ඔබේ ආදරය මනින රේඛාව

පෙබරවාරි 16, 2024

 

හස්ත රේඛා පරික්ෂාවේදී තවත් ඉතාමත් වැදගත් රේඛාවක් වශයෙන් හෘද රේඛාව හඳුන්වා දිය හැකි අතර, රේඛාව අත්ලේ ගුරු මණ්ඩලය දෙසින් (දබරැඟිල්ල හා මැදැඟිල්ල අතර) ආරම්භ වී බුධ මණ්ඩලය ප්‍රදේශයෙන් අවසන් වීම සාමාන්‍ය පිහිටීම වේ. එහෙත් එය ආරම්භ වන හෝ අවසන් වන ස්ථානය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ අනුව පුද්ගලයාගේ හෘද රේඛාවෙන් පෙන්වන ගුණාංගයන් ද වෙනස් වේ. කෙසේ වුවත් ඕනෑම පුද්ගලයකුගේ සිත අභ්‍යන්තරයේ ඇතිවන හැඟීම් නිසා ඇතිවන්නා වූ ප්‍රතික්‍රියා අන්‍යයන් කෙරෙහි ප්‍රතිචාර දක්වන ආකාරය, ආදරය, අනුකම්පාව, තීරණ ගන්නේ බුද්ධියෙන්ද, හදවතින්ද හැඟීම් ප්‍රකාශය කරන ආකාරය ආදි වූ කරුණු ගණනාවක් හෘද රේඛාව ඇසුරෙන් අවබෝධ කරගත හැකිය. තවද පුද්ගලයකුගේ හෘදය, රුධිර ධාවනයේ බල දුබලතා අපට දැක ගත හැකිවන්නේද හෘද රේඛාව මඟිනි.

සෘජු හෘද රේඛාවක් ඇති පුද්ගලයා ආදර සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට පෙර කරුණු සොයා බලා කටයුතු කරයි. එක්වරම ආදරයෙන් බැඳෙන්නේ නැත.

එසේම සම්බන්ධතා ඇතිකර ගන්නේ තමාගේ බුද්ධි මට්ටමට ගැළපෙන අය සමඟය. සෘජු දිග හෘද රේඛාවක් ඇති පුද්ගලයා සෑම තැනකදීම මූලිකත්වය ගෙන කටයුතු කරන කෙනකු වේ. අනිත් අය ගැන තැකීමක් කරන්නේ නැත. එවැන්නකදි සහකරු ගැන නොසැලකීම ප්‍රශ්න ඇතිවීමට මුල් විය හැකිය.

එසේම හෘද රේඛාව බොහෝ වක්‍ර ස්වභාවයක් ගන්නේ නම් ප්‍රබල ලිංගික ආශාවක් ඇති පුද්ගලයකු බිහිවේ. මොවුන් තෘප්තියක් ලබන්නේ ආදරය කිරීමෙන් නොව ලිංගික සම්බන්ධතා පැවත්වීමෙනි. අධික බෑවුමක් ලෙස හෘද රේඛාව වක්‍ර සහිතව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය රූමත් සහකරුවෙක් හෝ සහකාරියක් තෝරා ගැනීමට වෙහෙසෙයි.

හෘද රේඛාව ගුරු මණ්ඩලයෙන් පටන් ගන්නේ නම් සහකරුවාට හෝ සහකාරියට ඉතා ගෞරවයෙන් සලකන පිහිටීමකි. අවංකවම ආදරය කරන්නකු වන අතර, අනෙකාගෙන්ද එවැනිම ආදරයක් බලාපොරොත්තු වන්නෙකි.

ඔවුන් ගොඩ නඟා ගන්නේ ස්ථිර සම්බන්ධතාවයකි. තත්ත්වයෙන් පහළ අයකු සමඟ විවාහ වන්නේ නැත. එහෙත් හෘද රේඛාව ගුරු ඇඟිල්ලෙන් ආරම්භ වන්නේ නම් එය මෝඩ ආදරයක් වීමටද පුළුවන. අධික ගරුත්වය සහ අන්ධ විශ්වාසය නිසා සහකරුගේ හෝ සහකාරියකගේ වැරැදි නොදැකීම හේතුවෙන් අවසානයේ පසුතැවිල්ලකට හේතුවිය හැකිය. රේඛාව ආරම්භ වන්නේ ගුරු ඇඟිල්ල සහ ශනි ඇඟිල්ල අතරින් නම් සමබරව පවුල් ජීවිතය පවත්වාගෙන යන පිහිටීමකි.

ආදරය මෙන්ම ජීවත් වීම සඳහා මිල මුදල් ද අවශ්‍ය බවද තේරුම් අරගෙන යන විවාහයකි. මෙහිදී සහකරු හෝ සහකාරිය ඉවත් වුවහොත් තැවි තැවී නොසිට ඊළඟ විවාහයකට ගමන් කරන පිහිටීමකි. ශනි මණ්ඩලයෙන් හෘද රේඛාව ආරම්භ වන්නේ නම් ආත්මාර්ථකාමි ආදරයකට පුද්ගලයා තල්ලු කරයි. යුග දිවියේ ආදරණිය හැඟුම් පෙන්නුම් නොකරයි. විවාහය ලිංගිකත්වයම මත පදනම් වේ.

සෑම විටම සහකාරියකගේ හෝ සහකරුගේ වැරදි සොයයි.

හෘද රේඛාව සමහර අත්ලවල කැඩී පිහිටීමට පුළුවන. මෙය හොඳ තත්ත්වයක් නොවේ. ආදර සම්බන්ධතාවල ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් මෙන්ම ක්ෂණික සෞඛ්‍යය දුබලතාවයන් පෙන්වයි. හෘද රේඛාව ශනි මණ්ඩලය යට දී කැඩීම මරණය නිසා ආදර සම්බන්ධතාවල අවසානය පෙන්නුම් කරයි.

ශනි මණ්ඩලය සහ රවි මණ්ඩලය අතර රේඛාව කැඩී ඇතිනම් තමාගේ වරදක් නිසා ආදර සම්බන්ධතාවයෙන් වෙන්වීම සිදු වන බව පෙන්වන පිහිටීමකි.

රවි මණ්ඩලය යට කොටසේදි හෘද රේඛාව කැඩී ඇත්නම් ආදර සම්බන්ධතාවය නිසා උමතු ආකාරයක් ගනී. බුධ මණ්ඩලය යටදි හෘද රේඛාව කැඩීම මුදල්වල ප්‍රශ්නයක් නිසා ආදර සම්බන්ධතාවයට කණ කොකා හඬයි.

එසේම පුද්ගලයකුගේ හෘද රේඛාවේ දූපත් සලකුණු පිහිටීම තහනම් ආදර සම්බන්ධතා ඇති කරගන්නා බවට ඉඟියකි. දූපත ශනි මණ්ඩලය යට පිහිටා ඇත්නම් වකුගඩු සහ වෘෂණ කෝෂ ආබාධද, ගුරු මණ්ඩලය යටදී ඇතිවිට උගුරේ ආබාධ ද ඇතිවේ. හෘද රේඛාවේ දූපත රවි මණ්ඩලය යට නම් හෘදයාබාධ ඇති විය හැකි තත්ත්වයකි.

කතිර සලකුණද හෘද රේඛාවේ පිහිටන්නේ නම් ආදර සම්බන්ධතා නිසා කරදර පෙන්නුම් කරන පිහිටීමකි. කතිරය පිහිටා ඇත්තේ හෘද රේඛාව උඩනම් තමන් ආදරය කරන ළඟම කෙනකුගේ මරණයක් සිදුවන බව පෙන්වයි. තරු සලකුණද හෘද රේඛාවේ පතිත වීම එතරම් හොඳ පිහිටීමක් නොවේ. එම පිහිටීම හෘදයාබාධ නිසා හදිසි මරණයක් බලාපොරොත්තු විය හැකි සලකුණකි.

කෙනකුගේ හෘද රේඛාව දම්වැල් ආකාරයෙන් පිහිටා ඇත්නම් ජීවන ගමනේදි හැල හැප්පීම් බහුලය. හෘදයේ ක්‍රියාකාරිත්වයද ක්‍රමාණුකූල නොවේ. හැඟීම් සමතුලිත නොවේ. ශනි මණ්ඩලය යටදි දම්වැල ඇති විට පුද්ගලයා විරුද්ධ ලිංගිකයන්ට කැමැති නැත. බොහෝ විට එවැනි පිහිටීම් සහිත පුද්ගලයන් සම ලිංගිකත්වයට කැමත්තක් දක්වයි. හෘද රේඛාවේ වර්ණයන්ගෙන් පුද්ගලයන්ගේ සෞඛ්‍යමය කාරණා මෙන්ම ගුණාංගයන්ද හඳුනාගත හැකිය. හෘද රේඛාව සුදු පැහැතිව පිහිටා ඇත්නම් හදවත් රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩිය.

එමෙන්ම ඔහු සංවේදිතාවයෙන් අඩු පුද්ගලයෙකි. රේඛාව රත් පැහැයට හුරු නම් ඔහු මෘග ගතිගුණයන්ගෙන් හෙබි පුද්ගලයෙක් වේ. එම නිසාම මොවුන් ආදර සම්බන්ධතාවලදී හිංසාකාරි ලෙස හැසිරෙන අය වේ.

හෘද රේඛාවේ ප්‍රබලතාවය දුබල වීම රේඛාව කහ පැහැයට හැරී පෙන්නුම් කෙරේ. ආදර සම්බන්ධතාවලදි දුර්වලතාවයක් පෙන්නුම් කරන අතර, පිත් අමාරු ඇති බව පෙන්වන සාධකයකි. ශරීරයේ රුධිර සංසරණයේ අබාධ ඇති වන්නේ නම් හෘද රේඛාව නිල් පැහැයට හැරී සලකුණු වේ.

හෘද රේඛාව අතේ පහළින් ගමන් කරන්නේ නම් සහ එසේ ශීර්ෂ රේඛාවට කිට්ටු වන්නේ නම් හදවත බුද්ධියේ තීරණවලට බලපෑම් එල්ල කරයි එහෙත් රේඛාව ඉහළින් ගමන් කරන

අතර ශිර්ෂ රේඛාව ඉහලට එසවී හෘද රේඛාවට කිට්ටු වී ඇත්නම් බුද්ධිය මඟින් හදවත පාලනය කෙරේ. තද ගති ඇති අදහස් වෙනස් නොකරන හැඟීම්වලට ඉඩ නොදෙන පුද්ගලයකු බිහි වේ.

 

දෛව්‍ය රේඛාව ගැන ලබන සතියේ කතා කරමු.

----------------------------------------

හදිසි ධන ලාභයක් ඔබටත් හිමිද?

මොනයම් වු පලාපල කථනයකදි වුවද වැඩි පිරිසක් අවධානයෙන් යුතුව දැන ගැනිමට ඉදිරිපත්කරන කරුණු අතර ප්‍රමුඛ වන්නේ හදිසි ධනලාභයක් පිළිබඳ වු කාරණාය. මෙහිදී ධන ලාභයක් යන්නට නොයෙක් අර්ථකථනයන් ලබා දිය හැකි වුවද පොදුවේ ගත් කල එය පුද්ගලයකුට ආර්ථිකමය වශයෙන් වාසි සහගත තත්ත්වයකි. එය ලොතරැයි ජයග්‍රහණයක් ආයෝජනයකින් විශාල ලාභයක් ලැබිමක් හෝ භූමියෙන් ලැබුණු මැණික් වැනි වෙනත් ආකාරයක හිමිකමක් වුවද විය හැකිය. කෙසේ වුවත් මෙහිදි පුද්ගලයා තෘප්තිමත් වන අතර එවැනි වූ හිමිකමක් ඇතිද නැතිද යන්න හස්ත රේඛා පරික්ෂාවකින් නිශ්චිතව තීරණය කළ හැකිය. මෙහිදි පුද්ගලයාට ධන ලාභය ලැබෙන වයස ගණනය කිරිම සදහා අංක විද්‍යාව භාවිත කළ යුතුය.

ඕනැම පුද්ගලයකුට ඉහත ආකාරයේ වු ධන ලාභයක හිමිකමක් ඇත්නම් ඔහුගේ හුරු අත්ලේ අදාළ වයසේදි (1) ජිවන රේඛාවෙන් අතු ශාඛාවක් බුධ මණ්ඩලයට ගමන් කර පිහිටා ඇති බව පෙනෙන්නට තිබේ. එසේම එම වයසේ දිම (2) දෛව්‍ය රේඛාවෙන් බුධ රේඛාවක් බුධ මණ්ඩලයට ගමන් කිරිමද දෘශ්‍යමාන විය යුතුවේ. මේ අතරම (3) රවි රේඛාවක් ආරම්භ වී රවි මණ්ඩලයට ගමන් කරන අතර (4) බුධ රේඛාවෙන් රවි මණ්ඩලයට රේඛාවක් ගමන් කිරිම විශේෂයෙන්ම සිදුවේ. මේ ලක්ෂණ 4 න් 2ක් පිහිටා ඇත්නම් ඔහුට හෝ ඇයට එම වයසේදි හදිසි ධනලාභයක් ලැබෙන බව පෙන්වන ලකුණක් වේ. එහෙත් මෙහිදී ඉතා සියුම්ව රේඛා පරික්ෂා කළ යුතු අතර බුධ රේඛාවෙන් රවි මණ්ඩලයට ගමන් කරන රේඛාව මඟින් ආරම්භයේදිම බුධ රේඛාව කැපි ඇත්නම් හදිසි ධන ලාභයක් ලැබුණත් එයින් ප්‍රයෝජනයක් ගත නොහැකි බව පෙන්වන ලක්ෂණයක් බව කිව යුතුය.

තවද එම රේඛාව ශීර්ෂ රේඛාවේ හැපී නතර වන්නේ නම් ඔහු හිතා මතා ගත් තීරණයක් නිසා හිමි වූ ධන ලාභය අහිමි වී යන්නට බොහෝ දුරට ඉඩ තිබේ එම පාඩුව ජිවන රේඛාව කරදර රේඛාවකින් කැපීමෙන් පෙන්වනු ලැබේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.