සෙනසුරු අපලයට ප්‍රතිකර්ම

මාර්තු 31, 2023

ජන්මියෙකුට ලබන්නා වූ අපල අතුරින් සෙනසුරු අපලය ප්‍රධාන තැනක් ගන්නා අතර, විශේෂයෙන් එය ආකාර තුනකින් යෙදෙයි. එනම් ශනි ග්‍රහයා උත්පත්ති කේන්දරයේ ජන්ම සඳු මතින් ගමන් කිරීම ජන්ම ඒරාෂ්ටක අපලය වශයෙන්ද ජන්ම සඳුගෙන් අටවැන්නේ ගමන් කරන කාලය අෂ්ටම ඒරාෂ්ටකය වශයෙන්ද ජන්ම සඳුගෙන් හෝ ජන්ම ලග්නයෙන් දොළොස්වැන්න, පළමුවැන්න හා දෙවැන්නේ ගමන් කරන කාලය චන්ද්‍ර හෝ ලග්න ඒරාෂ්ටකය වශයෙන් හඳුන්වයි.

 

නමුත් මෙහිදී ඒරාෂ්ටක යන වචනය අපල අවස්ථා තුනේදීම යොදා ගත්තත් ඒරාෂ්ටකය කියා සත්‍ය වශයෙන්ම හැඳින්විය හැක්කේ සඳුගෙන් 8 වැන්නේ සෙනුසරු ග්‍රහයා ගෝචර වන කාලයටයි. ඒර යනු සඳුයි. අෂ්ටක යනු අටයි. එනම් ඒර + අෂ්ටක = ඒරාෂ්ටක වනු ඇත. මෙම අපල කාලයන්වලදී ජන්ම ඒරාෂ්ටකය බලවත් වන බව පුරාණ ඉසිවර මතයයි. විශේෂයෙන්ම සඳුගෙන් නියෝජනය වන්නේ පුද්ගලයාගේ මනසයි. මේ අනුව සඳු මතින් ශනි ග්‍රහයා ගෝචරය වීමේදී වරින් වර මනස වේදනාකාරි තත්ත්වයන්ට පත්වනු ඇත. ඒ තුළ මනස අඩාළ වීම මත පුද්ගල ක්‍රියාකාරීත්වය අඩාළ වනු ඇත. එම තත්ත්වය පුද්ගලයාගේ දෛනික ජීවිතයට බලපානු ඇත. ලග්න ඒරාෂ්ටකය වසර හතහමාරක් පවතින අතර, ජන්ම හා අෂ්ටම ඒරාෂ්ඨක වර්ෂ දෙකහමාරක් පවතිනු ඇත.

 

සෙනසුරු කාරකත්වය

ඕනෑම ජන්ම පතක 6,8 හා 12 යන රාශිවලට සෙනසුරු ග්‍රහයා කාරකත්වය දරනු ලබන අතර, මිනිස් සිරුරේ මහා බඩවැල, අත් ඇට, ඇලදිව, පිටකොන්ද, මුත්‍රාශය, කන යන ඉන්ද්‍රිය කොටස් සෙනසුරුට අයත් වන අතර, පරිසරයේ අපවිත්‍ර ස්ථාන පර්වත කැලෑ කඳු අයත් වේ. සෙනසුරු ග්‍රහයා අයහපත් වූ කල්හි පිළිකා, උගුරේ ආබාධ, කෘෂ රෝග, ඔක්කාරය, යටිබඩ කොරවීම්, වාත රෝග, දත් දිරා යාම්, කන් බිහිරි කරවීම මෙන්ම පක්ෂාගාත රෝග ආදියද හට ගැනීමේ අවදානමක් පවතී.

මේ අප ගත කරන්නේ කලියුගයයි. එනම් පෘථිවියේ අවසාන යුගය වන කලියුගය තුළ සෙනසුරුගේ ක්‍රියාකාරීත්වය හා බලය වැඩි වී පරිසරයේ අභ්‍යන්තර සාධක මෙන්ම මිනිසාගේ සිතුවිලි ද විනාශ වී ගොස් මිනිසා නොමිනිසා වනු ඇත. එම තත්ත්වය අපට වර්තමාන ජන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලිවම දැක ගත හැකිය. එසේම සෙනසුරු තමන්ට සතුරු රාශියකට මාරුවීම තුළින් එම අපල හා පීඩාකාරි තත්ත්වයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වේ.

 

යහපත හා අයහපත

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් අතරින් කිසිදු තෙතමනයක් නැති නමුත් සියල්ල දරා ගැනීමේ ආත්ම ශක්තියක් ඇති ග්‍රහ මණ්ඩලයේ විශාලතම මෙන්ම වියළිතම ග්‍රහ ලොව වන සෙනසුරු, නැතිනම් හෙනහුරා ලෙසින් පෘථීවි මිනිසා අතර, ජනපි‍්‍රයතම ග්‍රහ ලොවකි. අන් ග්‍රහයන් මෙන් නොව විවිධ වූ අපල අවස්ථා රාශියකට සෙනසුරු හිමිකම් කියනු ලබයි. එසේම නම කියූ පමණින් පෘථිවි වාසීන් නවග්‍රහයින් අතරින් වඩාත්ම බියජනකම ග්‍රහ ලොව වන්නේද සෙනසුරුය. දුකට අධිපති ශනි ග්‍රහ දේවරාජ්‍යයේ මෙහෙකරුවාය. බටහිර දිශාවට අධිපතිත්වය දරන්නේද සෙනසුරුය. ජලයටත් වඩා අඩු ඝනත්වයකින් යුතු ශනි ග්‍රහයා වළලු 3කින් යුතු අතර, එම වළලු 3 නිර්මාණය වී ඇත්තේ චන්ද්‍රයන් තිදෙනෙකු විනාශ වී එම දූවිලි පටලවලින් බව දැනට සොයා ගෙන ඇත. එම නිසාවෙන් ශනිගෙන් විහිදෙන කිරණ ශක්තිය අපට බෙහෙවින්ම අහිතකරය. ඔහු මහල්ලෙකි, කොරෙකි. ඔහු වියළිය. ගෝලාකාරය. ඔහු වටා වළලු තුනක් ඇත. ඔහු නිසි තැන නිසි ලෙස වරදට දඬුවම් දෙන වධකයෙකි. නමුත් ඔහු ජීවිතය ගැන කියා දෙන්නෙකි. ජීවිතයේ ලෝකෝත්තර බව අවබෝධ කර දෙන්නෙකි. එසේම ඔහු යහපත් අවංක සිල්වත් මිනිසාට අවංක වූ හිතවතෙකි. හොඳ මිතුරෙකි. සියල්ල ලබා දෙන පස මිතුරෙකි. සෙනසුරුට ආගමක් දහමක් නැත. ඡ්‍යෝතිෂය පිළිගන්නා නොගන්නා සියලු දෙනාටම විපාක දීමට ඔහු කිසිවිටක පසුබට නොවේ. තමන්ගේ ගෝචර ගමනේදී රාශින් 12ටම වද දෙමින් වම්පස කොර කරමින් මිනිස් සංහතියම බිය වද්දන සෙනසුරු අයහපත්ව සිටිනා කොතනක වුවත් එතන විනාශයකි. ඒ සෙනසුරුගේ ආවේණික ගති ලක්ෂණයි. චන්ද්‍රයන් දස දෙනෙකු පිරිවරාගෙන කිලෝ මීටර 24000ක වපසරියකින් යුතු වායුගෝලයක් තුළ සිට අපට වින කරන සෙනසුරු යහපත් ලෙස අපගේ ජන්ම පත්‍රයේ පිහිටා යහපත් ග්‍රහ දෘෂ්ටියක් ලබා දෙන්නේ නම් එම බලය අපට වෙනත් කිසිදු ග්‍රහයෙකුගෙන් ලබා ගත නොහැක. සුබව පිහිටි කල සෙනසුරු එතරම්ම සුබවාදී ග්‍රහයෙකි. එසේ නම් මෙම සෙනසුරු මාරුවෙන් ආරක්ෂා වීමට අපට අනුගමනය කළ හැකි ග්‍රහ ශාන්ති කර්ම මොනවාදැයි බලමු.

 

ග්‍රහ ශාන්ති කර්ම

එම නිසා සෙනසුරුගෙන් උදා වන්නා වූ ග්‍රහ අපල සඳහා පහත සඳහන් වත් පිළිවෙත් ඉටු කිරීම තුළින් එම ග්‍රහ අපල තත්ත්වයන්ගෙන් බොහෝ දුරට අත්මිදීමේ හැකියාව ඔබට උදා වනු ඇත.

ඔබ බෞද්ධයෙකු නම් පුර පක්ෂයේ දින 09ක බෝධි පූජාවක් පැවැත්වීමත් තමාගේ උසට මල් මාලාවක් අමුණා ඊට තමාගේ වයසට අදාළව නිල්මල් එකතු කිරීමත් බෙහෙත් ඖෂධ වර්ග 09ක් පූජා කිරීමත් කිරිකොළ 09ක තබා එළඟිතෙල් පහන් 09ක් දැල්වීම තුළින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ අපල තත්ත්වයන් දුරු කර ගැනීමේ හැකියාව ඇත.

සෙනසුරු වෙනුවෙන් සකස් කරන ලද නව ග්‍රහ මංජුසාවක් අදාළ දින 09ක කාලයක් පිළිවෙත් කොට සෙනසුරාදා දිනක ශනි හෝරාවෙන් දියෙහි පා කර හැරීම ඉතාම සුබදායක වනු ඇත.

සෙනසුරු ඒරාෂ්ටක ශනි මහ දශා හා අතුරු දශා අපල පවතින විට සෙනසුරු ග්‍රහයාට අයත් වෘක්ෂය වන නුග වෘක්ෂයට සාත්තු කිරීම මෛත්‍රී භාවනාව වැඩීම සුබදායක වේ.

සෙනසුරාදා (ශනිදා) දිනවල උදේ 6/7ත් අතර, එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ගුළි 8ක් තම හිස වටා කරකවා කපුටන්ට කෑමට දෙන්න. (වතුර බේසමක්ද තබන්න)

දුගී මගී අත් පා නැති ඇස් අන්ධ හා ආබාධිත අසරණ අයට උදව් උපකාර කරන්න. (ආහාර ඇඳුම් පැළදුම් හා මුදල්)

හැකි සෑම විටකම තමා කන බත් පතෙන් මිටක් ඉගිලී යන සතෙකුට කෑමට දෙන්න.

හිරවී සිටින කුරුල්ලන් ජෝඩු වශයෙන් බේරා ගෙන නිදහස් කරන්න.

ගලා යන ජලයේ ජීවත්වන මාළුන්ට වී පොරි ස්පර්ශ කර කෑමට දෙන්න.

දරුවන් ලැබූ හා ලැබෙන්න ඉන්නා වූ අයට ඇප උපස්ථාන කරන්න.

අමාවක පොහොය දිනවල තමාගේ වයසට අදාළව බෝධියක් අභියස එළඟිතෙල් පහන් දල්වන්න

ගිලන්ව සිටිනා සිල්වත් භික්ෂුවකට බෙහෙත් ඖෂධ පූජා කරන්න.

මහලු වැඩිහිටියන් වාසය කරන නිවාසයකට උදෑසන කොළකැඳ පානයක් දන් දෙන්න.

විෂ්ණු දේව රාජෝත්තමයන් වහන්සේ වෙනුවෙන් බාරහාර වීම, පූජා පැවැත්වීම, පිහිට ඇයද සිටීම, සෙත්කවි කියවීම ඉතා සුබදායකය.

අතපය වාරු නැති අයහට මෙන්ම යාචකයන්ට සෙනසුරාදා දිනවල රතු කැකුළු බත් එළවළු වෑංජන සහිතව දන්දීම සුබදායක වනු ඇත.

නීල මණ්ඩල යන්ත්‍රය, ශනි මෘතුංජය , විෂ්ණු අඝෝර යන්ත්‍රය යන යන්ත්‍ර නිසි ආකාරව බල පිහිටුවා පැලඳීම සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාර ගැනීම.

කළුතල අංජනකැට වී පොරි, සතකුප්ප, බැවිල, සුවඳකොට්ටම්, දේවදාර ,කලාඳුරු අල යන ඖෂධ සමවගෙන තම්බා නිවා ස්නානය කිරීම.

කිරි අම්මාවරුන්ට දානයක් දීම

නුග කොළ මිශ්‍ර වතුර ස්නානය කිරීම

නිල්පාට මල් වැඩිපුර පූජා කිරීම

ඉහත සඳහන් අදාළ ග්‍රහ ශාන්ති කර්ම හා සෙනසුරු අපල වෙනුවෙන් සෙනසුරාදා දිනවල බෝධි පූජා පවත්වා එම ලබා ගත්තා වූ පින් ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා අනුමෝදන් කිරීම තුළින් ඔබටත් සෙනසුරුගෙන් සිදු වන්නා වූ අපල හා පීඩාවලින් සහනයක් ලබා ගත හැකි වනු ඇත.

 

ඡ්‍යෝතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක

සම්පත් එස්.කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.