දෝ සතර - අයනය හෙවත් ගමන

දෙසැම්බර් 14, 2018

 ඡ්‍යොතිෂ  පාඩම අංක - 19

“අයනය” යනු ගමන යන අරුත ඇති සකු වදනකි. ‘නිර්’ යන උපසගය නැත යන අරුත දෙයි ‘ස’ යන උපසගය දෙන්නේ සහිත යන අරුත යි. එ හෙයින් නිරයන (නිර්+අයන) කියන්නේ ගමන් නැති යන්න යි. සායන (ස +අයන) කියන්නේ ගමන සහිත යන්න යි.

දෝ සතරෙහි සායන, නිරයන කියා දෙපිළිවෙළක් තිබේ. ඉහත පැහැදිලි කළේ දෙ පිළිවෙළ අරුත් විසින් හදුනා ගත යුතු සැටි යි. අප රටේ මෙන් මැ පෙරදිග බොහෝ රටවල දෝ සතර පිළිබඳ කටයුතුවලදී යොදා ගැනෙන්නේ නිරයන පිළිවෙළ යි. බටහිර ලෝකයේ යොදා ගැනෙන්නේ සායන පිළිවෙළ යි.

නිරයන කියන්නේ අස්විද නැකතේ අංසක 0 ත් මේෂ රාසියේ ( හෙළ රාසිය) අංසක 0 ත් එක මැ තැනින් ඇරඹෙන්නේ යැ යන පදනම මත ගොඩනඟා ඇති පිළිවෙල යි.

සායන පිළිවෙල මීට හාත්පසින් ම වෙනස් වූවකි. ඒ පිළිවෙලේ හැටියට අස්විද නැකතේ අංසක 0 ත් මේෂ රාසියේ අංසක 0 ත් එක ඉරකින් කැපී යන සේ ගැලපී යෙදෙන්නේ වසර 25850 කට එක් වරකි .මීට ආසන්න මැ අතීතයේ එය එසේ පැවතුනේ කිතු වසින් 268 වැන්නේදී යැ යි කෙනෙක් කියති. තවත් පිරිසක ගේ මතය එය 468 දී වූ බවයි. 532 දී එසේ වූ බවත් 559 දී වූ බවත් කියන්නේ ද වෙති. මේ එකක් ගැනවත් තිර නිගමනයකට හෙවත් පොදු එකඟතාවයකට එළඹිය හැකි තත්වයක් තව මැ ඇති වී නැත.

අපරදිග දෝ සතර ගොඩනගා ඇත්තේ කිතු වසරින් 268 දී අස්විදයත්, මේෂයත් එක මැ තැනින් ඇරැඹුණු සේ උපකල්පනය කැරැ ගෙන යි. ඔවුන් ගේ මතයේ හැටියට මේෂය ගමන් කරයි. අස්විදය එක තැන මැ පවතී. එක් අවුරුද්දකට මේෂ රාසිය විකලා 50.26 ක් හිරු දෙසට ඇදෙන බවත්, අස්විද නැකත එ පමණ දුරක් පස්සට ඇදෙන බවත් (එක තැන මැ පවතින හෙයින් ඒ අයගේ මතය යි. මේ ඇදී යාම අවුරුදු 72 කදී එක අංසකයක් වෙතියි ද, කිතු වසින් 268 සිට 1934 වන විට අංසක 23 ක් වූ බව ද පිළිගෙන තිබේ. සායන පිළිවෙලට සකස් කළැ කේන්දරයක් නිරයන කිරීමට අංශක 23 ක් අඩු කරන්නේ මේ මතයෙහි පිහිටා යැ.

සායන පිළිවෙලේ හැටියට හිරුවසර (සූර්යවර්ෂය) නැකැත් වසරට වඩා මඳක් කොට වෙයි. ඒ නිසා අපේ‍්‍රල් 13 දා හිරු අස්විද නැකතට පිවිසුනත් මේෂයට නො පිවිසෙන බව ඔවුන් ගේ මතය යි. ඔවුන් කියන්නේ රවි මේෂයට පිවිසීම මාර්තු 21 දා සිදු වන බව යි. මෙය මෙ සේ පිළිගත හොත් මුළු දෝ සතර මැ උඩු යටිකුරු වෙයි. බිද වැටෙයි. රාසි පිළිබඳ වැ කියා ඇති දේත්, නැකැත් පිළිබඳ වැ කියා ඇති දේත්, ගහයන් ගේ ගමන ගැන කියා ඇති දේත්, එකිනෙකට නොගැලපී යයි. දසා පිළිවෙල ගණන් ගන්නට මැ බැරි වෙයි. දසා පිළිවෙල සඳු මුල් කැරැ ගෙනැ ඇති කැරැ ගන්නා ලද්දකි. අංසක 23 ක වෙනස ගහයනට සබඳ කළ හොත් සඳු සිටින රාසියට නැකත නොගැලපී යයි.

බටහිර ලෝකයේ දසා පිළිවෙල නොසැලැකෙන්නේ ඒ නිසා යි. පලාපල කියන්නට අසීරු වූ විට එය මඟහරවා ගන්නට යුනැප්පුවන් තිදෙනා (ඉඳුරු ,වර්ණ, යම) ද ඇඳා ගෙනැ ගහයන් ගේ දැකුම් පිළිවෙලක් ද උපයෝගී කැරැ ගෙනැ ඇත. පෙරදිග පිළිවෙලේ සිදත් ඊට අදාළ නැත.

පෙර දිග භාව කේන්දර සාදන අය ගහයන් පිහිටි තැන්වලින් අංසක 23 ක් අඩු කැරැ ගෙන නිරයන කේන්දරයක සාදා ගන්නේ පෙරදිග සිදත් ඊට අදාළ කැර ගනු පිණිස යි. එ තරම් පැටලිලි සහිත ක්‍රමයක් අනුගමනය නො කැර පෙරදිග නිරයන පිළිවෙලින් අපූරුවට ඉක්මනට, සරල ලෙස පලාපල කීමට හැකිකම තිබේ.

පොළොව ඉර වටේ යනවා යැ කීවත්, ඉර පොළොව වටේ යනාව යැ කීවත් එයින් සිදුවන්නේ රෑ දාවල් ඇතිවීමයි. රෑ දාවල් දෙකින් වැඩ ගන්නා මිනිහාට එය කොයි විදියෙන් සිදු වුවත් කමක් නැත. දෝ සතරින් පලාපල කීමත් එ බඳු යි. හෙට සිදු වන්නේ කුමක් දැයි දැනැගන්නට ඕනෑ මිනිහාට එය නිවැරැදි වැ දැනැගන්නවා මිසැ ඒ පසුබිමේ සිදුවන දෑ කුමක් වුවත් කමක් නැත. “ලෝක විසය අචින්ත යැ” එ හෙයින් සායන ක්‍රමය වුවත් ඉතා මැ නිවැරැදි ක්‍රමය යැයි කියන්නට නො පුළුවන.

හේමසිරි කුමාරණතුංග

0718034076

වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.