අත්ලෙන් හෙළි වන ජීවිත රහස්

ශනි මණ්ඩලය
මැයි 19, 2023

ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපට බලපාන කරුණු කාරණා රැසක් තිබේ. විවාහය,ව්‍යාපාර,රැකියා, සෞඛ්‍ය,අධ්‍යාපනය ඉන් කිහිපයකි. එම නිසා ජීවිතයේ සාර්ථකත්වයට බලපාන එම සාධක නිවැරැදි මඟක හසුරුවා ගැනීම සිදු කළ යුතුය. එසේ ක්‍රියා කිරිමට නම් එම සාධක අපගේ ජීවිතයට බලපාන්නේ කෙසේ දැයි පුර්ව අවබෝධයකට පැමිණිය යුතුය. ඒ සඳහා අප සැමට හස්ත රේඛා ශාස්ත්‍රය මහඟු පිටුවහලක් වනු නිසැකය.

හස්ත පරීක්ෂාවේදි මණ්ඩලවලට සුවිශේෂ වූ වැදගත්කමක් ලබාදෙන බව පෙර ලිපිවලද සඳහන් කෙළෙමි. ඒ අනුව සෑම මණ්ඩලයක්ම පුද්ගලයකුගේ තෙවදෑරුම් ගතිගුණ පෙන්නුම් කරයි. එනම් කායික ගතිගුණ,මානසික ගතිගුණ,සහ සෞඛ්‍ය තත්ත්වයන් වේ. සෞඛ්‍ය තත්ත්වයන් ගැන සැලකීමේදි ආතරයිටිස්, ස්නායු ආබාධ, අංශභාගය, අක්මා ආබාධ, කකුල්වල නහර ගැට ගැසීම, වැටීම් හා අත් පා බිදිම් වැනි හදිසි අනතුරු වැනි රෝගාබාධයන් ශනි මණ්ඩලයෙන් හඳුනාගත හැකි රෝගාබාධයන් වේ.

ශනි (මැද) ඇඟිල්ලේ ආරම්භය හා හෘද රේඛාව අතර කොටස ශනි මණ්ඩලය වශයෙන් හැඳින්වේ. සෙසු මණ්ඩල අතුරින් ශනි මණ්ඩලය ප්‍රධාන සේ මණ්ඩල ලක්ෂ්‍යය ද නිසි ලෙස පිහිටා ශනි ඇඟිල්ලද ප්‍රබල නම් ඔහු කෙරේ ශනි හිමි ගුණාංග පැහැදිලිව දැකිය හැකිය. මනා ශනි මණ්ඩලයක් නම් අරමුණ කරා යන භාග්‍යවත් අයෙකි. විද්‍යාඥායින් ඉංජිනේරුවන් මෙන්ම මන්ත්‍රධාරින් ඔහුන් අතර වේ. ඔවුහු ජීවිතයේ යථා ස්වභාවය හඳුනන්නෝය. හදෙකලාව ප්‍රිය කරන අතර සොබා දහමට ළැදි පුද්ගලයින් වෙයි. භාරගත් වැඩ කොටස් වගකීමෙන් යුතුව අවංකවම අවසානය දක්වාම කරන. ශක්තිමත් ශරිරයක හිමිකම් කියන අය වේ.

ශනි මණ්ඩලය ප්‍රබලව ඇති පුද්ගලයන් ගුප්ත ශාස්ත්‍ර හා ඒ හා බැඳුණු විෂයයන් ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන පුද්ගලයන් වේ. අනුන් කෙරේ ලොකු විශ්වාසයක් නොමැති අතර, දුක් කරදර ඉවසීමේ ශක්තියක් ඇති පුද්ගලයන්ය. තනිකම බෙහෙවින් අගයන බැවින් මොවුන්ට මිතුරන් අඩුය. යහපත් දෛව රේඛාවක් සහිතව ප්‍රබල ශනි මණ්ඩලයක් හිමි අය මූල්‍යමය වශයෙන් පොහොසත් පුද්ගලයෝය. මහන්සි වී වැඩ කිරිම සහ ඉවසීම ඒ සඳහා සෘජුවම බලපායි. මොවුන් විවාහ ජීවිතයකට එතරම් මනාපයක් නැත. හුදෙකලා බව ප්‍රිය කරන නිසාත් විරුද්ධ ලිංගිකයන් කෙරේ ආශාව අඩු නිසාත් විවාහ ප්‍රමාද කරයි.ගතානුගතික සිරිත් විරිත් මත එල්බ සිටින බැවින් අවස්ථානෝචිත අනුවර්තනවලට තම සහකරුට හෝ සහකාරියට ඉඩ නොදේ. එම නිසා විවාහ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ශනි මණ්ඩලය ප්‍රබල සහකරුවෙක් හෝ සහකාරියක් සරණපාවා ගත යුතුය.

අති ප්‍රබල ලෙස ශනි මණ්ඩලය පිහිටා ඇති පුද්ගලයන් දූෂිත අදහස්වලින් පිරුණු උදිසීන බව සහ අධි සංවේදි බවින් යුතු පුද්ගලයන් වන අතර කලකිරිම නිසා සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹිය හැකි පුද්ගලයන් වේ. එසේම දුබල ශනි මණ්ඩලයක් හිමි කෙනකු හිතුවක්කාර ඊර්ෂ්‍යා සහගත දැඩි ගති ඇති අය වේ. බොහෝ අපරාධකරුවෝ ශනි මණ්ඩලය දුබල අය වෙති. සමාජ සාරධර්ම නොසලකා ධනය බලය ලබා ගැනීමට කුමන ආකාරයේ හො පහත් වැඩක් කිරීමට පෙලඹේ. මෙවැනි පුද්ගලයන් දියුණුවීමට අවශ්‍ය නම් වාසනාව පිළිබඳ අධි අදහස් හිතින් අයින්කර උනන්දු වී වැඩ කළ යුතුය. රහසිගත වැඩ කිරිමේ ප්‍රවණතාවය සත්‍යවාදි නොවීම සහ පළිගැනීමේ චේතනාවත් අයහපත් ලක්ෂණ වේ.

ශනි මණ්ඩලය මත ත්‍රිකෝණයක් පිහිටීම විද්‍යාත්මක ඉගෙනීම්වලින් ජයග්‍රහණය ලබන සහ ගුප්ත ශාස්ත්‍ර මැජික් විෂයන් ගැඹුරින් හැදැරිය හැකි ලක්ෂණයක් වේ. ශනි මණ්ඩලයේ කතිරයක් පිහිටියේ නම් බලාපොරොත්තු බිඳ වැටෙන පිහිටීමක් වෙයි. එමෙන්ම ගුප්ත ශාස්ත්‍ර වැරැදි වැඩ සඳහා යොදා ගැනීම සිදුකරයි. දරුඵල අඩුය. එල්ලුම් ගස් යාමෙන් මරණය සිදුවිය හැකිය. ප්‍රබල දෛව රේඛාවක් සහිතව තරු සලකුණක් ශනි මණ්ඩලය මත නම් ඔහු අදෘෂ්‍යමාන බලයක් නිසා ඉතා උසස් තනතුරකට පත්වේ. නමුත් ඒ නිසාම අවාසනාවන්ත ලෙස ප්‍රසිද්ධියේ මරණයට පත්විය හැකි තත්ත්වයකි. මෙහිදි අත් දෙකම පරික්‍ෂා කළ යුතු වේ. මණ්ඩලය හරිමැද තරුවක් නම් සුව කළ නොහැකි රෝග සහ අංශ භාගය සෑදීමට පුළුවන. එම නිසා ප්‍රවේශම් විය යුතුය. දෛව රේඛාව කෙළවර තරු සලකුණ නම් පුද්ගලයා මිනීමරුවෙක් බවට පත් විය හැකි තත්ත්වයකි. තරුව පිහිටන්නේ රවි මණ්ඩලය සහ ශනි මණ්ඩලය අතර නම් විදුලියෙන් සර්පයන්ගෙන් ප්‍රවේශම් විය යුතුය.

දුපත ද ශනි මණ්ඩලයේ අවාසනාවන්ත සලකුණකි. මොවුන්ගේ දුර්වලතා නිසා අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට නොහැකිය. මතක ශක්තිය දුර්වල කිරිමට හේතු කාරනා යෙදෙන බැවින් අවධානයෙන් කටයුතු කළ යුතුය. එසේ නැති නම් මානසික රෝගියකු ලෙස සමාජයේ පුද්ගලයින් ඔහුන්ව හැඳිනීමට පෙලඹේ. ශනි මුදුව සියලු උත්සාහයන් බිඳ වැටෙන බව පෙන්වන සලකුණකි. මේ සලකුණ පිහිටි අත්ල හිමියෝ හුදකලාව මෙන්ම බණ භාවනා ආදියේ යෙදී සිටීමට මහත් සේ ප්‍රිය කරති. ශනි මුදුවෙන් රේඛාවක් දෛව රේඛාවට යන්නේ නම් වරින් වර ගිහි ජීවිතයත් පැවිදි ජීවිතයත් ගත කරන පුද්ගලයෙකු වේ.

ශනි මණ්ඩලය මත දැල් සලකුණ මිථ්‍යා ඇදහිලි සහ විශ්වාස සහිත අයෙකු බිහි කරන අතර කේෂික රේඛා පවතින්නේ නම් පපුව සම්බන්ධ අනතුරු සිදුවිය හැකි බැවින් අවධානය යොමු කළ යුතුය. තනි සිරස් රේඛාවක් වසනාවන්ත ලෙස තෘප්තිමත්ව ජීවිතය ගත කිරීමට අවස්ථාව සලසා දෙන අතර මහලු කාලයේ සාර්ථකව පී‍්‍රතිමත්ව ගත කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන පිහිටීමකි.

ශනි මණ්ඩලය සහ ගුරු මණ්ඩලය ප්‍රබල ලෙස පිහිටා ඇත්නම් ශනිගෙන් ලැබෙන ශාස්ත්‍රීය ශිල්පීය නිපුණත්වයට ගුරුගේ ගති ආරෝපණය වීමෙන් මුදල් මෙන්ම සමාජයීය තත්ත්වයන් ලබා ගැනීමට ශනි පොළඹවයි. මූලිකත්වය ගෙන කටයුතු කිරිමේ හැකියාව නිසා ශනි මණ්ඩලයේ ලක්ෂණයක් වන හුදෙකලා වීමේ ගතිය අඩුකරයි.

යම් අයකුගේ ශනි මණ්ඩලය සහ රවි ප්‍රබල නම් මණ්ඩල දෙකේ එකිනෙකට වෙනස්වු ගුණංගයන් සමබර වි ශනි මණ්ඩලයෙන් පෙන්වන අඳුරු ස්වභාවය අඩුකර රවි මණ්ඩලයෙන් පෙන්වන දිප්තිමත් භාවය එකතු කරගෙන කලාත්මක දෙයට ළැදි විනෝදයට බර පුද්ගලයෙකු බිහි කරයි.

එසේම ශනි මණ්ඩලය එකතුව බුධ මණ්ඩලය ප්‍රබල නම් විද්‍යාත්මක පර්යේෂණවලට සහ ව්‍යාපාරවලට දක්ෂ පුද්ගලයෙකු කරයි. තවද බොහෝ කපටි කෛරාටික වැඩ කිරීමට යොමු වන අයකු වේ.

සතුරන් ඇතිකර ගනිමින් විනාශකාරි ආරාවුල්වලට පැටලෙන අයෙකු ශනි සහ කුජ මණ්ඩල ප්‍රබල වීමෙන් බිහිවේ.

දාර්ශනික හා ගුප්ත විද්‍යා කෘතීන් සිත් ගන්නා ආකාරයෙන් එළි දැක්වීමේ හැකියාව ශනි සහ සඳු මණ්ඩලයන් ප්‍රබල වීමෙන් ලැබේ. නමුදු ලෝකය කෙරෙහි කලකිරී දිවිහානි කර ගැනීමට ද මෙවැනි පුද්ගලයන් යොමු විය හැකිය.

ශනි මණ්ඩලය පමණක් ප්‍රබල වීමෙන් විවාහ දිවියට රුචියක් නොදැක්වු පුද්ගලයන්ගේ සිකුරු මණ්ඩලයද ප්‍රබල වීමෙන් ශෘංගාරාත්මක දේ පිළිබඳව සිතිමට පෙලඹීමක් ඇති කරයි.

කරුණු එසේ වෙතත් අප අවබෝධ කර ගත යුතු වන්නේ පුද්ගලයෙකුගේ අනාගතය ධෛර්යයෙන් සහ බුද්ධියෙන් මෙහෙයවා ගොඩනඟන අනාගතයක් ම නොවන බවත් යම් මුලික සැලැස්මක් තුළ අප ගමන් කරන බවත්ය. එසේ වුවද එම මූලික සැලස්මද වෙනස් කරගත නො හැක්කක් නොවේ. බුද්ධිය හා ධෛර්ය මෙහෙයවා දුර්විපාක මඟහරවාගත හැකි වනු ඇත. ඒ අනුව වෙනස් කරගත යුතු සැලැස්ම පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුවේ.ඒ සඳහා හස්ත රේඛා ශාස්ත්‍රය උපයෝගී කොටගෙන ඉමහත් ප්‍රතිඵල ලබා ගත හැක.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මනෝ විද්‍යා උපදේශක,හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්දන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.