දරන රූප සටහන

ගුරු ග්‍රහයා මේෂයේ තැන්පත් වෙමින් නොකැළැල් සමාජ මෙහෙවරකට උරදුන් මැදවච්චිය ප්‍රදේශයෙන් මතුවූ දේශපාලන චරිතයක් වන මෛත්‍රීපාල සේනානායක දේශපාලනඥයා 1916.07.18 වෙනි දින උපත ලබන විට ගුරුගේ පිහිටීම දක්වන ජන්ම ග්‍රහ සටහනයි අංක 29 දරන රූප සටහනින් දක්වා ඇත්තේ ඉදිරියේදී ඉභිනනාසු ඡ්‍යොතිෂ විචාරයක් ගාම්භීර ලෙස ගෙන ඒමට තව තවත් න්‍යායාත්මක සිද්ධාන්තවලින් ඔබව පෝෂණය කරවීමට පෙර මෙතෙක් වටහාගත් දෙය පහත සඳහන් අංක 30 සහ 31 දරන අභ්‍යාසවලට යොදවා ඡ්‍යොතිෂ විචාරයකට දොරටු විවර කර ගැනීමට උත්සාහ කර බලන්න.

අංක 30 දරන ග්‍රහ සටහන සුවිශේෂී ශාසනික මෙහෙවරක යෙදුන පණ්ඩිතාචාර්ය හේන්පිටගෙදර ඥානතිලක ස්වාමීන් වහන්සේගේය. අංක 31 ග්‍රහසටහන ප්‍රබල සිංහල භාෂා ප්‍රවීණයකු වූ වික්ටර් ද ලැනරෝල් ගත් කතුවරයාගේය.

ඉභිනනාසු පවසන අන්දමට ගුරු ග්‍රහයා මේෂයේ තැන්පත් නම් පෙන්වන ප්‍රතිචාර මෙම ග්‍රහ සටහන් හිමි උගතුන් වෙතින් ප්‍රදර්ශනය විය. බහුශ්‍රැතභාවය ක්‍රියාකාරකම් කීපයක් එකවිට සිදු කිරීමේ හැකියාව, ස්වභාවික විපත්තිවලදී සියල්ල පසෙක තබා පරෝපකාරී අදහසින් ක්‍රියා කිරීම ආදී ගති ලක්ෂණ නමුත් වාතරෝග හා සෙම්රෝගවලට පහසුවෙන් ගොදුරු වූ බව පෙනේ. 2024.02.02 දින පළවූ හතරවන පාඩමේ 11 වන රූපසටහනේ උත්පත්ති සටහනට කෙටි ඡ්‍යොතිෂ විචාරයක් ලියා පුහුණු වන්න.

එවිට ගුරු ග්‍රහයා විසින් මේෂ රාශී ගුණය උකහා ගන්නවා ඇත. ඒ අනුව මේෂයේ ගුරු සිටියදී උපත ලත් මනුෂ්‍යයා ලෙස කම්මැලි භාවයෙන් තොරවීම අතිශය දක්ෂ, කඩිසර භාවයෙන් ක්‍රියාකොට ලෞකික උනන්දුව ඉහළ නංවා ගැනීමට නිරතුරවම ක්‍රියා කරනු ඇත.

ඔවුන්ට විවිධ ශිල්පීය ඥානයෙන් පහළ කර ගත හැකිය. විශේෂයෙන් කර්මීකරණ නැණ බලය උපතින්ම හිමි වන්නේය. තවද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට හැකියාවද මොවුන්ට නිතැතින්ම උරුම වන්නේය. කෙසේ වෙතත් කුමන ක්ෂේත්‍රයක කටයුතු කළත් අධි අවදානම් ක්‍රියාවන්වලට යොමුවීමද විශේෂ ගති ලක්ෂණයක් වනු ඇත. ඒ වාගේම මේෂයේ ගුරු සිටියදී උපත ලත් ජන්මීන් තෙලිතුඩ හසුරුවමින් සමාජ මානසිකත්වයට පෙරළියක් ලබාදීමටද රුසියෝය. ගුරුගේ මෙකී ශක්තිය අංක 32 සහ 33 දරන ජන්ම දින සටහන් නිරීක්ෂණය කරමින් නිගමනයන් ලබා ගැනීමට මෙවැනි ජන්ම පත්‍ර තවත් එකතු කර ගන්න.

අංක 32 දරන ජන්ම ග්‍රහ සටහන

1924.04.07 දින උපත ලත් මහගමසේකර සුප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘ කලාකරුගේය. ගුරුගේ පිහිටීම අධ්‍යයනය කරන්න. ගුරුට සම්බන්ධ වන සිකුරුද විමසන්න.

අංක 33 උත්පත්ති සටහන

ආරියරත්න විතාරණ ශාස්ත්‍රවේදී උපාධිධාරි ඡ්‍යොතිෂ ආචාර්ය ග්‍රන්ථ කර්තෘවරයා 1928.11.11 දින උපත ලත් සටහන අංක 33 රූපයෙන් දක්වා ඇත. අද පාඩමේදී උකහා ගත යුතු තවත් දෙයක් ඇත. එනම් ගුරු සිටින අංශකය බලා අස්විද, බෙරණ, කැති, අකුරින් කුමන නැකතක ගුරු සිටී දැයි බැලීමය. ඉදිරියේදී තවත් විස්තර ලැබේ.

(මතු සම්බන්ධයි)

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම

පුරාණ විහාරයේ

 

තලගහ සද්ධානන්ද හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.