පළමු භාවය

ජනවාරි 27, 2023

 

ලග්නය ශුභ රාශියක් වී ලග්නාධිපති ශුභ ග්‍රහයකු වූයේ නම් ජන්මියාට ශුභ තත්ත්වයක් උදා වේ. ලග්නය ශුභ ග්‍රහයකු විසින් දකිනු ලබයි නම් ශුභ ග්‍රහයන් සමඟ යෝග වූයේ නම් ජන්මියාට යහපත් තත්ත්වයක් උදා කරගත හැකි වේ.

 

ජන්ම කේන්ද්‍රයේ ඇත්තේ කොටු 12කි. එයින් පළමු කොටුව ලග්නය හෙවත් පළමු භාවය ලෙස හැඳින්විය හැකිය. මේෂ, වෘෂභ, මිථුන, කටක වශයෙන් ලග්න දොළහකි. ඒ හැම ලග්නයටම ලග්නාධිපතියකු සිටී. ඒ ලග්නාධිපතිට ජන්ම කේන්ද්‍රයේ කොටු 12 ඕනෑම තැනක සිටිය හැක. ඒ හැම කොටුවක්ම ලග්නාධිපතිට සමඵල නොදෙයි. ලග්නාධිපති සිටින ආකාරය අනුව ජන්මියාට ශුභ අශුභ හා මිශ්‍රඵල ලබා දෙයි.

 

ලග්නය තනු හෙවන් ශරීරය කල්ප හෙවත් ශක්තිය යන නම්වලින් හැඳින්වේ. ජන්මියාගේ ශරීරය ගැන ලග්නයෙන් හෙවත් පළමු භාවයෙන් බැලිය හැකි වේ. ජන්මියාගේ පෞරුෂත්වය සාමාන්‍ය පෙනීම, ගතිගුණ, උස්පහත් බව, වාසනාව අවාසනාව ශරීරයේ හැඩ රුව වර්ණය ආදිය ලග්නයෙන් බලා ගත හැකි වේ. තවද ජන්මියාගේ ස්වභාවය, කීර්තිය, ජන්මියාගේ තම ජීවිත කාලය කෙසේ ද කියා ද බැලිය හැකි වේ. ලග්නය හෙවත් පළමු භාවයෙන් සමස්ත ජීවිතයම විග්‍රහ කළ හැකි වේ. ලග්නය හෙවත් පළමු භාවයට ශරීරයෙහි මුහුණෙහි ඉහළ කොටස සහ හිස ප්‍රධාන වේ. ශරීරයෙහි හම, හිස කෙස්වල ස්වභාවය ලග්නයෙන් පාලනය වේ.

ලග්නයෙන් ජන්මියා ගැන වගේම ජන්මියාගේ බාල සහෝදරයාගේ ලාභ ප්‍රයෝජන ගැන ද බැලිය හැකි වේ. ඒ වගේම තම මවගේ රැකියාව පිළිබඳව ද ලග්නයෙන් බැලිය හැකි වේ. මේ සෑම දෙයක්ම ලග්නයේ සිටින ග්‍රහයන් අනුව ග්‍රහයන්ගේ බල දුබලතා අනුව තීරණය කළ යුතු වේ.

ලග්නය ශුභ රාශියක් වී ලග්නාධිපති ශුභ ග්‍රහයකු වූයේ නම් ජන්මියාට ශුභ තත්ත්වයක් උදා වේ. ලග්නය ශුභ ග්‍රහයකු විසින් දකිනු ලබයි නම් ශුභ ග්‍රහයන් සමඟ යෝග වූයේ නම් ජන්මියාට යහපත් තත්ත්වයක් උදා කරගත හැකි වේ.

ලග්නයේ අශුභ ග්‍රහයකු සිටී නම් ලග්නයට පාප ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබෙයි නම් ලග්නාධිපති පාප ග්‍රහයන් සමඟ යෝගව සිටී නම් ලග්නය පාප කර්තරීව සිටී නම් ජන්මියාට එතරම් ශුභ තත්ත්වයක් උදා නොවේ.

එමෙන්ම ලග්නාධිපති 6, 8, 12 යන ස්ථානයක සිටියේ නම් ජන්මියාට එතරම් ශුභ නොවේ. ලග්නාධිපති 6, 8,12 අධිපතියකු සමඟ යෝගව සිටියේ නම් එයත් ජන්මියාට එතරම් ශුභ නොවේ. පළමු භාවය ගැන කතා කිරීමේ දී පළමු භාවයේ සිටින ග්‍රහයන්ගේ බල දුබලතා ද පළමු භාවය පෙනෙන ග්‍රහයන්ගේ බල දුබලතා මත ජන්මියාගේ ජීවිතයේ ශුභ අශුභ තත්ත්වයන් තීරණය වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.