සිද්ධ සූනියම් දෙවියෝ කවුරුන්ද?

සැප්තැම්බර් 17, 2021

ශ්‍රී ශුද්ධ සූනියම් (ගම්භාර) සුරිඳුන්ගේ උත්පත්තිය හා එම දේව බලය ලබා ගැනීම පිළිබඳව සවිස්තරාත්මකව ප්‍රකාශ කිරීම මෙම ලිපියේ ප්‍රමුඛත්වයයි.

සමහර ලේඛන පෙන්නාදෙන පරිදි දේවතාවරුන් ස්වර්ග සම්පත්තියක් නැතිකර ලොවට බිහිව ඇති දේව විශේෂයකි. තොටගමුවේ “සිරිරහල් හිමි” ඒ බව මෙසේ පවසා ඇති ය. “දෙවියෝ නම් අඹර ගහයෝය. උත්‍ර සුරපුර නොගති අන්අහර, උදක් අමරස මිසක් මනහර” යනුවෙනි.

සූනියම් දෙවිඳු ද මිනිසුන් අතර කිට්ටු සම්බන්ධයක් ඇතිකරගෙන තිබීම නිසා “මස්සිනා” යන ආරූඪ නමකින් හැඳින්වීමට භූත වෛද්‍යවරුන් පුරුදු වූහ. තවද, ඔඩ්ඪිසකුමාර, ගම්භාරදේව, වීරප්පන්, කබලෑ අප්පච්චි, කබලෑ බණ්ඩාර, කබලෑ මුත්තා, දේශකතෘ යන නම්වලින් ද උන්වහන්සේ ජනතාව අතර ජනපි‍්‍රය වී ඇත.

කතෝලික භක්තිකයන් “සන්තියාගු” මුණීද්‍ර යන නමින් හඳුන්වනු ලබන්නේ ද මෙම දෙවිඳුන් ය. බයිබලය හැදෑරීමේ දී ඒ බව ඔප්පුවන්නේ ය. මෙම දෙවිඳුන්ගේ උපත පිළිබඳව නා නා මත පවතී. මහනුවර සමයේ ක්‍රි.ව. 480 - 1706 බලයට පත් වූ සූනියම් නමැති යක්ෂ ගෝත්‍රිකයා පසුව දේවත්වයේ ලා සැළකූ බව ඇතැමෙකුගේ මතයයි.

විශාලා මහනුවර හටගත් “තුන්බිය” දුරුකිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් සියලුම යක්ෂයින් ගෙන්වා දෙන ලෙස සූනියම් යක්ෂයාට සැලකර සිටි බවද ඉතිහාසය පෙන්නා දෙයි.

පෞරාණික තොරතුරු අනුව සූනියම් දේව උපත මෙසේ විග්‍රහ වී ඇතිය. මහාමේරුව වටා දරණලා සිටින මහකෙල නාගරාජයා විසින් සූනියම් දෙවිඳුන්ගේ ඉල්ලීමකට අනුව සිය නාස්පුට දෙකින් විෂ දුමාරයක් පිට කළ අතට වාම පුඨයෙන් පිට වූ විෂ දුමාරයෙන් සූනියම් යක්ෂයා උපත ලද බවත්, ඔඩ්ඩිස සෘෂිවරයාගේ හා වෙස මුණි රජවරුන්ගේ වරම් ලැබගෙන සිරිලකට ගොඩ බැස විෂ්ණු කතරගම දෙවිවරුන්ගේ පණිවුඩකරුවකු ලෙස පෙනී සිටින බව පොතපතෙහි කියැවේ.

දැඩිමුණ්ඩ දෙවියන්ගේ අවතාරයක් ලෙසද නාග, ගරුඬ වඩක්කර කාල වඩිග සාගල් යන අවතාර නාමයන්ගෙන් හඳුන්වනු ලබන බවද කියැවෙයි. තවද පංචාක්ෂරයට අධිපති යාමදේවතාවා නමින් ද හඳුන්වන්නේ ය.

ලංකාවේ සියලුම නගර ප්‍රදේශ පුරාවට සූනියම් දේවතාවුන් වහන්සේ ඇල්ම, බැල්ම, හෙළනු ඇති නිසා ‘ගම්භාර දේවතා’ අන්වර්ථ නාමයෙන්ද මෙම දෙවියා හඳුන්වනු ලබන අතර මෙම දෙවියන් වහන්සේ බොහෝ අය විසින් හැබැහින්ම දැක ඇති බවට සාක්ෂි ඇතිය. සුදු පැහැ ඇඳුමෙන් සැරසී සුදුවන් ජටාවක් හිස බැඳ, සැරයටියක් අතින්ගෙන ගමන් කරන අතර, ඇතැම් අවස්ථාවන්හි නිල් තුරඟකු පිටද ගමන් කරනා බව දුටුවෝ පවසති. ලොකු කුඩා සැමදෙනට තේරුම් ගැනීමට හැකි ලෙස සූනියම් දේව විස්තරය මෙසේ සඳහන් කළේ විශේෂයෙන් බාල පරපුරට මෙම දෙවියන්ගේ සත්‍යය පෙන්නාදීම සඳහාම බව සිතන්න.

සූනියම් දේවතා බලය - ගුප්ත විද්‍යාධර පිරිස් හා ජනතා පිරිස් ගම්භාර ශ්‍රී සිද්ධ සූනියම් දෙවි උතුමාණන් වෙනුවෙන් කෙම්මුර (බදාදා, සෙනසුරාදා) දින වලදී ද, ඇතමෙක් දෛනිකව ද මෙම දෙවිඳුන්ට පහන් දල්වා පුද පූජාවන් පවත්වා පිහිට හා ආශිර්වාද ලබා ගනිති. ඉන් විධිමත් ලෙස පහන් දල්වා පූජා පවත්වා උන්වහන්සේගෙන් පිහිට ලබා ගන්නවුන් ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

ආධ්‍යාත්මික අරමුණූ කෙරෙන් සිත නැඹුරු කරන පුද්ගලයා බුද්ධියෙන් දියුණුවට පැමිණේ. බාහිර අරමුණු කෙරෙන් සිත නැඹුරු කරන පුද්ගලයා ඥාණයෙන් පිරිහීමට පත්වේ. මේ දෙයාකාරයෙන් අරමුණු කෙරෙහි යොදවනු ලබන දෙයාකාරයකි. අධ්‍යාත්මික යොමුවන විශ්ව ශක්තිය වනාහී සම්‍යක් දෘෂ්ටිගත බලවේගයකි. මිථ්‍යා දෘෂ්ටිගත බලවේගය වනාහී මිනිසා ලෞකික මාර්ග සිත පුරුදු කරන පදනමක් වන්නේ ය. මිනිස් සමාජයේ බාහිර දියුණුවට කෑදර පුද්ගලයා වනාහී නොමිනිස් කම දියුණු කර ගත්තෙකි. මිථ්‍යා දෘෂ්ටික බලවේග මගින් ඔහුගේ සිත මෙහෙයවනු ලැබීම නිසා හෝ ප්‍රපාතයට වැටේ. බුදුදහම අනුව පුද්ගල වර්ග 04 ක් පිළිබඳව කරුණු දක්වා ඇත. එනම් අඳුරෙන් අඳුරට යන පුද්ගලයා, එළියෙන් අඳුරට යන පුද්ගලයා, අඳුරෙන් එළියට යන පුද්ගලයා, එළියෙන් එළියට යන පුද්ගලයා වශයෙන් ගම්භාර ශ්‍රී සුද්ධ සූනියම් දෙවිඳුගෙන් පිහිට බලය ලබාගත හැක්කේ ඉහත සඳහන් කළ 03 හා 04 යන පුද්ගල වර්ග දෙකේ අයට වෙනි.

එබැවින් තම ජීවිතය මිථ්‍යා දෘෂ්ටියකු බවට පත් නොකරගෙන පංචශීල ප්‍රතිපත්තියේ පිහිටා මෙහි සඳහන් ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් මෙම දෙවිඳුගෙන් පිහිට ලබාගත තම ජීවිතය පවුල කරදර විපත්වලින් මුදවාගත හැකි බව අවිවාදයෙන් අවධාරණය කරමි. මෙහි ඉදිරිපත් කර ඇති අත්දුටු ප්‍රතිඵලදායී ක්‍රමයයන් අනුව කටයුතු කිරීම තුළින් මෙම දෙවිඳුන් දැකීමට ඔබටද හැකියාව ලැබෙන බව ප්‍රකාශ කර සිටිමි.

 

වෑගොව්වේ ආතර් පියතිලක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.