ඔබේ ලග්නය වෘෂභ නම් උපතේ සිට මරණය දක්වා මෙසේ සිදු විය හැකිය

පෙබරවාරි 9, 2024

ගවයකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා විසිතුනකින් සමන්විතය. කැති නැකතේ පාද තුනක්ද, ඝටාකාර තරු පහකින් ද සැදුම් ලත් රෙහෙණ නැකතද, මුව හිසකට සමානව පිහිටි තරු තුනකින් සමන්විත මුව සිරස නැකතේ මුල්පාද දෙකද මෙයට ඇතුළත් වේ. රාශි චක්‍රයේ දෙවැන්න වෘෂභයයි. වෘෂභය පඨවි හෙවත් තද ගතියෙන් යුතු රාශියකි. ලග්නාධිපති ග්‍රහයා වනුයේ සිකුරුය. සිකුරු ග්‍රහ මඬුල්ලේ මනාලිය ලෙස සැලකේ. එහෙයින් වෘෂභ ලග්නයෙන් උපන් අය අලංකාරයට ආදරයට මුල්තැනක් දෙයි. නිතරම පිරිසුදුවටත්, ලස්සනටත් සිටීමට ඔවුහු වඩාත් පි‍්‍රයතාවයක් දක්වති.

වෘෂභ ලග්නයෙන් උපන් අයගේ මුහුණ වටකුරුය. තොල් පළල්ය. කන්දෙක තරමක් විශාල වන අතර, නළල පළල් බවක් පෙන්නුම් කරයි. දත් පෙනෙන සේ හඬ නගා සිනාසීම ඔවුන්ගේ විශේෂ ලක්ෂණයකි. අඟපසඟ මනාව ලස්සනට පිහිටා ඇත. මහත් වූ බෙල්ලකට හිමිකම් කියන පිරුණ උරහිස් තලයකින්ද යුක්තය. කම්මුල් සහ මුඛය පිරුණ බවක් පෙන්වයි.

වෘෂභ ලග්නයෙන් උපදින අය උතුම් ගතිගුණ ඇති ගුණවත් ඇත්තෝය. යුද කටයුතුවලට කෝලාහල කිරීමටද පි‍්‍රය අය වේ. පරිත්‍යාගශීලි බව කැපී පෙනෙන අතර, වියදම් කිරීමටද සූරයෝය. ඉක්මනට කෝප වෙති. තමා ගත් දැඩි තීරණයේම එල්බගෙන සිටීම ඔවුන්ගේ විශේෂ ලක්ෂණයකි. සුළු සිද්ධියකින් පවා ඔවුහු මහත් කැළඹීමකට හා බියට පත්වෙති. සුළු සිද්ධියක් විශාල සිද්ධියක් ලෙස සිතීමට ඔවුහු පුරුදු වී සිටිති. උසස් ඉගෙනීමක් ලබා උසස් තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත. මොවුන් ඉතා ඥානවන්ත බැවින් ඕනෑම ගැටලුවකට පිළිතුරු දීමට සමත්ය. හොඳ ඉගෙනීමක් ඇති නමුත් උඩඟු ගතියක්ද පෙන්නුම් කරයි. අන් අයට සංග්‍රහ කිරීමට වඩා කැමති වේ. තම බිරිඳට හෝ සැමියාට ඉතාමත් ආදරය කරයි. වස්තුව රැස්කිරීමටද වඩා උනන්දු වෙති. දක්ෂ කථිකයන්, පණ්ඩිතයන්, පොත්පත් කතුවරුන්, ශිල්පශාලා හා මුද්‍රණශාලා හිමිකරුවන් ආචාර්ය පදවි ලැබූවන් බොහෝවිට මේ ලග්නයෙන් උපත ලැබූ අය වෙති. තමන්ගේ අදහස අනුව කටයුතු කරනවා හැරෙන්නට අන් අයගේ අදහස් අනුව කටයුතු කිරීමට වෘෂභ ලග්න හිමියෝ අකමැතිය. තමා දන්නා අයෙකු සේ හැමවිටම සිතීම ඔවුන්ගේ දුර්වලකමකි. ඔවුන්ගේ සිතිවිලි ලෞකික පැත්තටම බර වේ.

කෘෂිකර්මය, ඉංජිනේරු ශිල්පය, හෝටල් පරිපාලනය, නීතිය, සත්ත්ව විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, ගෘහ නිර්මාණ ශිල්පය ආදියට වෘෂභ ලග්න හිමියෝ විශේෂ කුසලතා දක්වති.

වෘෂභ ලග්න හිමි කාන්තාවන් මනාලියන් හඬ ගැන්වීම, මල්කලාව, ගෙතුම් ශිල්පය ආදියට දැඩි රුචියක් පෙන්වති.

සදාචාර සම්පන්නව හැදුණ වෘෂභ ලග්න හිමියෝ හොඳ කල්‍යාණ මිත්‍රයෝය. ස්ථිර අදහස් උදහස් ඇති, නොසැලෙන, ප්‍රතිපත්තිගරුක උසස් අදහස් ඇත්තෝද වෙති. වෘෂභ ලග්න හිමියන් ස්වභාවයෙන්ම වෙළෙඳාමට හා කෘෂිකර්මයට දක්ෂ මෙන්ම හොඳ කාර්ය සංවිධායකයන් වීමටත්, දේශපාලනඥයන් පාලකයන්, නායකයන් බවට පත්වීමට ද හොඳ පිහිටීමකි. දුර පෙනෙන ඥානයකින් යුත් මෙවැන්නෝ ගුප්ත ශාස්ත්‍ර, වෛද්‍ය ශාස්ත්‍ර හැදෑරීමටත් ආශා කරති.

වෘෂභ ලග්නයෙන් උපන් අය බොහෝ විට කැමති වන්නේ ආදරය මුල්කරගත් විවාහයකටය. සමහරු පාසල් යන සමයේදී පවා පෙම් සබඳතාවල පැටලෙති. පෙම් සබඳතා කීපයක පැටලීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය. පාසැලේදී ඇතිකරගත් පෙම් සබඳතා බොහෝවිට විවාහයෙන් කෙළවර වෙයි. විවාහයේදී සිකුරු, කුජ, සඳු ප්‍රබල තැනක් ගනී. ඒ අනුව වෘෂභ ලග්න හිමියන් අධික කාමුක බවකින් යුක්තය. ලෝකෝත්තර සැපයට වඩා ලෞකික සැපය අගය කරති. යහපත් ග්‍රහයෝග පිහිටි වෘෂභ ලග්න හිමියන් හට මැති, ඇමති තනතුරු පවා ලබා ගැනීමට වාසනාව ඇත.

වෘෂභ ලග්න හිමියන්ට විවාහයට සුදුසුවන්නේ වෘෂභ, කන්‍යා, මකර, යන රාශිවලින් උපන් තරුණ තරුණියන්ය. තමන්ට නොගැළපෙන සහකාරියක් ලැබුණොත් ඇයගෙන් වෙන්වීම ඔහුට සාමාන්‍ය දෙයකි. ඒ ගැන ඔහුට පසුතැවීමක්ද නැත. වෘෂභ ලග්නයෙන් උපන් කාන්තාවෝ බොහෝවිට කැමති වන්නේ ව්‍යාපාරිකයන් සමඟ විවාහ වීමටය. එයට හේතුව ඔවුන්ගේ ජීවිතයේදී ලෞකික හා භෞතික යහපත වැඩි වශයෙන් බලාපොරොත්තු වන බැවිනි. මේ නිසා ඔවුහු ආදායමට වඩා විවිධ ඇඳුම් ආභරණ සඳහා වියදම් කිරීමට යෑමෙන් බොහෝ විට තම සැමියාගේ දෝෂදර්ශනයට ලක්වෙති. මේ නිසා විවාහ ජීවිතයේ සමගියට බාධා ඇතිවෙයි. අන් අයගේ මතයට ගරු නොකිරීමද ඔවුන්ගේ දුර්වලකමකි.

වෘෂභ ලග්න හිමියන්ට වයස අවු. 40න් පසු වායු, සෙම්, පිත් එකසේ බලපායි. අලුයම සහ සවස් භාගයේ නෑම සෙම් රෝග මතුවීමට හේතු වේ. නිරාවරණ හිසින් යුතුව තද අව්වේ යෑම ඔවුන්ට හිතකර නොවේ. හිසේ රෝග, බෙල්ලේ රෝග, ඇදුම පපුවේ රෝග ආදිය වෘෂභ ලග්න හිමියන්ට පහසුවෙන්ම වැලඳීමට පුළුවන.

වෘෂභ ලග්න හිමියන්ට ප්‍රධාන බාධක ග්‍රහයින් වන්නේ සඳු, සිකුරු හා ගුරුය. මෙම ග්‍රහයන්ගේ පිහිටීම අනුව ආයුෂ තීරණය වේ. ප්‍රධාන බාධක ග්‍රහයා වන්නේ ගුරුය. ගුරුමහ දශාවේ හෝ අතුරු දශාවේදී මාරක අනතුරු සිදු විය හැකිය. සතුන්ගෙන්, ජලයෙන්, සෙම් රෝග වැලඳීමෙන්ව උගුරේ ඇතිවන රෝගයකින්, රථවාහන ආදියට යටවීමෙන්, ආයුධ පහර ලැබීම් වැනි ක්‍රියාවලින් උපන් ගමෙන් පිටතදී යම් දිනක මරණය සිදුවිය හැකිය. අපල උපද්‍රව සඳහා ආරක්ෂක මන්ත්‍රවලින් ජපකරන ලද දියමන්ති මැණික් ගලක් පැලඳීම ඉතා සුදුසුය. සෙනසුරාදා, බදාදා, සිකුරදා යන දිනයන් වෘෂභ ලග්න හිමියන්ට ශුභ දිනයන් වේ. වර්ණ වශයෙන් කොළපාට සහ සුදුපාට ශුභය. 5,6,8 ශුභ දායක අංක වේ.

 

(මීළඟට මිථුන ලග්නය ගැනයි...)

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.