චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. ඔබේ ලග්නය මේෂ නම්...

නොවැම්බර් 25, 2022


රාශි චක්‍රයේ ලග්න දොළසකි. මෙළොව ඉපදුණ හැම අයකුටම ලග්නයක් හිමිවේ. ලෝකයේ කොතනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන තාරකාව ලග්නය යනුවෙන් හැඳින්වෙයි. දළ වශයෙන් ඔරලෝසු වේලාවෙන් එම ලග්නයට අදාළ තාරකාව පැය දෙකක් පමණ උදා වෙමින් පවතී. ඒ අනුව පැය විසි හතරට ලග්න දොළසක් උදාවේ. ඒ අනුව එනම් ලග්නය අනුව බලපාන එම අයගේ ජීවිත තොරතුරු හා චරිත ලක්ෂණ කෙසේ දැයි සොයා බලමු.

රාශි චක්‍රයේ මුල්ම රාශිය මේෂ රාශියයි. ග්‍රහ මණ්ඩලයේ අඟහරුට හිමිවන මේෂ ලග්නය සංකේතවත් කරන්නේ එළුවකුගේ ස්වරූපයයි. විෂම චර පුරුෂ රාශියක් වන මේෂ රාශිය තුළ අස්විද නැකත, බෙරණ නැකත, කැති නැකතත්, එක් පාදයකුත් හිමි වේ.
චරිත ලක්ෂණ
වේගවත් බවින් අධික, සටන්කාමි බවෙන් යුතු තරුණකම නියෝජනය කරන අඟහරුට හිමි මේෂ රාශියෙන් උපත ලැබූ අය බොහෝවිට සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ සිරුරකට හිමිකම් කියයි. දික්වූ මුහුණක් හා ගෙලක් හිමිවන අතර, යහපත් අංගසම්පූර්ණ අඟ පසඟින් යුක්තය. කඩිසර මෙන්ම ක්‍රියාශීලිය. ගමන් කිරීමේ දී හිස කෙලින් තබාගෙන යාම කැපී පෙනෙන ලක්ෂණයකි. නිතර සටන්කාමිත්වයට බර මොවුහු හැම අවස්ථාවකදීම මූලිකත්වය ලබා ගැනීමට කැමැත්තක් දක්වති. හැමවිටම තමන්ගේ මතයටම අනුව ක්‍රියා කිරීමට පෙලඹෙති. තවත් කෙනකුට යටත්වීමට හෝ ඔහුගේ මතයට එකඟවීමට මැළිකමක් දක්වයි. තමාට අවශ්‍ය දෙය කෙසේ හෝ ලබා ගැනීමට උත්සාහ දරයි. අන් අයගෙන් කීර්ති ප්‍රශංසා ආදිය ලබාගැනීමට වඩාත් කැමැතියි. මේෂ ලග්නයෙන් උපන් අය සමඟ තර්ක, විතර්ක කිරීම, වාද විවාදවලට යාම සුබදායක නොවේ. හේතුව එයින් ඔහුට පරාජය ලැබූවත් දබරකර ගැනීමෙන් හෝ එයින් ජය ලබා ගැනීමට ඔවුන් පෙලඹෙන බැවිනි. කිසිම කාර්යයක් සුළුවෙන් කිරීමට කැමති නැත. හදිසි තීරණ ගැනීමට පෙලඹෙන අය වෙති. හදිසියේම ගන්නා එම තීරණවලින් බොහෝවිට පාඩු සිදුකර ගනී.
රැකියාව
ප්‍රධාන හමුදා නිලධාරීන්, දේශපාලන නායකයින්, කාර්මික ශිල්පීන්, රසායන විද්‍යාඥයන්, විදුහල්පතීන් වෛද්‍යවරන් ද බොහෝවිට මේෂ ලග්නයෙන් ඉපදී ඇත. ගිනි, විදුලිය, ඉන්ධනවලට සම්බන්ධ රැකියා මේෂ ලග්න හිමියන්ට ලැබෙයි. පොළොව ආශි‍්‍රතව කරන කටයුතුවලින් ද වඩාත් ලාභ ප්‍රයෝජන හිමිකර ගැනීමට ඔවුනට භාග්‍යය ඇත.
යන්ත්‍ර සූත්‍ර ආදිය ක්‍රියා කරවීම සම්බන්ධ රැකියා ද මේෂ ලග්න හිමියන්ට උරුම විය හැකි ය. ස්වඋත්සාහයෙන් කෙසේ හෝ උසස් තත්ත්වයකට ඒමට උත්සාහ ගැනීම ඔවුන්ගේ ලක්ෂණයකි. වහා අවබෝධ වන තීක්ෂ්ණ බුද්ධියක්ද හිමි ය.
ගතිගුණ
මේෂය චර රාශියක් නිසා සිතේ චංචල බවක් ඇති කරයි. එහෙත් ගිනි රාශියක් බැවින් යමක් කරගෙන යාමට සිතුවොත් කෙසේ හෝ එය කරගෙන යයි. සිත තුළ ඇති චංචල ගතිය පිටට නොපෙන්වයි. තමාට කෙනෙක් පක්ෂපාති නම් ඔහුට ඉතාම හිතවත් වේ. විරුද්ධ නම් කෙසේ හෝ ඔහු යටත් කර ගැනීමට සිතයි. මේෂ රාශිය හිමි කුජ තරුණ බැවින්ද, තද කාමයට ආශා ඇත්තකු බැවින්ද කොයි කාට යටත් නූනත් තම සහකරුට හෝ සහකාරියට යටහත් බවක් දක්වයි. ඇයගේ හෝ ඔහුගේ අදහස්වලට සැලකිලිමත් වෙයි.
භයානක දේවලට පවා නිර්භයව ඉදිරිපත්වීම මේෂ ලග්න හිමියන්ගේ තවත් ලක්ෂණයකි. ආරක්ෂක අංශවල රැකියාවලටද මොවුන් වඩා ගැළපේ. නිතර කෑම බීමවලට පි‍්‍රය කරන අතර ලස්සනට ඇඳීමට පැලඳීමට හා දුර ගමන් බිමන්වලට ළැදිකමක් දක්වයි. නොඉවසිලිමත් බව හා සාමයට ගරු නොකිරීම මොවුන් තුළ දැකිය හැකි දුර්වලකම් වේ.
විවාහය
මේෂ ලග්නයෙන් උපන් අයට තුලා, මකර, කුම්භ හිමියන් ඇසුරට වඩා යෝග්‍ය වේ. විවාහයේ දී මෙම ලග්නවලින් උපන් සහකරුවෙක් හෝ සහකාරියක් හිමිවුවහොත් විවාහ ජීවිතය වඩාත් සාර්ථක වී දියුණුවට පත්වේ. මේෂ ලග්න හිමියන්ට වෘශ්චික, මීන ලග්න හිමියන් කිසිසේත්ම නොගැළපේ. විවාහයේ දී ප්‍රශ්න ඇති විය හැකි ය. ඔවුනොවුන් හැමවිටම නුරුස්සන ගතියක් පෙන්නුම් කරයි.
රෝගාබාධ
මේෂ ලග්නයෙන් උපන් අයට නිතර නිතර ශරීරයේ ඌෂ්ණ රෝග ඇතිකරයි. තේජෝ ගුණය වැඩිවීම උෂ්ණ රෝගවලට හේතුවේ. මේෂ ලග්න හිමියන්ට වැලඳෙන රෝග අතර ඇඟපත දැවිල්ල, හිසරදය, හිසකෙස් යාම, මොළයේ පීඩා, ක්ලාන්තය, සිහිනැතිවීම, රත්පිත් රෝග, ලේවල සීනි අඩුවීම ආදී රෝග වේ.
මරණය
ශනි, බුධ, සිකුරු ග්‍රහයෝ මේෂ ලග්න හිමියන්ට අසුභඵල උදා කරයි. රවි හා ගුරු හැමවිට ශුභපල උදා කරන ග්‍රහයෝ වෙති. ගුරු, ශනි යෝගය මේෂ ලග්න හිමියන්ට එතරම් ශුභදායක නොවේ. මේෂ ලග්නයෙන් උපත ලැබූ අයට මාරක ග්‍රහයා වනුයේ සිකුරුය. සිකුරු දශා අනු දශා කාලවලදී ඔවුනට විවිධ බාධකවලට මුහුණ පෑමට සිදුවේ. දුර්වල ග්‍රහ ගමනක යෙදෙන කාලවලදී මරණය පවා ගෙනදෙයි. මේෂ ලග්න හිමියකුගේ අටවැන්නේ බුධ, කුජ, ශනි නම් වඩාත්ම සැලකිලිමත් විය යුතු ය. මෙසේ වූ විට මෙම ග්‍රහයන්ගේ දශා කාලය තුළදී ද හදිසි අනතුරුවලින් දිවි හානි වීමට පුළුවන.
මේෂ ලග්න හිමියන් බොහෝවිට රිය අනතුරු, විදුලි අනතුරු, බෝම්බ පිපිරීම් ආදියෙන් අනතුරු පෙන්නුම් කරයි. මේෂ ලග්නයෙන් උපන් අයට ශනි, බුධ, සිකුරු දශා අනුදශා තුළ දී අධිකව ශුභපල උදා කරයි.

හිඹුටානේ
පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.