සර්පයාගේ රාශියට මේ වසර කොහොමද?

චීන ජ්‍යොතිෂයෙන්
ජුනි 23, 2023

තමාගේ ජීවිතයට බලපාන සුබ අසුබ තත්ත්වයන් පිළිබඳ දැනගැනීමට අප කා තුළත් ඇත්තේ කැමැත්තකි. ඒ නිසාම ඉන්දියානු ඡ්‍යොතිෂ්‍ය ඉක්මවා ගොස් චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව පලාපල දැන ගැනීමේ අවස්ථාව ලබා දීමට අපි ඔබට මේ ලිපි පෙළ ඉදිරිපත් කරන්නෙමු.

චීන රාශි චක්‍රයේ හයවන ස්ථානය හිමි වන්නේ සර්ප රාශියටයි. සර්ප රාශිය හිමි වන්නේ 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013 යන වසරවල උපන් පුද්ගලයන්ටයි. සර්ප රාශියේ උපන් අය සතුව තරමක් හාස්‍යජනක ගති ඇත. ඔවුහු කුඩා දේ ගැන කතා කිරීමට හෝ එදිනෙදා කුඩා ගැටලු ගැන සිතීමට අකැමැත්තක් දක්වති. අවුල් සහගත පරිසරයක දී වුවද සන්සුන්ව විසඳුම් ගැන සිතීමට සමත් පුද්ගලයන් වේ.

ඔවුන් සෑම විටම නව සැලසුම් සකස් කරන අතර අන් අයගේ මතයන්හි රඳා නොසිට ඒවා අනුගමනය කරයි. ඒවා සාමාන්‍යයෙන් නිවැරැදිය. අන් අයගේ සැලසුම් හා මත පිළිබඳ ඔවුන් තුළ ඇත්තේ අවිශ්වාසයකි. මොවුනගේ හැසිරීමෙන් විනිශ්චය කිරීමට අසීරු පුද්ගලයන් කොට්ඨාසයකි. ඔවුන් මන්දගාමී හා කම්මැළි කතා ශෛලිය ඔවුන්ගේ සිත් තුළ ඇති වේගවත් චින්තනය සැඟවීමට සමත් ය. ඔවුන් ඉතා සන්සුන් පුද්ගලයන් ලෙස පෙනුණද සැබැවින් ම ඔවුන් ඉතාමත් අවදියෙන් හා හොඳ නිරීක්ෂණයකින් පසුවන්නන් ය.

සර්ප රාශියේ උපන් පිරිමින් අපූරු හා තම විෂයේ ප්‍රවීණත්වය උසුලන්නන් වේ. ඔවුන් මෘදු ගති ඇති පුද්ගලයන් වන අතර නිවැරැදි දේ පවසයි. අපහසු අවස්ථාවල දී විහිළුවක් කොට ඉන් මනස මුදා ගැනීමට සමත්ය. අනෙක් අයට වඩා වෙනස් බවක් ඇති සර්ප රාශියේ පිරිමි ආදරය බෙහෙවින් විශ්වාස කරති. එමෙන්ම ආදරය කිරීමෙහි ද සමර්ථයෝ ය. නිර්මාණශීලී හා සංවේදී පුද්ගලයන් පුද්ගලයන් වේ. තමා වෙත අවධානය යොමු වෙනවාට කැමැත්තක් ඇති අතර පහසුවෙන් ඊර්ෂ්‍යාවට බඳුන් වේ.

සර්ප වසරක උපන් කාන්තාවන් මනරම් හා රුවැති අය වේ. ඔවුන් ඇතුළතින් හා පිටතින් අලංකාර බවක් උසුලයි. ඔවුනගේ අදහස් උසස් විලාසිතා සහ සම්භාව්‍ය කලාව අගය කිරීම මඟින් ප්‍රකාශ වේ. බොහෝ විට සැලකිල්ලක් නොමැති සේ හැසිරුණ ද හැමවිට ම ඔවුන්ගේ සිතුවිලි පවතින්නේ දැනට පවතින තත්ත්වයට වඩා ඉදිරියෙනි.

මිතුරු ඇසුර සඳහා ප්‍රමිතියක් භාවිත කරයි. එමෙන්ම මොවුහු ධනය හා බලයට දැඩි ලෙස ආශා කරති. බුද්ධිය හා කුසලතා සමඟ සාර්ථකත්වය ගැටලුවක් නොවිය හැකිය.

කෙසේ වෙතත් සර්ප රාශියේ කාන්තාවන්ගේ ලොකුම අඩුපාඩුව වන්නේ ඊර්ෂ්‍යාවයි. ඔවුනට වඩා සාර්ථක අය දැකීම දරාගැනීමට නොහැකිය. සර්ප රාශියේ පුද්ගලයන්ට වඩාත් ගැළපෙන පුද්ගලයන් සිටින්නේ සර්ප රාශියේ ම අය හැරුණුකොට වඳුරා, කුකුළා හා ගොනාගේ රාශියේ අයයි.

ඔවුන්ට වාසනාව කැඳවන අංක වන්නේ: 2, 8, 9 ඔවුනට වාසනාව ගෙනෙන වර්ණ වන්නේ: රතු, ළා කහ, කළුය. වාසනාව කැඳවන පාෂාණය වන්නේ: අමතේස්තය. සුදු, රන්වන්, දුඹුරු වර්ණ ඔබට අවාසනාව කැඳවයි. 1, 6, 7 අවාසනාව කැඳවන අංක වේ.

චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව හාවාගේ වසර සර්ප රාශියේ උපන් අයට යහපත් ය. සර්ප රාශියට අයත් වසරවල උපන් අයට මේ වසර යහපත් දිශාවකට සුමටව ගමන් කරයි.

එමෙන්ම මේ වාසනාව ස්ථාවර එකක් වීමේ වැඩි ඉඩක් පවතී. කෙසේ වෙතත් සුබ අසුබ තාරකාවල බලපෑම නිසා ඔබේ වාසනාවේ යම් උච්චාවචනයන් සිදු විය හැකියි.

ඔබේ වෘත්තීය අපේක්ෂාවන් තරමක් හොඳීන් වර්ධනය වේ. සුබ තත්ත්වය සමඟින් ම ඔබට යම් අසුබ දෙයකට ද මුහුණ දීමට සිදුවේ. එසේ වන්නේ ඇතැම් අය ඔබ සමඟ හිතවත්කම් පා පසුපසින් පිහි ඇනුම් සිදු කළ හැකි බැවිනි. නමුත් මේ මිතුරු වෙසින් සිටින සතුරන් යම් දුරකින් තබා ගන්නා තාක් කල්, ඔබට ගැටලු අවම වන බවද පැවසිය යුතුය. මේ වසරේ ඔබ තීරණ ගැනීමේ දී හා රැකියාවේ දී යම් විනිශ්චයන් සිදු කිරීමේ දී ශක්තිමත්ව එම තීරණයන් ගැනීමට හැකියාව ලබයි. ඔබේ කාර්යයන් කාර්යක්ෂමව සිදුකිරීමට හැකි වේ. ඔබේ රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන් විසින් ඔබව අගය කරනු ඇත. එම ඇගයීම්වලින් පසුව වැටුප් වර්ධක ලබා දීමේ අවස්ථාවන් ද එලඹෙනු ඇති බැවින් ඔබගේ ලැබීම් පක්ෂය ඉහළ යයි.

සර්ප වසරක උපන් ව්‍යාපාරික ඔබට සියලු බාධක ජය ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඔබ විසින් බාධක කාලයක් ජය ගත් පසුව විශිෂ්ට ජයග්‍රහණ සහ වෘත්තීය දියුණුවක් ලබා ගැනීමට කටයුතු සැලසේ. ආයතනයේ ව්‍යාපාරික කටයුතුවල දී සර්ප රාශියේ පුද්ගලයන් විසින් නීතිය කඩ කිරීම හෝ නීතිමය සීමාවන් ඉක්මවා නොයා යුතුය. එසේ නොමැති නම් වසර ගණනාවක් පුරා ප්‍රවේසමෙන් කළමනාකරණය කර ඇති ඔබේ ව්‍යාපාරය නිෂ්ඵල වනු ඇත.

සර්පයාගේ වසරක උපන් ඔබේ ආදර ගමන් මාර්ගය ක්‍රමිකව වර්ධනය වන්නකි. අවිවාහක අයට ආකර්ෂණීය විරුද්ධ ලිංගිකයන්ගෙන් අවධානය හා ආකර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබේ. ඔබ සම්බන්ධතාවක් ආරම්භ කරන්නේ නම් සහ ඔබ දෙදෙනා එකිනෙකා තේරුම් ගැනීමට වැඩි කාලයක් ගත කරන්නේ නම් ඔබට තවදුරටත් සම්බන්ධතා වර්ධනයක් සහ ආදර සම්බන්ධතාවකට සාර්ථක පදනමක් ලබා ගැනීමට හැකියාව ඇත.

කෙසේ වෙතත් ඔබ බොහෝ සෙයින් හදිසි සහ නොඉවසිලිමත් වන බැවන් විරුද්ධ ලිංගිකයන් සමඟ ඇති ඔබේ සබඳතාවය පහසුවෙන් විනාශ වී යාමට හැකිය. එබැවින් සර්ප රාශියේ උපන් ඔබ මේ අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.

සබඳතාවක් ආරම්භ කිරීමට පෙර ඔබ අනෙක් පුද්ගලයාගේ චරිතය සහ ආදරය සඳහා ඔවුන්ගේ චේතනාව කුමක්දැයි විමසා බැලිය යුතුය.

ඊට අමතරව ඔබ දෙදෙනා එකිනෙකාගෙන් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට ඔබේ උපරිම උත්සාහය ගත යුතුය. අනෙක් පුද්ගලයාගේ මුහුණ පමණක් දැක මුදල් වැය කිරීම් නොකරන්න. ඔබට පාඩු විඳීමෙන් වැළකීමට නම් එකිනෙකා හොඳීන් හඳුනා ගැනීමට උනන්දු වන්න.

ආදරය කරන හෝ විවාහක අයට මේ වසරේ බොහෝ විට සුළු කාරණයක් සම්බන්ධයෙන් ආරවුල් ඇති වන අතර එමඟින් ඔබ සහ ඔබේ සහකරු යන දෙදෙනාම ශාරීරිකව හා මානසිකව වෙහෙසට පත්වනු ඇත. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් ඔබේ සිතේ ඇති කෝපය ඉක්මනින් ම නිවා දැමීමට කටයුතු කළ යුතුය.

මේ වසරේ දී ඔබේ ආර්ථික තත්ත්වය යහපත් ලෙස වර්ධනය විය හැකිය. සර්පයාගේ වසරක උපන් ඔබට මේ වසරේ දී ඔබගේ වෘත්තීය කටයුතුවල විශිෂ්ට ජයග්‍රහණ ලැබිය හැකි බැවින් ඔබේ මූල්‍ය ලැබීම් ද ඒ හා සාපේක්ෂව වර්ධනය විය හැකිය. ඔබ කාර්යාලයක සේවය කරන අයෙක් නම් මේ වසරේ ඔබගේ වෙහෙස මහන්සිය අගය කිරීමකට ලක් වේ. වසර අවසානයේ දී ඔබට විශාල ප්‍රසාද දීමනාද ලැබීමට හැකියාව ඇත.

ව්‍යාපාරයක යෙදී සිටින හෝ ව්‍යාපාරයේ ආරම්භක කාලපරිච්ඡේදයක සිටින ඔබට මේ වසරේ ඔබේ කැපී පෙනෙන කාර්ය සාධනය හේතුවෙන් ව්‍යාපාරයේ දියුණුවක් පෙන්නුම් කෙරෙයි. එයින් ඔබගේ ඉපැයීම් සැලකිය යුතු ලෙස වැඩි දියුණු වේ.

මේ වසරේ සර්පයාගේ රාශියක උපන් ඔබට මහා පරිමාණ ආයෝජන හෝ මූල්‍ය කලමනාකරණ සැලැසුම් සිදු නොකිරීම නුවණට හුරුය. නමුත් ඔබට සාම්ප්‍රදායික සහ ස්ථාවර ව්‍යාපෘති තෝරා ගත හැකිය. විශාල ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉහළ අවදානම් සහිත ආයෝජන සිදු නොකරන්න. එසේ නොමැති වූ විට එය ඔබේ ප්‍රාග්ධනය නැති නාස්ති වීමට හේතුවක් විය හැකිය.

මේ වසරේ දී ඔබේ සෞඛ්‍ය තත්ත්වය සමස්තයක් ලෙස ගත් විට හොඳ තත්ත්වයේ පවතී. එහෙත් ඔබට රෝග ඇතිවීමේ පෙරනිමිති ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි යම් දුරකට හෝ සැලකිලිමත් වන්න. මේ වසරේ දී සුළු රෝගාබාධ ඇතිවිය හැකිය. එමනිසා මේ වසරේ දී සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීමේ පූර්ව ක්‍රියාකාරකම් ලෙස නිසි සේ ව්‍යායාමවල නිරත වන්න.

මේ වසරේ ඔබට වෘත්තීය ජීවිතය තුළ ඉතාමත් කාර්යබහුල වීමට සිදු වේ. ආහාර ගැන වැඩි උනන්දුවක් නොදක්වන අතර අතිකාල වැඩ කිරීමට ද සිදු වනු ඇත. මේ තත්ත්වය නිසා කාලයක් යන විට ඔබට ආමාශගත රෝගාබාධ ඇති විය හැකිය. එම නිසා කාර්යයන් සිදු කිරීමේ දී නිසි පරිදි පෝෂ්‍යදායක ආහාරපාන ගැනීමටත් අවශ්‍ය පමණට විවේකය ලබා ගැනීමටත් කටයුතු කරන්න. මෙයට අමතරව සර්ප වසරක උපත ලබා ඇති දරුවන් සිටී නම් (2013) දියේ ගිලී සිදුවන අනතුරු වලින් වළක්වා ගැනීම සඳහා ගංගා, විල් වැනි ජලාශවලින් ඈත්කර තබා ගැනීමට මතක තබා ගන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.