කටක ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ

චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.
දෙසැම්බර් 16, 2022

 

රාශි චක්‍රයේ සිවු වන රාශිය වන කටක ජලජ රාශියක් වශයෙන් සැලකේ. බොහෝ අස්ථිර ගතියෙන් යුත් නීච රාශියක් නිසා කකුළුවකුගේ ස්වරූපයෙන් කටක රාශිය හඳුන්වනු ලබයි.

 

පැරණි නාමය කැන්සර් කියාද, ඉංගී‍්‍රසි නාමය ක්‍රෑබ් කියාද හඳුන්වනු ලබන කටක රාශියේ අධිපතිත්වය හිමි වන්නේ ග්‍රහ තාරකාවන්ගේ මාතෘකාරක ලෙස සලකන සඳුටය. සෞම්‍ය ගුණයෙන් හා ශීත ගුණයෙන් අධික නිසා එය ජලජ රාශියක් ලෙස හඳුන්වනු ලබනවා. කටක ලග්නයෙන් මෙලොව එළිය දුටු අයෙකුගේ ජීවිතය දෙස අප විමර්ශනයක යෙදුණොත් මොවුන් තුළ අනෙකුත් ලග්න එකොළහේ උපත ලැබූ අයට වඩා වැඩි විශේෂයක් තිබෙන බව පැහැදිලි වෙයි.

විශේෂයෙන් කටක රාශියේදී ගුරු උච්ච වීමෙන් ගුරු හංස යෝගයත් සඳුගෙන් ගුරු කේන්ද්‍රගත වී උච්ච වුව හොත් ගජකේෂරී රාජ යෝගයත්, කටක රැසේ දී කුජ ග්‍රහයා කේන්ද්‍රගතවීමෙන් රුචක යෝගයත් යෙදෙනු ඇත. කටක ලග්නයෙන් උපත ලැබූ අය මනා රූප සම්පත්තියකින් යුක්ත වන අතර, උණුවන හදවතක් ඇති වීමද නිරායාසයෙන් සිදු වන්නකි. මොවුන් හොඳ පාලකයන් වන අතර මනා සංයමයකින්ද යුක්ත වනු ඇත. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකද කටක ලග්නයෙන් උපත ලබා ඇති අතර, ලෝකයේ සිටින අග්‍රගණ්‍ය පුද්ගලයෝද මෙම ලග්නයෙන් උපත ලබා ඇත. මොවුන් යුක්තිය, සාධාරණය බෙහෙවින් අගය කරන්නෝ ය. මොවුහු තුළ සහජයෙන්ම උපදින හැකියාව තුළින් ජනතාව එක්රැස් කර දේශන පවත්වා ඔවුන්ගේ සිත් දිනා ගැනීමට තරම් සියුම් ඥාණ ශක්තියක් පවතිනු ඇත. එබැවින් දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රබල පිටුවහලක් වශයෙන් කටක ලග්න හිමියන් අවිවාදයෙන්ම හැඳින්විය හැක. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මහත්මා ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් හා ජනතා නායකයින්ද කටක ලග්නයෙන් උපත ලබා ඇත. අන් අයගේ අදහස්වලට එතරම් සවන් නොදීමත් තමාගේ මතය හරි යයි සිතීමත් කටක ලග්න හිමියන් තුළ ඇති දුර්වලකමකි. නිතර සිතිවිලි වෙනස් කිරීම මොවුන් කෙරෙන් දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයකි.

කකුළුවාගේ ස්වරූපය මෙන් අනුන්ට උපදෙස් දෙමින් තමන් ඒ වරද කිරීමත්, අල්ලාගත් දෙය අත නොහරින ගතියත් කකුළුවාගේ ස්වභාවයයි. කටක ලග්න හිමියාද මේ හා සමාන වේ. යමක් අල්ලාගත හොත් අත්නොහරින අයෙකි. හිතවත් අයට වඩාත්ම හිතවත් වන අතර අහිතවත් අයට වැඩි සතුරුකමක් පෙන්වයි. කටක රාශිය ජලජ රාශියක් නිසා බොහෝ විට ජලය ආශි‍්‍රතව කරන කටයුතුවලින් හා වරින් වර වෙනස් කරන කටයුතුවලින් ආර්ථිකය ශක්තිමත් කරගනී. ජලජ සම්පත් හෝ ජලයෙන් ඇති වන මුතුමැණික් මෙන්ම සිසිල්බීම හෝටල් ආදී දියර ද්‍රව්‍ය ආශි‍්‍රත කටයුතුවලටද වැඩි රුචියක් දක්වති. කටක ලග්න හිමි කාන්තාවෝ තම සහකරුගේ රූපය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වති. තම අනාගත සහකරුගේ උස, රූපය, පැහැය ආදිය ගැන වුවමනාවටත් වඩා සැලකිලිමත් වෙයි. මේ නිසා ඔවුන්ගේ විවාහය ප්‍රමාද වේ. කටක ලග්න හිමිකාරියන් බොහෝ චංචලය. තම මතයේම එල්බගෙන සිටීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය. මේ නිසා නිතරම තම සහකරු හා ගැටුම් ඇති කර ගනී. ඉක්මන් කෝපයත්, හදිසි තීරණත් නිසා නිතර සැමියාගේ දෝෂ දර්ශනයට ලක්වෙයි. පරිත්‍යාගශීලි ගුණයත්, අනුකම්පාවත් කටක ලග්න හිමිකාරියන් තුළ තිබීම නිසා අන් අයගේ සිත් දිනා ගැනීම පහසු ය. මොවුන් කුඩා කාලයේ සිටම සමාජ සේවයට ළැදිය.

කටක ලග්න හිමියන්ගේ තුරුණුවිය සාමාන්‍යයෙන් තරමක් රෝගීබවින් යුක්තය. ඔවුන්ගේ සෞඛ්‍ය දුර්වලකම් බොහෝ විට ඇති වන්නේ තරුණ වයසේදී ය. කටක ලග්න හිමියන්ගේ ඇතැමෙක් වාත ආබාධයෙන්ද ප්‍රමේහ රෝගවලින්ද පීඩා විඳිති. එමෙන්ම සෙම් රෝග, ඇදුම, පීනස දක්වා වර්ධනනය විය හැක. පෙණහලු රෝග, උගුරේ රෝග, වකුගඩු රෝග, බඩේ රෝග, සමේ රෝග කටක ලග්න හිමියන්ට පොදු වේ.

කටක ලග්න හිමියන්ට බාධක ග්‍රහයින් වන්නේ බුධ, ගුරු, ශනි හා සිකුරු ය. මාරක ග්‍රහයින් වන්නේ සෙනසුරු ය. සෙනසුරු උපතින් අශුභ තැනක පිහිටීම ඉතා භයානකය. එසේ වුව හොත් සෙනසුරුගේ මහ දශාවේ දී හෝ අතුරු දශාවේ දී මාරක විපත් කරදර පමුණුවනු ඇත.

කටක ලග්න හිමියන්ට ඉතා ශුභ දිනය අඟහරුවාදා හා සිකුරාදා වේ. කුජ, සිකුරු, යෝගයත් කටක ලග්න හිමියන්ට ශුභ පල උදාකරයි. බදාදා හා සෙනසුරාදා අශුභ දිනයන් වේ. ඉතා සුදුසු ශුභ වර්ණ සුදු හා ක්‍රීම් පාටය. නිල් හා කොළ අශුභ වර්ණ වේ. දියමන්ති, පුෂ්ප රාග, මැණික් පැලඳීම ශුභයි. ජය අංකය 2, 7, 9 වේ. 5, 8 අංක අශුභ වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.