ඔබේ අංකය 6 නම්...

ජුනි 23, 2023

පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 5 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදී. අද අපි පෞද්ගලික අංක 6 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 6,15,24, යන දිනයක උපත ලබා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික අංකය අංක 6 ය. පෞද්ගලික අංක 6 හිමියන්ට හිමිවන්නේ සිකුරුගේ බලයයි. අප්‍රේල් මාසයේ 20 ත් මැයි මාසයේ 20 අතර සහ සැප්තැම්බර් මාසයේ 21 ත් ඔක්තෝම්බර් 21 අතර කාල සීමාවේ ඉපදුණ අයකු නම් සිකුරුගේ බලය වැඩි නිසා එම ගුණයන්ද තීව්‍ර වේ.

නීතියක් වශයෙන්ම පෞද්ගලික අංක 6 හිමියන් පිරුණු කාන්තිමත් මුහුණක් උරුම කරගත් ආකර්ෂණීය පුද්ගලයන්ය. මොවුන් දුටු දුටවන් සිත් වසඟ කර ගනී. අනිත් අය තමා වෙත ඇද ගැනීමේ ශක්තිය අනිත් අයගේ ආදරයට ලක්වීම සේම තමා යටතේ වැඩ කරන්නන් මොවුන්ව ඉතා ගෞරවයෙන් ඇදහීමද සිදුවේ. මොවුන්ගේ ගුණාංග වනුයේ කා හටත් ආදරය කරුණාව දැක්වීමයි. එසේ කා අතරත් ජනප්‍රිය පුද්ගලයන් වශයෙන් හා යහපත් ගුණාංගවලින් හෙබි පුද්ගලයන් වශයෙන් සමාජයේ මොවුහු ජීවත් වෙති. පෞද්ගලික අංක 6 හිමියන්ට ඕනෑම පුද්ගලයකු අවනත කර ගැනීමේ හැකියාව ඇත.

අංක 6 හිමියෝ සංගීතය කලාව යන ක්‍ෂේත්‍ර කෙරෙහි වැඩි ඇල්මක් දක්වති. කලාකරුවන් අතර අංක 6 හිමියන් වැඩිපුර කැපි පෙනේ. ඒ කෙසේද යත් හරවත් සහ නිර්මාණාත්මක කලා කෘතීන් අධික මිල ලබන්නාක් මෙන් මොවුන්ද සමාජයේ ඉහළ සැලකුම් ලබන අය වන නිසාය. උදාහරණයක් ලෙස ඉතාලියානු ජාතික සිතුවම් නිර්මාණ ශිල්පියකු, ගෘහ නිර්මාණ ශිල්පියකු කාව්‍ය රචකයකු සහ ඉංජිනේරුවකු වු මයිකල් ඇන්ජලෝ උපන් දිනය 1475 මාර්තු 6 වේ. අංක 6 හිමියන් නිරන්තරයෙන් අන්‍යන්ගේ ඊර්ෂ්‍යාවට භාජනය වේ. මෙය මොවුන්ට දරාගත නොහැකි තත්ත්වයකි. කෝපයට පත් වුවහොත් කිසිම විරුද්ධවාදියෙක් ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. මොවුහු සතුටින් විනෝදයෙන් ජීවත් වීම එකම පරමාර්ථය කර ගනිති. කිසි විටෙක දුක් වේදනා සහිතව ජිවත්වීමට කැමැත්තක් නොමැත.

රසවත් ආහාරපාන ඇඳුම් පැලඳුම් හා යාන වාහන ලබා ගැනිම සඳහා බොහෝ සෙයින් වෙහෙස මහන්සි වී වැඩකරන අතර ආහාරවල රසවත් භාවය පිළිබඳව ඉතා උනන්දු වේ. එසේම ආහාර පිළියෙළ කිරිම එවායේ ගුණාත්මක භාවය පිළිබඳව සැලකිල්ලක් දක්වයි. මේ අය කලාත්මක ගෘහ භාණ්ඩ තෝරා ගැනීමේ සහ නිවස තුළ ඒවා සකස් කිරිමේ හොඳ හැකියාවක් ඇත. අවස්ථාවට ගැළපෙන ලෙස ඇදුම් සකස් කර ගැනීමට මෙන්ම ඕනෑම අවස්ථාවකදී ඊට සරිලන ලෙස කටයුතු කිරිම ඒ අනුව හැසිරිම ඉතා සාර්ථකව සිදුකරයි.

පෞද්ගලික අංක 6 හිමියන් ආදරය වෙනුවෙන් විශේෂයෙන් කැපකිරිම් කරයි. ඒ වගේම වෛර කිරීමේ සීමාවක් ද නොමැත. පළමු විවාහය සාර්ථක වන්නේ නැති ප්‍රවණතාවයක් පෙන්වන බැවින් අවුරුදු 25ට පෙර විවාහවීම සුදුසු වන්නේ නැත. සාර්ථක වන්නේ දෙවන විවාහයයි. එහෙත් අංක 6 හිමියන් නිතියක් වශයෙන් ඉක්මනට විවාහ වේ. කෙසේ වෙතත් ඔහු ආදරය කරන අය වෙත ඇති වගකීම නිසි පරිදි ඉටුකිරීමට වගබලා ගනු ඇත. ආදරවන්ත හැගීම් නොමැතිව ජීවිතයෙන් පලක් නොමැත. අංක 6 හිමි ගැහැනු පිරිමි සෑම අයෙක්ම තමාගේ සම්බන්ධතා තුළ අනෙකාට ඊර්ෂ්‍යා කරයි. තර්කානුකූල නොවන ප්‍රශ්න හමුවේ කෝප ගැනීම්වලට ගමන් කරයි. පසුව ඒ බව අවබෝධ වි පසුතැවිලි වේ. සමාව දීමට ඉක්මන් වෙයි. එහිදි ගන්නා ක්‍රියාමාර්ග අනෙක් පුද්ගලයන් සිනා ගන්වන සුලුය. විවාහය සඳහා පෞද්ගලික අංක 4 හො 8 සහකරුවකු හෝ සහකාරියක් කිසිසේත්ම ගැළපෙන්නේ නැත.

මුදල් ඉපැයීමට දක්ෂයෝ වෙති. පෞද්ගලික අංක 6 හිමියන් සඳහා වඩාත්ම ගැළපෙන්නේ ඇස සේම සිත පිනවන වෘත්තින්ය. එම නිසා ආහාරපාන සම්බන්ධ ව්‍යාපාර සියලු ආකාරයේ හෝටල්, නිවාස සැරසිලි කරුවන්, මල් ශාලා, ගෙවතු නිර්මාණය කිරිම, සහ කලාවට සම්බන්ධ ව්‍යාපාර ඉතාමත් යෝග්‍ය වේ. ඔවුනට සංවිධානාත්මක හැකියාවන් සහ ව්‍යාපාරික හැකියාවන් දෙකම පවතින බැවින් සෑම ක්‍ෂේත්‍රයකම සාර්ථක වේ. හමුදා නාවික සහ රජයේ තනතුරු දැරීම්වලදි ඉතා සාර්ථක වේ.

එසේම අංක 6 හිමියන් කායිකව සහ මානසිකව දරා ගැනීමේ ශක්තිය අතරින් ඉදිරියෙන් සිටිති. ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තුරු ගැටලුවක් අල්ලාගෙන සිටිමට තරම් දක්ෂ වේ. නායකයින් සේ ක්‍රියාකිරීමට හැකියාව ඇති අතර වගකීම් නිසි අයුරින් ඉටුකරන පුද්ගලයන්ය. ඉතා විශ්වාසනීය ගෞරවනීය මිත්‍රයෝ රැසක් සිටිති. විශේෂයෙන්ම කලා ක්‍ෂේත්‍රයෙහි දක්ෂකම් පවත්වන පුද්ගලයන් ඇසුරු කිරිමේ කැමැත්තක් දක්වන අතර මිතුරු ඇසුරේදී විශ්වාසය බෙහෙවින්ම බලාපොරොත්තු වේ. සෞඛ්‍යමය ගැටලු වශයෙන් මෙම පුද්ගලයන්ට හෘදයේ දුර්වලතා දියවැඩියාව, වකුගඩු දුර්වල වීම ආදි රෝගයන් සෑදීමේ ඉඩකඩක් පවතින බැවින් අවබෝධයෙන් කටයුතු කළ යුතුය. මොවුන්ගේ දුර්වලතා අතර තමන්ගේ මතයෙහිම පිහිටා කටයුතු කිරීම, අන්‍යයන්ට උපදෙස් දීම, එක් පැත්තක් ගෙන කටයුතු කිරීම, අනුන්ගේ වැඩවලට ඇඟිලි ගැසීම ආදිය දැකිය හැකිය.

මොවුනට සියලු කටයුතු සඳහා සුබ දිනයන් වන්නේ මාසයේ අංක 6ට යෙදෙන 6,15,24, දිනයන්ය. සතියේ සුබ දිනයන් වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදාය. මේ දිනයන් ඕනෑම මාසයක පොදු නමුත් ඉතාම වැදගත් කටයුතු සදහා අප්‍රියෙල් මාසයේ 20 ත් මැයි මාසයේ 20 අතර හෝ සැප්තැම්බර් මාසයේ 21ත් ඔක්තෝම්බර් 21 අතර කාලය තෝරාගන්න. වැදගත් වසර වන්නේ 6,15,24,33,42,51,60,යන වසර වේ. මිතුරන් ලෙස පෞද්ගලික අංක 3,5,6,9 පුද්ගලයන් ඉතාම ද සුදුසු වේ. නමුත් පෞද්ගලික අංක 1,2,7,හිමියන් ද මිතුරුකමට සුදුසු වේ. ජිවිතයේ සාර්ථකත්වය සදහා නිල් පැහැයේ සියලුම ප්‍රභේද, රෝස වර්ණයන් භාවිතා කරන්න. කලු වර්ණය රුචිකමක් දැක්වුවාට භාවිත කිරීම ගැටලු සහගත වේ. ඉහත වර්ණවලින් සැදුම් ලත් ඇඳුම් හෝ කුඩා ලේන්සුවක් හෝ භාවිත කරන්නේ නම් මැනවි. අංක 6 හි විකල්ප අංකයක් නැත. ඔහුන්ගේ වසනාවන්ත මැණික් වනුයේ ටර්කොයිස්ය. මෙම ගල් කැබැල්ලක් සමෙහි ගැටෙන්නට පැළදිය යුතුය.

 

ලබන සතියේ පෞද්ගලික අංක 7 හිමි අයගේ ජීවන තොරතුරු කථා කරමු.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.