ඔබ බුද්ධිමතෙක්ද? ශීර්ෂ රේඛාවෙන් බලන්න

පෙබරවාරි 9, 2024

 

පසුගිය සතියේ අත්ලක පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජිවන රේඛාවේ ස්වභාවය අනුව පුද්ගලයකුගේ ස්වභාවය ක්‍රියාකාරිත්වය සහ ඔහුට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් පිලිබඳ සාකච්ජා කළෙමු. අද දින පුද්ගලයකුගේ දිශානතිය පෙන්වන හෙවත් යම් පුද්ගලයෙකුගේ බුද්ධි මට්ටම ඔහු ලෝකය දකින ආකාරය, මානසික තත්ත්වය, ආකල්ප සහ කල්පනා කිරීමේ ශක්තිය ආදි මානසික ක්‍රියාකාරිත්වයන් පිළිබඳ කරුණු අඩංගු ශීර්ෂ රේඛාව ගැන සාකච්ජා කරමු.

අත්ලක පිහිටි ප්‍රධාන රේඛා අතරින් ඉතාම වැදගත් රේඛාවක් ලෙස ශිර්ෂ රේඛාව හඳුන්වා දිය හැකි අතර ගුරු මණ්ඩලයට පහළින් මහපට ඇඟිල්ල අත්ලට සවි වන ස්ථානයත් අතරමැදි කොටසින් ආරම්භව අත්ල හරහා ගමන් කරයි. අනෙකුත් රේඛා සේම මේ රේඛාවද ආරම්භය අවසානය සහ අනිකුත් ලක්ෂණයන් අනුව පුද්ගලයන්ගේ මුලින් සඳහන් කළ තත්ත්වයන් හඳුනා ගත හැකිය. ශිර්ෂ රේඛාව ජීවන රේඛාවට මඳක් ඉහළින් ආරම්භ වන්නේ නම් ඔහුගේ සිතිවිලි සහ වැඩ අතර ගැටුමක් නැතිව සමතුලිතව වැඩ කරන අනුන් පාලනය කිරීමට කැමති ආත්ම විශ්වාසය ඇති පුද්ගලයකු වශයෙන් හඳුනාගත හැකිය. මේ පිහිටීම සමාජ වැඩවලදී මූලිකත්වය ගන්නා දේශපාලකයන් පූජකයන් මෙන්ම නළු නිළියන්වීමට යහපත්ය. නමුත් ශීර්ෂ රේඛාවේ ආරම්භය ජීවන රේඛාව හා ශීර්ෂ රේඛාව අතර පරතරය වැඩි නම් එම පුද්ගලයා අවදානම් වැඩවලට ඇඟිලි ගසයි. අනුවන ආකාරයේ වැඩවලට මැදිහත් වී අනවශ්‍ය කරදර ඇති කර ගනී. මොවුන් කවදාවත් ප්‍රේම සම්බන්ධතාවලින් තෘප්තිමත් වන පුද්ගලයන් නොවේ. ජීවන රේඛාව එක්ව ශීර්ෂ රේඛාව ආරම්භ වන්නේ නම් එවැනි අයෙක් තින්දු තිරණ ගැනීමේදි ප්‍රවේශම්කාරිව කටයුතු කරයි. තමන්ගේ දක්ෂතා ගැන අවතක්සේරුවෙන් කටයුතු කරයි. එසේම ඔහුන් තර්කානුකුලව බුද්ධියෙන් කල්පනා කර ජීවන ගමන සහ සෑම කාර්යයක්ම සකස් කර ගනී. එසේම ශීර්ෂ රේඛාව ජීවන රේඛාව එක්ව ආරම්භ වී ටික දුරක් එක් රේඛාවක් ලෙස ගමන් කර වෙන් වේ නම් සෑම කාර්යයකදී නුවුවමනා පරිස්සමක් ඇති නිසා වැඩ කරනවාට වඩා නොකර සිටීමට පෙලඹේ. ඔහුන්ගේ ආත්ම විශ්වාසය අඩුය.

ශීර්ෂ රේඛාව අත්ලේ කුජ මණ්ඩලයෙන් ආරම්භ වන්නෙ නම් එම පුද්ගලයා වහා කිපෙන අදහස් හා සැලසුම් වෙනස් කරන ඉවසීම අඩු අයෙකි. බොහෝ කටයුතු භාර ගන්නා අතර ඒවා සියල්ල අසාර්ථක කර ගනී. තවද ශීර්ෂ රේඛාව හෘද රේඛාවෙන් ආරම්භ වන්නේ නම් පුද්ගලයා තර්කානුකූල බවට වඩා හැඟීම්වලට මුල්තැන දී කටයුතු කරයි. මැදැඟිල්ල යට ප්‍රදේශයෙන් ආරම්භ වන්නේ නම් ඉතාමත් මුරන්ඩු වන අතර එම නිසාම අසන්තෝෂයෙන් කටයුතු කරයි.

පුද්ගලයකුගේ අත්ලේ පිහිටි ශීර්ෂ රේඛාව වඩා නොගැඹුරුව වඩා පළල හෝ සිහින් නොවී රෝස පැහැයට හුරුව ගුරු මණ්ඩලයෙන් හෝ එකී පහළ සීමාවෙන් ආරම්භව අත්ලේ හතරෙන් තුන් කොටසක් දක්වා ගමන් කරයි නම් එය යහපත් ශීර්ෂ රේඛාවක් ලෙස හදුනා ගත හැකිය. රේඛාව සිහින් කඩතොළු සහ වෙනත් බාධා සහිත නම් අයහපත් ශීර්ෂ රේඛාවක් ලෙස හඳුනා ගත හැකිය. යහපත් ශීර්ෂ රේඛාවක් චන්ද්‍ර මණ්ඩලය දෙසට යම් බෑවුමක් සහිතව පිහිටා ඇති තැනත්තා සත්‍යවාදි අවංක පුද්ගලයෙකි. ප්‍රායෝගික සැලසුම් ඇති අධීක්ෂණයටත් මුදල් ඉපයීමටත් දක්ෂයෙක් වේ. ඔහුට තර්කානුකූලව කරුණු අවබෝධ කර ගත හැකිය. හොඳ සිතීමේ ශක්තියක් ඇත. සිහි බුද්ධියෙන් කටයුතු කරන අතර යහපත් දේම කරන පුද්ගලයකුª බිහි වේ. දුබල ශීර්ෂ රේඛාවක් සහිත පුද්ගලයාට සිත එකඟ කරගෙන වැඩ කිරීමට අපහසුය. යහපත් අදහස් ඇතත් ක්‍රියාත්මක කිරිමට නොහැකිය. යමක් තේරුම් ගැනිමට අපහසුය. ඔවුන්ගේ හෘද රේඛාව ප්‍රබල නම් තීන්දු ගැනීමේදි බුද්ධියට වඩා හදවතට තැන දී කටයුතු කරයි.

ශීර්ෂ රේඛාව අත්ලෙන් භාගයට වඩා දිගින් වැඩිනම් එම රේඛාව දිර්ඝ ශීර්ෂ රේඛාවක් ලෙස හැදින්විය හැකිය. එවැනි රේඛාවක් සහිත පුද්ගලයා විචක්ෂණ බුද්ධියත් ඇති පුද්ගලයෙකි. තැනට සුදුසු ආකාරයට වැඩ කිරිමේ හැකියාවක් ඔහුට ඇත. නමුත් කෙටි ශීර්ෂ රේඛාවක් සෘජුව ඇත්නම් ප්‍රායෝගිකව කටයුතු කරන පුද්ගලයකු බිහිවේ. ඔවුන්ගේ සංවේදි භාවය අඩුය.තර්කාණුකූලව ඔප්පු කරන තුරු කිසිම දෙයක් පිළිගන්නේ නැත. ගැඹුරට සිතීමේ හැකියාවක් නොමැත. නමුත් එම කෙටි ශීර්ෂ රේඛාව වක්‍ර වී නම් තමා සතු අල්ප දැනුමෙන් බොහෝ කටයුතු කරනු ලබයි. එසේ වුවත් අනුන් යටතේ බොහෝ දුරට සේවය කිරීමට සිදුවන පිහිටීමකි. දිර්ඝ ශීර්ෂ රේඛාවක් එකාකාරි වක්‍රයකින් චන්ද්‍ර මණ්ඩලය දෙසට ගමන් කරන්නේ නම් එම පුද්ගලයන්ට ලේඛන කටයුතු මෙන්ම සමාජ විද්‍යාව මනෝ විද්‍යාව සම්බන්ධ කටයුතු සාර්ථක වෙයි. එසේම පර්යේෂණාත්මක කටයුතු මෙන්ම නිර්මාණාත්මක දෙයට මොවුන් කැමැතිය. සංනිවේදන ක්‍ෂේත්‍රයේ රැකියාවන් සුදුසුය. නමුත් රේඛාව චන්ද්‍ර මණ්ඩලයේ පහළ කොටසට ගමන් කරන්නේ නම් මානසික ආබාධවලට ලක්වීමට ඉඩ ඇත.

දම් වැලක ආකාරයෙන් ශීර්ෂ රේඛාව පිහිටා ඇත්නම් පුද්ගලයා නිරන්තරයෙන් මානසික ආතතියෙන් පෙළේ. චංචල මනසක් ඇත. සිතුවිලි එකඟ කරගෙන කටයුතු කිරීමට නොහැකිය. ගැට සහිත ශීර්ෂ රේඛාවක් පිහිටා ඇත්නම් නිදන්ගත ස්නායු ආබාධ හිසේ අමාරු ආදිය ඇති බව පෙන්නුම් කරයි. රේඛාව රතු පැහැයෙන් යුක්ත නම් අධි රුධිර පීඩනය පෙන්වයි. රේඛාව කහ පැහැයෙන් නම් අඩු මානසික තත්වයක් සහ පිත් රෝග ඇති බව පෙන්වන තත්වයකි. රේඛාව රෝස පැහැය සහ කළු පැහැය කලවම් වු වර්ණයකින් යුක්ත නම් එය ප්‍රබල ශීර්ෂ රේඛාවක් ලෙස හැඳින්විය හැකිය.

ශීර්ෂ රේඛාවේ දුපතක් පිහිටීම සුබ ලකුණක් නොවේ. දුපත පිහිටි කාලයම කණගාටු කාලයකි. බොහෝ දුරට මානසික පීඩාවලට ලක්වීම දැකිය හැකිය. දුපත පිහිටා ඇත්තේ රවි (වෙද) ඇඟිල්ල ප්‍රදේශයේ නම් ඇස් පෙනීමේ දුර්වලතා ඇති වේ දුපත ඇත්තේ බුධ ඇඟිල්ල (සුළැඟිල්ල) යට ප්‍රදේශයේ නම් ජිවිතයේ අවසාන කාලයේ මානසික ආබාධ ඇතිවන බව පෙන්වන සලකුණකි. රේඛාවේ තරු සලකුණක් පිහිටීම බරපතළ තත්ත්වයකි හදිසි අනතුරු නිසා හිසේ තුවාල සිදුවිය හැකිය. මෙහිදි අත් දෙකම පරික්ෂා කළ යුතුය. අත් දෙකෙහිම එකම ස්ථානයෙහි පිහිටා ඇත්නම් මරණය සිදුවිය හැකිය. කතිරයද ශීර්ෂ රේඛාවට අසුබ ලකුණකි. කතිරය රේඛාවේ පිහිටි ස්ථානය අනුව අනතුර සිදුවන ස්වභාවය වෙනස් වේ. කවයක් රේඛාව මත පිහිටියේ නම් ඔහුට සාමකාමි මනසක් නැත. දරුණු හිසේ රදයක් ඇතිබව පෙන්වන සලකුණකි. කෙටි හරස් රේඛාවක් පිහිටා ඇත්නම් රැකියාවේ හෝ මුදල් ප්‍රශ්න නිසා ජීවන ගමනට ඇතිවන බාධා පෙන්වන අසුබ පිහිටීමකි. රේඛාව පිහිටා ඇත්තේ කෑලි කැඩුණු ස්වභාවයෙන් නම් ජීවිත කාලය පුරාම ගන්නා වැරදි තීන්දු ගනී. මෙය සිදු වන්නේ යහපත් කල්පනාවක් නොමැතිකම නිසාය. අත් දෙකෙහිම ශනි මණ්ඩලය යටදී ශීර්ෂ රේඛාව දෙකට කැඩි ඇත්නම් හිසට සිදුවන අනතුරු නිසා මරණය සිදුවිය හැකිය. මෙහිදි දෛව්‍ය රේඛාවද පරික්ෂා කළ යුතුය. එහෙත් කැඩුණු ස්ථානය සමචතුරස්‍රයකින් ආවරණය වී ඇත්නම් කිසිදු හානියක් සිදු නොවේ. පවුලේ අර්බුද නිසා ළමා කාලය කරදරකාරිව ගෙවන පිහිටීමක් ලෙස ජීවන රේඛාව සහ ශීර්ෂ රේඛාව කතිර ලකුණකින් සම්බන්ධ වීම දැක්විය හැකිය.

පුද්ගලයෙකුගේ ශිර්ෂ රේඛාවේ පිහිටීම අනුව ඔහු අතින් මනුෂ්‍ය ඝාතනයක් සිදුවිය හැකි බවද නිගමනය කළ හැකිය. මිනීමැරුම් සිදුවන ආකාර තුනක් අත්ලෙහි සටහන් වේ. වෛරය, සරාගික භාවය හෝ හදිසි කෝපය පදනම් කරගත් ආවේගශිලි මිනී මැරුම් මුලික අතකට සමාන අත් ප්‍රභේදයක් සහිත ශීර්ෂ රේඛාව ඉතා කෙටි ඝනකම් රත් පැහැති නිය කෙටි සහ රතුපාට ගොරෝසු බර අත්ලක් සහිත මහපට ඇඟිල්ල ඉතා පහළින් පිහිටි මහපට ඇඟිල්ලේ දෙවැනි පුරුක කෙටි සහ ඝනකම් සහ මහපට ඇඟිල්ලෙහි පළමු පුරුක මුගුරාකාර කෙටි පළල් හතරැස් වේ. මුදල් හා ද්‍රව්‍ය ලබාගැනීමේ අරමුණින් කරන මිනී මැරුම් සඳහා තදින් සලකුණු වුණූු ශිර්ෂ රේඛාව අනිකුත් සාධක සහිතව අත්ලෙහි ඉහළට ගමන් කිරීම දැකිය හැකිය.

අනුකම්පා විරහිත මිනිමැරුමකදි අනිකුත් සාධක සහිතව ශිර්ෂ රේඛාව සාමාන්‍ය මට්ටමට වඩා ඉහළින් පිහිටයි. සමාජයේ මුලු ගැන්වුණ ඉතාමත් දක්ෂ පුද්ගලයන් ඔබ කොතකුත් දැක ඇති. ඔවුන් ඔවුන්ගේ දක්ෂකම්වලින් ප්‍රයෝජනයක් ගැනීමට ඉදිරියට පැමිණෙන්නේ නැත. හොඳින් නිරීක්ෂණය කළහොත් ඔවුන් යම්කිසි දෙගිඩියාවකින් පස වනු දැකිය හැකිය. මෙවැනි පුද්ගලයන්ගේ අත්ලෙහි ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයට ඒකාකාරි වක්‍රයක් ගන්නා අතර රේඛාව කෙටි ඉරකින් කැපි ඇති බව පෙනේ. ඔවුන් සිතින් මවා ගන්නා ප්‍රමාණය වැඩිය. බොහෝ දුරට සිහින ලෝකවල ජීවත් වේ. එසේම නිතරම කනගාටුවෙන් පසුවේ.

(ලබන සතියේ හෘද රේඛාව ගැන කතා කරමු.)

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.