අත්ලේ මණ්ඩලවලින් ඔබේ ගතිගුණ හඳුනා ගන්න

ජනවාරි 26, 2024

 

හස්ත රේඛා පරික්ෂාවේදි හස්ත ලක්ෂණ අතරින් අත්ලේ මණ්ඩලවලට සුවිශේෂ වූ වැදගත් කමක් හිමි වන්නේ පුද්ගලයකුගේ බුද්ධි මහිමය, ශරීර ශක්තිය, සංවිධාන ශක්තිය, මානසික ක්‍රියාකාරිත්වය, සහජ දක්ෂතා, යටිසිත, ආකල්ප ආදි කරුණු පිළිබද පූර්ණ අවබෝධයක් අත්ලේ මණ්ඩල පරික්ෂා කිරීමෙන් ලබාගත හැකි බැවිනි. එම නිසා අත්ලේ මණ්ඩල පිළිබඳ පැහැදිලි අවබෝධයක් අප තුළ තිබිය යුතුය.

අත්ලක රවි, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ, බුධ, සිකුරු ආදි ග්‍රහයන්ගේ බලපෑම් ලබන සුවිශේෂ වූ ස්ථානයන් මණ්ඩල යනුවෙන් ඉතා සරලව හැඳින්විය හැකිය. මේ අනුව අත්ලේ ප්‍රධාන මණ්ඩල හතක් හඳුනාගත හැකිය. ඒවා ඉහත පරිදි ප්‍රධාන ග්‍රහයන්ගේ නම්වලින් නම් කර ඇත. මේවා අතුරින් කුජ මණ්ඩලය ඉහළ කුජ මණ්ඩලය සහ පහළ කුජ මණ්ඩලය වශයෙන් දෙකකට වෙන්කර ඇත. තවද චන්ද්‍ර මණ්ඩලය ඉහළ පහළ සහ මධ්‍ය චන්ද්‍ර මණ්ඩල වශයෙන් වෙන්ව හඳුනාගත හැකිය. තවද අතිරේක මණ්ඩල වශයෙන් යුරේනස් සහ නෙප්චූන් ග්‍රහයන් වෙනුවෙන්ද මණ්ඩල දෙකක් අත්ලේ හඳුනා ගත හැකිය.

අත්ලේ පිහිටි මේ මණ්ඩලවල ප්‍රබල බව හෝ දුබල බව මණ්ඩලයේ පිහිටීමේ ස්වරූපය මත හඳුනාගත හැකිය. මේ ප්‍රදේශ අත්ලේ පවතින සංවේදිම ස්ථාන වන අතර, ස්නායු තන්තු විශාල ප්‍රමාණයක් ඒ මත පිහිටා ඇත. මේ ස්නායු තන්තු කේන්ද්‍රගත වන ස්ථානය මණ්ඩල මුදුන ලෙස හඳුනාගත හැකිය. සාමාන්‍යයෙන් ප්‍රබල මණ්ඩලයක මණ්ඩල මුදුන මණ්ඩලයේ හරි මැද පිහිටා තිබිය යුතුය. එනම් අනුරූප ඇඟිල්ලට සිරස්ව මණ්ඩලයේ මධ්‍ය ලක්ෂයේ මුදුන පිහිටිය යුතුය.

සමහර පුද්ගලයන්ගේ මණ්ඩලවල මුදුන හරි මැද නොපිහිටා අස්ථාන ගත වීමටද පුළුවන. මණ්ඩලයේ මුදුන අනුරූප ඇගිල්ල දෙසට ළංවී පිහිටියොත් මණ්ඩලයේ ගුණ පුද්ගලයාට තව තවත් ප්‍රබලව පුද්ගලයා කෙරෙහි බලපාන අතර, එසේම මුදුන පහත්ව පිහිටීම මණ්ඩලයේ ප්‍රබලතාවය අඩුවේ. තවද මණ්ඩලයේ මුදුන මධ්‍යයේ නොපිහිටා වෙනත් මණ්ඩලයක් දෙසට කිට්ටුව පිහිටියොත් එම මණ්ඩලයේ ගුණ අඩුවී අසල් වැසි මණ්ඩලයේ ගති ලක්ෂණද හිමි කර ගනී.

තවද මණ්ඩලයේ පිහිටි සුවිශේෂ ලක්ෂණ මඟින් ද මණ්ඩලයෙ ප්‍රතිපල සුබ තත්ත්වයක් හෝ අසුබ තත්ත්වයක් දක්වා ගෙන යයි. ඒ අනුව සිරස් රේඛා ඇතැම් විට තරු ලකුණු, ත්‍රිකෝණ, සම වතුරස්‍ර, වෘත්ත, ත්‍රිශූල, කුන්තායුධ ලක්ෂණයන් සුබ ලක්ෂණ ලෙසත් තිරස් රේඛා ඇතැම් විට කතිර දුපත් ලකුණු ග්‍රීල් ලප තිත් කැඩී රේඛා අසුබ ලක්ෂණ ලෙසත් හඳුනාගත හැකිය. මණ්ඩල ඇදෙනසුලු බවක් සහිත නම් ඉතාමත් යහපත් වේ. එනම් පැන්සල් තුඩකින් මණ්ඩලය තද කළ විට ඇතිවන වල ඉක්මනින් යථා තත්ත්වයට පත්වන්නේ නම් එය යහපත් මණ්ඩලයක ලක්ෂණයක් වේ. කෙසේ නමුත් අති ප්‍රබල මණ්ඩල පිහිටීමද එතරම් යහපත් නොවන අතර, මණ්ඩලයේ ප්‍රබලතාවය මධ්‍යස්ථ විය යුතුය. නමුත් මණ්ඩල දුබල හෝ ප්‍රබල නොවී සමතලාව පිහිටිය හැකිය. එවැනි වු මණ්ඩලවලින් නිරූපණය වන සුබ හො අසුබ ලක්ෂණ පුද්ගලයා කෙරෙහි බලපාන්නේ නැත. එසේම ප්‍රබල මණ්ඩලයක වුවද බලපෑම පුද්ගලයාට හිමිවන්නේ ප්‍රබල ශීර්ෂ රේඛාවක් ඇතිවිට පමණි. කෙසේ වුවද සෑම මණ්ඩලයක් මඟින්ම පුද්ගලයකුගේ කායික හා මානසික ගුණ මෙන්ම සෞඛ්‍ය තත්ත්වයන් පෙන්නුම් වේ.

ගුරු මණ්ඩලය

දබර ඇඟිල්ල අත්ලට සවිවන ස්ථානයේ ගුරු මණ්ඩලය පිහිටා ඇති අතර, මේ මණ්ඩලය පුද්ගලයකුගේ තත්ත්වය පෙන්නුම් කරන මණ්ඩලය වේ. සදාචාරත්මක බව පවිත්‍ර ආදරය පිළිබඳ හැඟීම, කීර්තිය, දයාව, අනුකම්පා සහිතව තීරණය ගැනීමේ හැකියාව, සැමට සෙත සැලසීමේ ගුණය සහ ආගම දහමට ළැදියාව මේ මණ්ඩලය සතු ගූණාංග වේ. විශාල ප්‍රදේශයක මේ මණ්ඩලය පැතිරි ඇත්නම් මනුෂ්‍යත්වය අගය කරන සමාජශීලි පුද්ගලයෙකි.

ප්‍රබල ගුරු මණ්ඩලයක් ඇති පුද්ගලයා වසනාවන්ත වන අතර, විනිශ්චයකාරවරුන් කායික වෛද්‍යවරුන් මෙන්ම ලෝ පතළ පූජකයන් බවට පත්විය හැකිය. ප්‍රබල ආත්ම විශ්වාසයක් ඇත. සෞඛ්‍ය සම්පන්න වන අතර, ශබ්ද නඟා කතා කිරීමේ හැකියාවද ඔවුනට ඇත.

 

ශනි මණ්ඩලය

මැද ඇඟිල්ල අත්ලට සවිවෙන ස්ථානයේ ශනි මණ්ඩලය පිහිටා ඇති අතර, වගකීම් දරා ගැනීමේ හැකියාව සදාචාර ධර්ම ආරක්ෂා කිරීම ශාස්ත්‍රීය බව ස්ථාවර බව ආදි ලක්ෂණ මේ මණ්ඩලයෙන් හඳුනා ගත හැකිය. මණ්ඩලය හොඳින් වැඩී තිබේ නම් ඉතා උදාර උසස් ගතිගුණවලින් අයකු වේ. ඔහු කෙනකුට ළෙන්ගතු බව ඇතත් එය ප්‍රකාශ නොකරන්නකි. ඒ නිසා පවුල් ජීවිතයේ ප්‍රශ්නකාරි අවස්ථාද ඇති වේ. සබකෝල ගති නැත. විමර්ශනශීලි වේ. සමාජ ආශ්‍රයේදි මනා ඉවසීමේ ගුණයක් ඇති නිසා බලවතකු වේ. හුදෙකලා ජීවිතය ප්‍රියකරන ඔවුහු යම් දෙයක් කියූ පමණින් පිළිනොගන්නා අතර, උපතින්ම දාර්ශනිකයන් වේ. ශනි මණ්ඩලය දුබල වූ විට හිතුවක්කාර, ඊර්ෂ්‍යා සහගත දැඩි ගති ඇති මොවුනට බොහෝ වෙහෙස වී වැඩකිරීමට සිදු වේ. නිහඩව හුදෙකලාව විසීමට කැමැත්තෝය.

 

රවි මණ්ඩලය

වෙදැඟිල්ල නැතිනම් මුදු ඇඟිල්ල අත්ලට සවිවෙන ස්ථානයේ රවි මණ්ඩලය පිහිටා ඇත. පුද්ගලයකුගේ දක්ෂ දීප්තිමත් බව යමක් ඉක්මනින් වටහා ගැනීමේ හැකියාව වාසනාවන්ත බව සමාජ පිළිගැනීම මේ මණ්ඩලයෙන් හඳුනාගත හැකි ගුණාංග වේ. රවි මණ්ඩලය මනාව වැඩී ඇත්නම් ඔවුනට ප්‍රතාපවත් පෙනුමක් ලබා දේ කාන්තාවක් නම් ඉතාම රූමත් වෙයි. මහජනයා අතර ප්‍රසිද්ධ වන අතර, ආගිය හැම තැනකදීම නායකත්වය හිමිවේ. සමාජයේ නිරායාසයෙන්ම කැපී පෙනෙන අයෙක් වෙයි. මෙවැනි අයගේ රවි රේඛාව ද පිහිටා ඇත්නම් වසනාවන්තය. කුමන අංශයකින් හෝ ප්‍රසිද්ධ වන ඔවුහු කුමන ප්‍රශ්න ඉදිරියේ වුවද ජීවිතය ජය ගනී. අක්ෂි රෝගයෙන් පෙළෙන අයගේ රවි මණ්ඩලයේ කළු ලප, දුපත් සලකුණු ආදිය ඇතිවිය හැකිය. රවි මණ්ඩලය දුබල වූ අය උඩඟු බවක් පෙන්නුම් කරන අතර, නීති නොසලකා හරිමින් කටයුතු කරති. මෙවැනි අය බොහෝවිට දාමරිකකම්වලට ද යොමු වෙයි.

බුධ මණ්ඩලය

සුළැඟිල්ල අත්ලට සවි වෙන ස්ථානයේ බුද මණ්ඩලය පිහිටා ඇත. පුද්ගලයකුගේ කථනය, තර්කනය, බුද්ධිමත්බව, ලිංගිකත්වය, සහජ දක්ෂතාවයන් හසුරු කෞශල්‍යයන් ආදිය බුධ මණ්ඩලයෙන් හඳුනාගත හැකි ගුණාංග වේ. බුධ මණ්ඩලය ප්‍රබලව පිහිටි අය වඩා බුද්ධිමත් වන අතර, ව්‍යාපාර කටයුතුවලදි සුවිශේෂ දක්ෂකමක් පෙන්වයි. දර්ශනය, විද්‍යා සහ ගණිතය පිළිබද දක්ෂ වේ. විරුද්ධකරුවන්ගේ දුර්වල ස්ථාන හඳුනාගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට ශූර බුද්ධියක් ඇත. කථිකත්වයට දක්ෂතා පෙන්වයි. බුධ මණ්ඩලය දුර්වල නම් හෝ මුඛරි ලෙස කතා කළත් බොරුවෙන් අනිත් අය රවටන්නකු වේ. කුඩා කතිරයක් ඇත්නම් ධන හානි ඇති වෙයි. කුඩා තිතකින් ව්‍යාපාර පිරිහීමක් හෙළි කරයි.

 

චන්ද්‍ර මණ්ඩලය

සුලැඟිල්ලට පහළින් මනිබන්ධන රේඛාවලට ඉහළින් දකුණු අත්ලේ වම් පස කෙළවර සහ වම් අත්ලේ දකුණු කෙළවර චන්ද්‍ර මණ්ඩලය පිහිටා ඇත. පුද්ගලයකුගේ සංවේදිබව නිර්මාණාත්මක බව මේ මණ්ඩලයේ ගුණාංග ලෙස හඳුනාගත හැකිය. ප්‍රබලව පිහිටි චන්ද්‍ර මණ්ඩලය හිමි අන් අය කෙරෙහි කරුණාව, දයාව පෙන්වන අන් අයට උදව් උපකාර කරන්නට වඩා උනන්දු වෙන ආගම දහම කෙරෙහි භක්තියක් ඇති අය වේ. මේ මණ්ඩලය උස්ව වැඩී ඇති අය ලේඛන කෂේත්‍රයේ ද වැඩි දක්ෂතාවයන් පෙන්නුම් කරයි කෘෂිකර්මය, සත්ව පාලනය, මල්වැවීම වැනි කටයුතුවලදි වැඩි නැඹුරුතාවයක් චන්ද්‍ර මණ්ඩලය ප්‍රබල වු තරමටම ඵලදායි බවත් වාසනාවත් පෙන්වයි. මණ්ඩලය දුබල වු විට ඵලදායි ප්‍රතිපල හීන වේ. එවිට අන්‍යයන්ගේ ආකර්ෂණය හා සැලකිල්ලට යොමු නොවන අයකු සේ පෙන්නුම් කරයි.

සිකුරු මණ්ඩලය

මහපට ඇඟිල්ල අත්ලට සවිවෙන ස්ථානයේ සිකුරු මණ්ඩලය පිහිටා ඇත. පුද්ගලයකුගේ ආදරය, කරුණාව, ලෞකිකත්වයට ඇති කැමැත්ත, ලිංගිකත්වය, කලාව, ආකර්ෂණය ආදි ගුණාංගයන් මේ මණ්ඩලයෙන් හඳුනාගත හැකිය. සිකුරු මණ්ඩලය ප්‍රබල නම් යහපත් ශරීර සෞඛ්‍යය තත්ත්වයක් දැකිය හැකිය. සිනමා කලාකරුවන්, චිත්‍ර ශිල්පීන්, ගායන ශිල්පීන් වැනි අයගේ සිකුරු මණ්ඩලය මනාව වැඩී ඇති බව දැකිය හැකිය. විරුද්ධ පාර්ශ්වයේ අයගේ අවධානයට බොහෝවිට මොවුන් කෙරෙහි යොමු වේ. එබැවින් පෙම් සබඳතා බහුලව ගොඩනැඟීමට හැක. සිකුරු මණ්ඩලය දුබල වූ විට වැරදි රාගාධික හැසිරීම් නිසා සමාජයේ අගෞරවයටත්, අවඥාාවටත් ලක්වෙයි. මොවුන්ගේ විවාහ ජීවිතයද බොහෝ විට අසාර්ථක වේ.

 

කුජ මණ්ඩලය

ශිර්ෂ රේඛාව ආරම්භ වන ස්ථානයත් මහපට ඇඟිල්ලත් අතර කොටස කුජ ධන මණ්ඩලය වශයෙන්ද සුළැඟිල්ලට පහළින් චන්ද්‍ර මණ්ඩලයට ඉහළින් කුජ සෘණ මණ්ඩලයද පිහිටා ඇත. පුද්ගලයකුගේ සටන්කාමී බව, ආත්ම ආරක්ෂාව කෙරෙහි දක්වන සැලකිල්ල ධෛර්යය ආත්මශක්තිය ඉදිරියට යාමේ හැකියාව, කුජ ධන මණ්ඩලයේ ගුණාංග වන අතර, ඉවසීම, දරාගැනීම, තම ආරක්ෂාව තබාගෙන ඉදිරියට යාම කුජ සෘණ මණ්ඩලයේ ගුණාංගයන් ලෙස හඳුනාගත හැකිය. කුජ සෘණ මණ්ඩලය ප්‍රබල අයකු හොඳ හෝ නරක ඕනෑම දෙයක් දරාගැනීමේ ශක්තිය හිමි හොඳ ආත්ම විශ්වාසයකින් වැඩ කරන පුද්ගලයන් වේ. උපාය කෞශල්‍යය හොඳින් පිහිටා ඇත. ඒ වගේම පිරිස අතර කැපී පෙනීමට කැමති පුද්ගලයන් වේ. ස්වකීය ආරක්ෂාව සපයා ගනිමින් සතුරන්ට ප්‍රහාර දෙයි. මොවුන්ගේ ඇති විශේෂ හැකියාව වන්නේ ඕනෑම පීඩනයක් දරා ගැනීමේ හැකියාවයි. කුජ ධන මණ්ඩලය හෙවත් නිශ්චිත කුජ මණ්ඩලය ප්‍රබල පුද්ගලයා කුමන හෝ අකාරයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට වෙහෙසෙන පුද්ගලයෙකි. ප්‍රබල සටන්කාමි බවකින් යුක්තය. ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පුද්ගලයෙකි. මොවුන් ආහාරපාන සඳහා ලොල් බවක් දක්වයි. නිතරම සාධාරණය පැත්තේ හිට ගනී. ආදරය කිරීමට සහ කාමුක ක්‍රියාවලට දැඩි රුචියක් දක්වනවා සේම විරුද්ධ ලිංගිකයාගේ කැමැත්ත සහ අනුමැතිය ඇතැත් නැතැත් කෙසේ හෝ පොලඹවා ගැනීම සිදු කරයි. මත්පැන්වලට යොමුවීම සහ අපරාධ කිරීමට පෙළඹීම මොවුන්ගේ අයහපත් ලක්ෂණ වේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.