තේජෝ ආපෝ වායෝ පඨවි උත්පත්ති හඳුනා ගනිමු

පෙබරවාරි 9, 2024

 

පසුගිය ඉභිනනාසු හතරවන කොටසේදී පලාපල විචාරයක් ලබා දීමට උත්පත්ති දක්ෂිණාවෘත රාශි කුණ්ඩලියක් පරීක්ෂා කිරීම පිළිබඳව දළ අවබෝධයක් ලබා දෙන ලදී.

එහිදී එක් දත්තයක් වශයෙන් ගුප්ත ත්‍රිකෝණය පිළිබඳව ද හඳුන්වා දෙන ලදී. රාශි කුණ්ඩලියක ගුප්ත ත්‍රිකෝණ හතරක් ඇත.

තේජෝ ත්‍රිකෝණය – මේෂ රාශිය මූලික කරගෙන තේජෝ රාශි සම්බන්ධ වන්නාවූ ගුප්ත ති‍්‍රකෝණය

ආපෝ ත්‍රිකෝණය – කටක රාශිය මූලික කරගෙන ආපෝ රාශි සම්බන්ධ වන්නාවූ ගුප්ත ත්‍රිකෝණය

වායෝ ත්‍රිකෝණය – තුලා රාශිය මූලික කරගෙන වායු රාශි සම්බන්ධ වන්නාවූ ගුප්ත ත්‍රිකෝණය

පඨවි ත්‍රිකෝණය – මකර රාශිය මූලික කරගෙන පඨවි රාශි සම්බන්ධ වන්නාවූ ගුප්ත ත්‍රිකෝණය

මෙවැනි ගුප්ත ත්‍රිකෝණයක් සහිතව උපදින ජන්මීන් ජීවන ගමනේ ඉහළට ගමන් කරන්නාවූ සංසාර ගමනේදී පෙර පින් සිදු කළ භාග්‍යවන්තයින් ලෙස සලකා ඉභිනනාසු සම්ප්‍රදායේදී ඡ්‍යොතිෂ විග්‍රහයක් සිදු කළ හැකිය. එවැනි ජන්මීන් කිහිප දෙනෙකුගේ පමණක් උපන්දින ග්‍රහ සටහන් ඉදිරිපත් කරනු ලබන අතර, ඔබද එවැනි නිදසුන් ජන්ම පත්‍ර එකතු කරමින් පර්යේෂණ චාරිකාවකට සූදානම් වන්න.

තේජෝ ත්‍රිත්ව උත්පත්තියක්

අංක 13 දරන රූපසටහන

අංක 13 දරන සටහනේ ඇති මේ ජන්ම දින ග්‍රහ සටහන 1929.09.25 වෙනි දින උපත ලැබූ සුමනදාස සමරසිංහ මහතාගේය. එතුමා “ඉරණම” නමින් ලංකාවේ පළ කළ ඡ්‍යොතිෂ පුවත්පතක කතුවරයා විය. ඉභිනනාසු සිද්ධාන්තයක් සනාථ කෙරෙන නිදසුනකි. කුජ හිමි මේෂ රාශියත්, රවි හිමි සිංහ රාශියත්, ගුරු හිමි ධනු රාශියත් පාදක කරගෙන රාහු, ශුක්‍ර, ශනි තැන්පත් වීමෙන් මේ සටහනෙහි එකී ත්‍රිත්වය ගොඩනැඟී ඇත.

ආපෝ ත්‍රිත්ව උත්පත්තියක්

අංක 14 දරන රූප සටහන

අංක 14 දරන රූපසටහනින් 1907.02.16 වෙනි දින උපත ලබන ලද කොල්වින් ආර්. ද සිල්වා පාර්ලිමෙන්තු අමාත්‍යවරයාගේ උත්පත්ති ජන්ම දින සටහනයි. ඔහු දක්ෂ නීතිඥවරයෙකුද විය. මෙයද ඉභිනනාසු සිද්ධාන්තයක් සනාථ කරන ජන්ම පත්‍රයකි. සඳු හිමි කටක රාශිය මූලික කර ගෙන වෘශ්චික සහ මීන යන ජල රාශි ද සම්බන්ධ වී මෙකී ආපෝ රාශි ත්‍රිකේණය බිහි වී ඇත. රාහු, කුජ, චන්ද්‍ර යන ග්‍රහයින් ඊට සම්බන්ධ වී ඇත.

මෙවැනි උදාහරණ නෙත ගැටීම තුළින් මෙම සිද්ධාන්තය ඔබට අමතක නොවන අතර, නව උත්පත්තීන්වලටද ගළපා පලාපල නිකුත් කිරීමට යොදා ගැනීමටද කල්පනාවට ගත යුතුයි.

වායෝ ත්‍රිකෝණ උත්පත්තියක්

අංක 15 දරන රූප සටහන

අංක 15 දරන සටහනෙන් 1942.09.15 දින උපත ලැබූ එමර්සන් මනන්ගග්වා ජනාධිපතිවරයාගේ උත්පත්ති දින මීනාදී දක්ෂිණාවෘත ග්‍රහ රාශි කුණ්ඩලියයි. සිම්බාබ්බේ උප ජනාධිපතිවරයා වී සිටි මොහු 2017.11.24 වෙනි දින සිම්බාබ්බේ ජනාධිපති ලෙස කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් වශයෙන් දිවුරුම් දුන්නේය. තුලා රාශිය ප්‍රමුඛ කරගෙන කුම්භ සහ මිථුන යන වායු රාශි තුළින් චන්ද්‍ර, කේතු, ගුණ මඟින් ත්‍රිකෝණය නිම වෙයි.

පඨවි ත්‍රිකෝණ උත්පත්තියක්

අංක 16 දරන රූප සටහන

අංක 16 දරන රූප සටහන මඟින් බරණැස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයක් හොබවන ලද අතිපූජ්‍ය පරකන්දෙණියේ ධම්මවංශ ස්වාමිපාදයාණන් වහන්සේගේ උත්පත්ති ජන්ම ග්‍රහ සටහනයි. ප්‍රධාන පඨවි රාශිය වන මකරය මූලික කරගෙන වෘෂභ, කන්‍යා, සම්බන්ධ කර රවි, ගුරු, කුජ කල්‍යාණ මිත්‍ර ග්‍රහයින්ගෙන් ත්‍රිකෝණය පරිපූර්ණ වෙයි.

අංක 17 දරණ රූප සටහන

2024.01.01 දින උපත ලැබූ කෙනෙකුගේ ජන්ම ග්‍රහසටහන උදාහරණ ලෙස පාදක විය. ගුරු චන්ද්‍ර, රවි – කුජගෙන් තේජෝ ත්‍රිකීණ බල ජන්ම ග්‍රහ සටහනකි. ඉභිනනාසු ඡ්‍යොතිෂ විචාරයකට ඔබට දළ අවබෝධයක් ලැබුණා නේද? විශ්ව ඥානය උදව් කරාවි.

කෙසේ වෙතත් ඔබ දැන් තම තමන්ගේ උත්පත්ති සටහන පරීක්ෂා කර බලාවි. තමන්ටද එවැනි ගුප්ත ත්‍රිකෝණයක් නොමැති බවට මැසිවිලි නැඟේවි. එහෙත් පරාජික හැඟීමක් ඇතිකර ගන්න එපා. ඒ මන්ද යත් ගෝචර ගුප්ත ත්‍රිකෝණගත ඔබව ඉහළට ඔසවා ගන්නා අයුරු ඉසිනානානු පෙන්වා දෙයි.

අංක 18 දරන රූපසටහන

අංක18 දරන 1956.05.15 උත්පත්ති දින ග්‍රහ සටහන බලන්න. ද්විත්ව රේඛාවන්ගෙන් ඇතුළත එය දක්වා ඇත. එහි ගුප්ත ත්‍රිකෝණයක් නොමැති බවද ඔබට පෙනේ. එසේ වන්නේ වී නමුත් 2023.10.30 දින පෙ.ව. 05.42 ට රාහු මීනයටද කේතු කටකයට ද පසු බැස්සේය.

ඒ නිසා රාත්‍රියේ සිට ගුරු – චන්ද්‍ර දෙදෙනා සහ ශනි – රාහු සම්බන්ධ කර ගෙන ගුප්ත ත්‍රිකෝණයක් නිර්මාණය විය. තවද ගෝචර වෙන්නකුගේ සිට උත්පත්ති කේතු, රවි, බුධ සහ කුජ සම්බන්ධ කරගෙන තවත් ගුප්ත ත්‍රිකෝණයක් මතු විය.

එමෙන්ම 2025.05.18 වෙනි දින රාත්‍රී 07.31ට රාහු ග්‍රහයා කුම්භයටද කේතු ග්‍රහයා තුලාවටද පසු බැසීමට නියමිතය.

මේ අනුව මොහුගේ දිවිගමන ඒකාන්ත වශයෙන්ම ප්‍රබල පරිවර්තනයකට ලක්වන්නේය. රාහු නිසා හිතුවක්කාරි තීරණ මෙන්ම ස්ථාන වෙනස්වීම් සිදු වෙයි. කේතු ග්‍රහ බලපෑම නිසා ධාර්මික මෙන්ම ආගමික පසුබිම්ද සම්බන්ධීකරණය වෙයි.

ඔබ අංක 18 දරන සටහන් වෙන් වෙන් ලෙස කුණ්ඩලි සකසමින් ත්‍රිකෝණ බලයද යොදවමින් මෙකී කරුණු අවබෝධ කර ගන්න. ඉදිරියේ ප්‍රබල අනාවැකි ප්‍රකාශ කිරීමේ ශක්තිය ලබා දෙන පෙර සූදානමද මෙය වන්නේය. තවද මෙහිදී වඩාත් වැදගත් වන්නේ

01 උත්පත්ති ගුප්ත ත්‍රිකෝණ බලය

02. ගෝචර ගුප්ත ත්‍රිකෝණ බලය වටහා ගැනීමයි.

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම

පුරාණ විහාරයේ

 

තලගහ සද්ධානන්ද හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.