ටී වී එකෙන් කේන්දරයේ ගුණාගුණ කිව හැකිද?

පෙබරවාරි 9, 2024

අප ජීවත් වන ලෝකයේ දවසින් දවසට කිසියම් හෝ අලුත් දෙයක් සොයා ගන්නවා. ඒක යහපත් ක්‍රියාවක්. මේ ඕනෑම සොයා ගැනීමක ඉතා භයානක නරක පැත්තකුත් තිබෙනවා. අපි හැම දෙනාම ඒ භයානක නරක පැත්ත ගැන නොබලා යහපත් පැත්ත ගැන බැලුවොත් අපටත් සමාජයටත් සුබ අනාගතයක් උදාවන බව අනිවාර්යයි.

උදාහරණ ඕනෑ තරම් දිය හැකි මුත් විශේෂයෙන් ජංගම දුරකතනය, ගුවන්විදුලි නාළිකාවන් වනවා. කැල්කියුලේටරය ද එසේමයි. අපි කැල්කියුලේටරයට පමණක් පුරුදු වුණොත් සමහර විභාගවලට ඒක අරගෙන යන්ට අවසර දෙන්නෙ නැහැ. ඒ අවස්ථාවට අපි අසරණ වනවා. එහෙත් මේ කිසිම එකකටවත් නොදෙවෙනි වන අපේ මොළය දියුණුූ කළා නම් ඔය එක තහංචියකටවත් යටත් වන්නෙ නැහැ. ඉපැරැණි දියුණුූ මිනිහා ඡ්‍යොතිෂය ඉගෙන ගන්නේ කටපාඩමෙන්. මූලිකව පන්සල්වල පෙළපොත් අකුරු කළා. සකස්කඩ – බුද්ධගජ්ජ්‍යය පොත් කියැව්වා. දිව හසුරුවා ගන්ට පාලි ටිකකුත් කළා. ඒ නිසාම ශ්ලෝක ගාථා නිවැරැදි උච්චාරණය හැකි වුණා. ඒ නිසාමයි කිව්වේ ‘සකස්කඩ නොකිව් කට – උගේ කට හුඹස් කට’ කියලා. දැන් ඉන්න අයට ශ්ලෝක උච්චාරණය කෙසේ වෙතත් ඒවා දන්නෙවත් නැහැ. ඡ්‍යොතිෂයේ ප්‍රබල මාධ්‍යයක් තමයි ශ්ලෝක ගාථා. ඡ්‍යොතිෂය කරන බොහෝ දෙනකුට ඒකම බැහැ. එකෙන්ම වැටහෙනවා පුංචි කාලේ සිට නොකළ බව. ව්‍යාපාරික ඡ්‍යොතිෂ මහත්තුරුත් නැත්තේම නෑ.

විශේෂයෙන්ම කියන්න ඕනෑ මේ සටහන ලියන්නෙ කිසිම කෙනකුට කිසිම අපහාසයක් හෝ කිසිම පහරක් ගැසීමට නොවේ. ඡ්‍යොතිෂය තවදුරටත් රැක ගැනීමේ හුදු අරමුණින්මයි. අද ඡ්‍යොතිෂයට තිබෙන තත්ත්වය දැකලා. අපි දැකල තිබෙනව ඡ්‍යොතිෂවේදීන් එක එක නාළිකාවලින් ඔබව අමතනවා. විශේෂයෙන් උදේ වරුවේ ඔබ ඉපදුණ වෙලාව දිනය දුන්නම ලග්නය කියල ගුණාගුණ කියනවා. විනාඩියක්වත් යන්නෙ නැහැ. හරියට දිව්‍ය ඥානයෙන් කියනව වගේ. බොහෝ දුරට ඒ අහන්නෙ එයාගේම අයයි. මේක හරියට මොනර නැටුමක් වගේ. ඌ දන්නෙ නැහැ ඌට වැටහෙන්නෙ නැහැ පිල් විදහ නටන කොට උගේ පස්ස පැත්ත එළියේ නේද? කියලා. පරිගණකයෙන් නිවැරැදිවම ගුණාගුණ කියන්ට බැහැ. මේෂ ලග්න හිමි සෑම කෙනෙකුට එකම ගුණාගුණ පිහිටන්නෙ නැහැ. ඔබට නොපෙනුණත් ඒ ලග්නයවත් කියන්නෙ ඡ්‍යොතිර්වේදියා ඉදිරියේ සඟවා තිබෙන පරිගණකයේ දත්ත දිහා බලලා. පරිගණකයට පොදු දත්ත විතරයි කවන්න පුළුවන්. බොත්තම ඔබපුවාම පොදු විස්තර විතරක් පෙනෙනවා. ඒවා සූක්ෂ්ම නැහැ. දරුවෙක් ඉපදුණාම දොස්තර මහතා සාමාන්‍යයෙන් වාට්ටුවේ නැත්නම් එයාගේ අත් ඔරලෝසුවේ වෙලාව දෙනවා. හෙදි නෝනා බබා ගත්ත නම් ලැබෙන්නෙ ඇයගේ වෙලාව. සමහර අය බබා අඬන වෙලාව දෙනවා. ඒවා නිවැරැදි නොවන බව අවබෝධ වනවා ඇති. කිසියම් රාශියක ග්‍රහයෙක් පතිත වූ පලියටම මේ රාශිය තුළම රස්නය ගහනවා කියල කියන්න බැහැ. මේ එක රාශියක මහත අංශක 30 යි. හරියට දෙපැත්තට මේ ග්‍රහයාගේ රස්නය ලැබෙන්න නම් හරියටම අංශක 15 හිටින්නට ඕනෑ. අපි හිතමු මේ ග්‍රහයා අංශක 28ක් පසු කර ගෙන ගිහිල්ලා කියල එතකොට වැඩිපුර රස්නය දෙන්නෙ ඊළඟ රාශිය වන වෘෂභය මිස මේ රාශියට නොවේ. ඒක ගුණාගුණ කියන කොට සැලකිල්ලට ගන්ට ඕනෑ. ලග්නයට වඩා නවාංශකයෙන් පලාඵල කීම සූක්ෂ්මයි. මොකද නවාංශකය කියන්නෙ ලග්නය නමයෙන් බෙදල එන රාශියයි. නවාංශකයත් ශ්ලෝකයෙන් සොයා ගන්න ඕනෑ.

(මේෂ මුර්ගේන්ද්‍රා ධනූර් අජාදි කියන ශ්්ලේකයෙන්) පැරණි පාරම්පරික ඡ්‍යොතිර්වේදියා පරිගණක පාවිච්චි කළේත් නැහැ. ඒ කාලේ තිබුණෙත් නැහැ. නමුත් අදට වඩා අකුරටම ප්‍රතිපල කිව්වා. මේ මෑතකදී හමුවූ යන්ත්‍ර නිසා ශාස්ත්‍රය ටිකක් පසුබැස්සා කියල මට දැනෙනවා. එහෙනම් පරිගණකය වැඩක් නැද්ද? මේ ඊළඟ ප්‍රශ්නය පැන නඟිනවා. හොඳයි බොහොම ලොකු වැඩවලට උදව් කරනවා කියල වගකීමෙන් කියනවා. විශාල මෙහෙයක් කරනවා. ඒත් ඡ්‍යොතිෂ්‍ය පලාපල කියන්ට බැහැ කියලයි කියන්නේ. අනික් කාරණය තමයි එක එක ක්ෂණික ගුරාලා බිහිවෙලා. හරියට හතු පිපෙන්නා වගේ. ඡ්‍යොතිෂ පොතක් දෙකක් බලලා කියැව්වට, පන්තියකට දෙකකට ගියාට, පෞද්ගලික ආයතනයකින් සම්මානයක් ගත්තට ඡ්‍යොතිෂය කරන්ට බැහැ. ඒක ජනතාව මුළාවේ දැමීමක්. එක්තරා ආයතනයකින් මට සම්මාන සහතිකයක් ලැබුණේ ඒ ආයතනයට මම අවුරුදු 10කට 15කට වඩා ඡ්‍යොතිෂ ලිපි ලිව්වට පස්සෙ, මගේ දැනීම තක්සේරු කරලා.

නමුත් ලංකාවේ මුදලට සහතික දෙන ස්ථාන තිබෙනවා. මේ විදියට මේ අය පලාපල කිව්වාම දෙපාර්ශ්වයම පරදිනවා. මම දන්නා ආචාර්යවරයෙක් ඉන්නවා. සතියකට ශාඛා 8ක වැඩ කරනවලු. කොහොම කරනවද මටම තේරෙන්නෙ නැහැ. විශ්ව කර්මයා ද නැත්නම් එයාගේ ඥාති පුතෙක් ද දන්නෙ නැහැ.

මම දන්නා තරමින් කිසිම නාළිකාවක ඡ්‍යොතිෂය සම්බන්ධව කරුණු පහදන්න ප්‍රසිද්ධ අය නොමිලේ ගෙන්වන්නෙ නැහැ. ඔවුන් නාළිකාවට මුදල් ගෙවලා එනවා මිසක්. එහෙනම් ඒ කරන්නෙ මුදල් ගැරීමක්.

පුංචි කාලෙ සිටම දුක සේ ඉගෙනගත් මේ ශාස්ත්‍රය පිරිහෙනව දකින්න දුකයි. ඡ්‍යොතිෂය මුදල් ගරන එකක් නොවේ. තුනක් බැලුවොත් එකක් නොමිලේ කිව්වේ දෙකකට මුදල් ගන්නව කියන එකනේ. මොනවද මේ බිස්නස්. එදා ඉඳලම පුවත්පත්වලට ඡ්‍යොතිෂ ලිපි ලිව්වේ කිසිම මුදලක් දීලා නොවේ. ඒ ආයතන මුදල් අපට දුන්නා හැරෙන්න. එක කාලයකට ඡ්‍යොතිෂ කඩ වැහි වහිනවා.

සමහර ඡ්‍යොතිර්වේදින් ඉන්නවා බුද්ධාගමේ අත්හැරීම පදනම් කරගෙන පලාපල කියනවා. පින ගැනම කතා කරනවා. අත්හැරීම කතා කරන අයත් භාවිත කරන්නේ සුඛෝපභෝගී යාන වාහන. තව එකක් කියන්නට ඕනෑ. මේ රටේ නිවැරැදිව ඡ්‍යොතිෂය කරන අය නැතුවා නොවේ. ඔවුන් ප්‍රසිද්ධියට වැඩ කරන්නෙ නැහැ. සමහර අය කේන්දරය බලලා ගෙදර තිබෙන යක්ෂ, ප්‍රේත, උවදුරු හිටන් කියනවා. මුදල් ලැබෙනව නම් දරුවො වගේ ආදරයෙන් රැකගෙන ආ ශාස්ත්‍රය පවා විකුණනවා. අපට ඒවා නවත්වන්න බැහැ. ඔබ ප්‍රවේශම් වන්න.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.