වසර 120ක් ආයු ලබන ග්‍රහ යෝග

සැප්තැම්බර් 15, 2023

නීරෝගි සුවයක් ලැබීමටත් දීර්ඝායු විඳීමටත් කෙනකුට හිමිවේ නම් කොතරම් වාසනාවක්ද? අප කාගේත් පැතුම එය වුවත් ජන්ම පත්‍රයේ පිහිටි ග්‍රහ බලපෑම් අනුවමයි එය සිදු වන්නේ. ජන්ම ලග්නාධිපති පාපයන් සමඟ යෝග වී එකොළොස් වැන්නේ පතිත වී සිටියේ නම් මුළු ජීවිත කාලයම නීරෝගි ජීවිත ගත කිරීමේ වාසනාව අපට උරුම වේ.

ලග්නයේ ලග්නාධිපති ජනිතව බ්‍රහස්පති, සිකුරු යෝගව හෝ හතර කේන්ද්‍රයේ රැඳී උපත ලද්දේ නම් රාජ උණුසුම ද, ධනවත්කම ද, දීර්ඝායුෂ ද විඳ තමා පතන්නාවූ ප්‍රාර්ථනා ද ඉටුවෙයි. දැන් අපි බලමු ජන්ම කේන්ද්‍රය අනුව අපේ ආයුෂ ගෙවෙන්නේ කුමන අයුරින් ද කියා.

ත්‍රිකෝණවල මෙන්ම කේන්ද්‍රගතව හෝ පාපි බැල්මට, දර්ශනයට ලක් නොවුණ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නයේ සිටියේ නම් එසේ උපන් අය නානාප්‍රකාර සැප සම්පත් විඳ නොයෙකුත් පුණ්‍ය කටයුතුවල යෙදෙමින් නීරෝගිභාවය ද හිමිව අවුරුදු සියයක් ජීවත්වීමට හැකිවේ. රවි, මේෂ රාශිය ජනිතව ලග්නාධිපති සුබව, නව වැන්නාධිපතිද ස්වක්ෂේත්‍රව හෝ උච්ච බලයෙන් යුතුවීද, එවැනි යෝගයන් පෙරටුව ජනිත වූ අයට බොහෝ යස ඉසුරින් හා කීර්තියෙන් යුතුව බැබළි බැබළී ජීවත්වෙන්නට වාසනාව පෑදේ. ගුරු, සිකුරු යෝගව සිටියා වූ හෝ ඔවුන්ගේ දර්ශනයට ලක්වූ ලග්නාධිපතියා සතර කේන්ද්‍රයේ කොතැනකදී වැජඹුණත් එකල්හි උපන් ජන්ම පත් හිමියාටද දීර්ඝායු විඳීමේ වාසනාව හිමිවෙයි. ග්‍රහයන් දෙදෙනකු උච්ච ක්ෂේත්‍රගතව ලග්නාධිපතියා අෂ්ටමපතියා යෝගවීද. එසේ අටවැන්නේ පාපයන් නොසිටියේ ද එලෙසින් ජනිත කේන්ද්‍ර හිමියාද දීර්ඝායු සැප විඳීමේ වාසනාව ලබයි. උච්ච මිත්‍ර ස්වක්ෂේත්‍ර ගතවූ ග්‍රහයන් තිදෙනකු අට පතිත වී ලග්නාධිපතියා බලවත්ව වැජඹුණ කල්හිත්, සෙනසුරු හෝ අටවැන්න උච්චග්‍රහයෙකු සමඟ යෝගවීමත්, තුන, හය, එකොළහ යන ස්ථානයන්හි පාප ග්‍රහයන්ද සතර කේන්ද්‍රය හා ත්‍රිකෝණයන්හි සුබයන්ද, ලග්නාධිපති බලවත්ව සිටි කල්හිත් උපන් අය දීර්ඝායුෂ ලබන්නෝ ය. ලග්නයට දෙපැත්ත වූ දොළහ දෙකෙන් හතට දෙපැත්තවූ හය, අටේත් පාපයින් සිටියදී උපන්නා වහා මැරෙයි. එය දරු ප්‍රසූතියේදී විය හැකියි. මේ ස්ථාන හතරේ සියලුම ග්‍රහයන් සුබ පාප මිශ්‍රව සිටියදී උපන්නේ මේෂ, කටක, තුලා, මකර ලග්නය වී නම් සිංහාසන යෝගයෙන් උපන්නේ වෙයි. බාල කාලයේ නොමැරුණොත් සිංහාසනයේ වාඩිවීමට තරම් සුදුස්සෙක් වේ. එසේ නොවුණොත් ප්‍රබල තේජවන්ත ධනවතෙක් වෙයි.

උච්ච ක්ෂේත්‍ර හෝ ස්වක්ෂේත්‍ර නොවී ග්‍රහයන්ගේ රාශියක් හෝ වර්ගයක් නොවී හයේ හෝ පාපයකු ද සමඟ සිටි චන්ද්‍රයා පාපීන්ට පමණක් පෙනුණොත් එලෙස උපන්නෝ ඒ වෙලාවේම හෝ එදා පටන් අවුරුද්දකට පළමු මියයයි. ශුභ පාපි දෙපක්ෂයටම පෙනුණොත් සතර අවුරුද්දකට පළමුව මියයයි.මේෂ, වෘශ්චික දෙකින් එකක් අට වූ කල එහි සිටි ගුරු සිකුරුටත් නොපෙනේ නම් ලග්නය, රවි, චන්ද්‍ර, කුජ, ශනි යන ග්‍රහයන්ට පෙනේනම් තුන් අවුරුද්දකින් මැරේ. කටකය වූ ලග්නයෙහි බුධහු සිටියදී හයේ හෝ අටේ සඳු සිටියහොත් සතර අවුරුද්දකින් ආයුෂ නිමවේ. එක රැස සිටියා වූ රවි, චන්ද්‍ර, කුජ, ශනි කරණ කොට ගෙනද උපන්නේ නම් හෙතෙම වර්ෂ පහකට වඩා ජීවත් නොවේ. මේ අයුරින් ලග්නයෙහි රවි, ශනි, කුජ සිටිනවිට සතුරු රාශියක් වූ හතේ චන්ද්‍රයා සිටීනම් ගුරුටත් සඳු නොපෙනේ නම් එලෙස උපන් අය අවුරුදු හතකින්ද, රවි කුජ සමඟ සඳු දෙවැන්නේ හෝ පස් වැන්නේ නම් ශුභයන් නොපෙනේ නම් නම් අවුරුද්දකින් මිය යා හැකිය. හිරු ලග්නයෙහි සිටියදී දොළහේත් දෙකේත් පාපයෝ සිටිත් නම් එලෙස උපන් අය තිස්වෙනි විය නොඉක්මයි. හතේ කුජද අටේ සිකුරුද, නවයේ රවිද සිටියදී උපන් අය කොපමණ බලවත් අයෙකු වුවත් මැදිවිය (ස්ත්‍රියක නම් හතළිහෙ සිට හතළිස් පහ) නොඉක්මවයි. මේ ග්‍රහයෝ උච්චාංශකවල හෝ ස්වඋච්ච රාශිවල සිටිත්නම් වෙනස්වීමට ඉඩ ඇත. ගුරු, සිකුරු එකට සිටියදී බුධ හතරේ හෝ දහයේත් සඳු ලග්නයේ අටේ හෝ දොළහේත් සිටීනම් කොපමණ සැපෙන් ජීවත්ව සිටියත් පනස්විය නොඉක්මවයි.

රවි, සෙනසුරු, අඟහරු, මේෂ, කටක, තුලා, මකර රාශියකද, බ්‍රහස්පති, සිකුරු, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශියකට යයිද අවශේෂ ග්‍රහයෝ මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශියක සිටියදී යමෙකු මෙලොව ජනිත වී නම් හෙතෙම අවුරුදු සියයක් ජීවත් වේ.

සෙනසුරු රාශියක් නවවැන්න වී රවි, ගුරු, කුජ පදිංචිව ඒ රාශියම නවාංශක වී එම ග්‍රහයෝ වර්ගෝත්තමව සඳු බලවත්ව ලග්නයේ පිහිටා උපන් අයට ශ්‍රීයෙන් යුතුව ඉතා දිගු කලක් ජීවත්වීමේ භාග්‍යය හිමිවන්නාහ. මීන ලග්නය මීන නවාංශකය උදාව පැවති කල්හි රවි, කුජ, ගුරු, සිකුරු පරම උච්චගතවීද බුධ ග්‍රහයා සිකුරුගේ රැසකවීද එලෙස උපන් අයට අවුරුදු එකසිය විස්සක් ආයුෂ හිමිය.

ලග්නය කටක වී ගුරු උච්චවද සඳු එම භවයේම වැජඹී බුධ, සිකුරු කේන්ද්‍රයන් තුළද රවි, කුජ, ශනි 11, 6, 3 වැනි රාශි තුළ සිටියේ නම් එලෙස උපන්නාද දීර්ඝායුෂ ලබයි. ලග්නය සිංහ රැස වී ගුරු පදිංචිවීද, සිකුරු කටක රාශියට යයිද කන්‍යාවේ බුධ ග්‍රහයා උච්ච වෙයිද, පාප ග්‍රහයින් අට, හය, දහය, එකොළහ යන උපචය රාශිවල සිටියේද එලෙස උපන් අයද වර්ෂ 100ක් ජීවත් වේ.

මීන ලග්නයේ නවවැනි නවාංශකය ලග්නය වූ කල්හි බුධ ග්‍රහයා වෘෂභ රාශියේ කලා විසිපහක් ගත කල කල්හි අනිත් සියලුම ග්‍රහයන් තම උච්ච රාශි තුළ වැජඹුණේ ද එසේ උපන්නා ද අවුරුදු 120ක් ජීවත් වේ. නවවැන්නේ දස වැන්නේ සිටියා වූ ගුරු ශනි දෙදෙනා බලයෙන් යුතු සුබ ග්‍රහයකුගේ දර්ශනයට ලක්වේද එකම නවාංශකයක ලග්නගතවීද මෙම යෝගයෙන් උපත ලැබූ අයද දීර්ඝායු ලබා සෘෂිවරයෙකුගේ තත්ත්වයට පත්වෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.