වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
තිරශ්චීන වෙදකම...
තිරශ්චීන විද්‍යා අටක් පිළිබඳ බුදු දහමේ දැක්වේ. ඒ අතර වෙදකම ද එකකි. එහෙත් ත්‍රිපිටකයේ ම තැනින් තැනට වෛද්‍ය තොරතුරු රැසක් දැකගත හැකි ය. ඒ අතරින් සර්වාංග වෛද්‍යවරයා භිසක්ක ලෙසද ශල්‍ය වෛද්‍යවරයා සල්ලකත්තු ලෙසද හඳුන්වා දී ඇත. මේ ක්ෂේත්‍ර දෙකෙහිම කෙළ පැමිණියකු ලෙස ගැනෙන්නේ ජීවක වෛද්‍යවරයාය.
ඔහුගේ දස්කම් කෙතරම් ද යත් රජවරයකුගේ හිසෙහි ඇති වූ ආබාධයක් සුව කිරීම පිණිස හිස් කබල ගලවා යළි සවි කිරීමට තරම් දක්ෂ ලෙස සැත්කම සිදු කොට ඇත. අද කාලේ තේරෙන බසින් කියන්නේ නම් එය මේජර් සර්ජරියකි. එවැනි ශල්‍ය කර්මයක් ඔහු කළේ රජුගේ හිසරුජාව ට හේතුව බ්‍රේන් ටියුමර් එකක් නිසා විය හැකිය. අද කාලයේ නවීන තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ශල්‍යකර්ම සඳහා බටහිර වෛද්‍යවරුන් පුහුණු කළ ද ඊට වසර දහස් ගණනකට පෙර ආයුර්වේදයේ තිබූ ශල්‍ය ක්‍රම කෙරෙහි අවධානයක් යොමු වනවා තබා එවැන්නක් තිබූ බව සඳහන් කිරීමටවත් කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. එහෙත් ආයුර්වේද ක්‍රමයේ ශල්‍ය වෛද්‍ය පුහුණුව කෙතරම් සියුම් ද යන්න එය වසර හතක් පුරා පුහුණු කරන ලද ආකාරය අනුව පෙනීයයි.
ශල්‍ය පුහුණුව ලබන වෛද්‍ය ශිෂ්‍යයා පැන් තලියක පා වෙන උපුල් පතක් සියුම්ව විච්ඡේදනය කිරීමට සමත් විය යුතුය. මානෙල් මල් පෙත්ත දිය මත පාවෙන්නේ ජල බිඳීත්තක් හෝ ඒ මත නොවැටෙන තාක් පමණි. සැත්කම් ආයුධවල පුහුණුව ලත් සිසුවා මානෙල් පෙත්තටද ජලයටද සැතටද නොදැනෙන ලෙස මල් පෙත්තෙහි අවශ්‍ය කොටස කපා ඉවත් කළ යුත්තේ එය දියෙහි නොගිලෙන අයුරිනි. ඒ සඳහා කෙතරම් ශික්ෂණයක් ඇති කරගත යුතුද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.
ජීවක වෙදැදුරා විසින් කළ අසිරිමත් වෙදකම් පිළිබඳ මහා වග්ගයෙහි චීවරක්කන්ධකයේ සවිස්තරව සඳහන් වෙයි. එසේම ධම්මපදට්ඨ කථාවේ ජීවක වත්ථුවෙහි සඳහන් පරිදි දේවදත්තයන් විසින් පෙරළූ ගලෙහි පතුරක් වැදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි වැදී ඇති වූ ලේ තැල්ම සුවපත් කළ ආකාරය පවා සඳහන් වෙයි.
ජීවක නම වසර දහස් ගණනක් පැවතුණද ඔහුට පුහුණුව දුන් තක්සලාවේ ප්‍රධාන වෛද්‍යාචාර්යවරයා එතරම් ප්‍රකට නැත. එය ඔවුන් දෙදෙනාගේ උපන් වේලාවේ ග්‍රහ පිහිටීම් නිසා යැයි ඡ්‍යොතිෂය ශාස්ත්‍රානුකූලව අවශ්‍ය නම් පැවසිය හැකිය. ඒ ගුරුවරයා ගුත්තිල පඬිවරයා මෙන් ගෝලයා සමඟ පොරයට නොගියා සේම ගෝලයාද මූසිල මෙන් ගුරුවරයාට අභියෝග නොකළ නිසා විය හැකිය. මේ මිහිමත බේතට ගත නොහැකි කිසිදු ශාකයක් නොමැති බව වටහා ගැනීමට ජීවකට ඉඩ හළ පසු මඟ වියදමට ප්‍රමාණවත් නොවන මුදලක් දී සිසුවා පිටත් කර තම දක්ෂතාවයෙන් යැපීම සොයා ගැනීමට මඟ පෑදුවේද ඒ ගුරුවරයා මය. මඟ වියදම අවසන් වූ පසු සිය දැනුමෙන් බුදුහිමියන් ට මෙන්ම රජමැතිවරුන්ගේ සිට දුප්පත් ගැමියා දක්වා සිය සේවය සපයා නමක් දිනා ගැනීමටත්, තමන් උගත් ශාස්ත්‍රයෙන් ප්‍රයෝජන ගැනීමටත් ජීවක වෙදැදුරු සමත් විය.
ආයුර්වේදයට අනුව නරකංකාලය ලෙස සැලකෙන ඇටසැකිල්ලේ අස්ථි දෙසිය හතළිස් හයක් වුවද ඔහු හැදෑරූ වෛද්‍ය විද්‍යාවට අනුව මිනිස් සිරුරෙහි ඇටකටු තුන්සියයකි. නහර නවසියයකි. මාංශ පේශි සහ ව්‍රණ මුඛ ද නවසියය බැගිනි. රෝමකුප නව අසූදහසක් සහ කුණප තිස් දෙකකි. අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි ආදි වශයෙන් මිනිසාට වැලඳෙන රෝගාබාධ සුව කළේ ඒ දැනුම් සම්භාරය අනුවය.
අපේ රටේ සලකන විට ඊටත් එහා ගිය බුද්ධදාස රජු වැන්නන් ගේ උරුමයෙන් ලැබෙන සත්ත්ව ශල්‍ය වෛද්‍ය ක්‍රම පවා ගෙන හැර දැක්විය හැකිය.
එවන් විශිෂ්ට ශාස්ත්‍රයක් ලොවට ගෙන යෑමට නොහැකි තරමට අප සියල්ලන්ගේ මොළ ශෝධනය වී ඇත්තේ මෙය සුළු සම්ප්‍රදායක් ලෙසත් බටහිර ක්‍රමය පමණක් මහා සම්ප්‍රදාය ලෙසත් දොහොත් මුදුන් තබා පිළිගැනීම නිසාය.
වෙදකම තිරශ්චීන යැයි පැවසෙන්නේ සංසාර දුක අවබෝධ කර ගැනීමට එයින් ලැබෙන සහනය බාධාවක් වන නිසා මිස මෙය තිරිසන් විද්‍යාවක් නිසා නොවන බව බස නිසි ලෙස හසුරන්නට දන්නෝ නිහඬව සලකති.
තිරශ්චීන විද්‍යාවන් ලෙස කරුණු අටක් සලකන්නේ ඒවා අවභාවිත කර ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට මහත් ඉඩක් එයින් සැපයෙන නිසා බවද ධර්මයේ ම ඇතැම් ස්ථානවල දැක්වේ. ඒ අනුව පෙරදිග වේවා බටහිර වේවා වෙදකම වැනි සේවාමුලික විෂයයන් අවභාවිත වන විට එසේ කරන්නා තිරිසන් බවක් ප්‍රකට කරනවා විනා විෂයයෙහි එවැනි අමනුෂ්‍ය ගුණයක් තිබේ යැයි කිව හැක්කේ කාටද?
දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය අවබෝධයේ දී දුක අවබෝධ කර ගැනීමට සැපයෙන් බාධාවක් වන බව උපකල්පනය කළ හොත් ශරීර සෞඛ්‍යය හොඳීන් පැවතීම හෙවත් නිරෝගී බව නැමැති පරම ලාභය ලබා ගැනීමට උපකාර වන වෛද්‍ය ක්‍රම සසර තිරසර කරන්නට උපකාර වන තිරශ්චීන දහමක් වන්නේය.