වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
මහ පොළොවේ මේවර කෙළිය
මේවර කෙළිය ලෙස අප හඳුන්වන්නේ සිංහල අවුරුදු සමයේ ගැටිස්සියන් විසින් කෙළින සම්ප්‍රදායික ජන ක්‍රීඩාවකි. මෙහිදී මේවරයා ලෙස පනාව හඳුන්වන බව එක් පිරිසක් පවසන අතර තවත් පිරිසකගේ මතය වන්නේ මේවරයා යනු වළල්ලට බවයි. කෙසේ වෙතත් මෙය වළල්ලක් සේ සැලකීම මේ මොහොතේ අපට වඩාත් වටින්නේ ඊයේ පෙරේදා විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇති පරිදි පෘථිවිය වටා ද සෙනසුරුගේ මෙන් වළල්ලක් පිහිටා ඇති බව පැවසීම නිසාය. මීට වසර මිලියන 466කට පෙර සමකයට සමාන්තරව පැවැති ඒ පෘථිවි වළල්ල නිසා මහ පොළොවේ යම් කොටසක් සූර්යාලෝකයෙන් ආවරණය වී තිබෙන්නට ඇතැයි ද ඔවුහු සැක පළ කරති. එය ඕඩොවීසියන් යුගයට අයත් යැයි සැලකෙන ආකාශ වස්තුවල කොටස් අධ්‍යයනයෙන් සොයාගෙන ඇති අතර ඒ යුගය පෘථිවියට දැඩිව අභ්‍යවකාශ වස්තුවලින් බලපෑම් එල්ල වූ යුගයක් සේ සැලකේ. එසේම මේ අඛණ්ඩ සුනාමි වැනි සිද්ධි හේතූවෙන් පසුගිය වසර බිලියන අර්ධය තුළ හටගත් අධිකම ශීතල සහිත හර්නන්ටියන් අයිස් යුගය මිහිපිට ඇති වන්නට ඇත යන්නද නවතම සොයා ගැනීමයි. මේ සමයේදී සත් සමුදුර කැලඹී මහා විශාල සුනාමි තත්ත්වයන් රැසක් ඇති වීමට ද මේ වළල්ල හේතු වූ බව විද්‍යාඥයන්ගේ මතයයි.
කෙසේ වෙතත් මේ පෘථිවි වළල්ල අපට දැනෙන්නේ මේවර කෙළියේ සැඟවුණු වළල්ල මෙනි. එයට හේතුව එය මීට වසර මිලියන ගණනකට පෙර සුණු විසුණුව ගොස් අපේ දැක්මෙන් සැඟව පැවතීම නිසාය. එහෙත් අඞගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයට අයත් චූලනිකා සූත්‍රයේ බුද්ධ දේශනය කෙතරම් දුරකට ශ්‍රවණය වේද යන්න පිළිබඳ ඇති විමසීමෙදී චක්‍රාවාටයන් පිළිබඳ අදහසක් අපට හඳුනාගත හැකිය. එහිම සත්තක නිපාතයේ සත්තසුරියුග්ගමන සූත්‍රයේ විවිධ කල්පයන් ඇති නැති වන සැටි මනාව විග්‍රහ වෙයි. යම් කල්පයක් නැසේ නම් එය සංවට්ට ලෙස ද නැසෙමින් පවත්නා කල්පය සංවට්ටට්ඨායී කල්පය ලෙස ද වැඩෙමින් පවතින කල්පය විවට්ටට්ඨායී කල්පය ලෙසද වැඩෙන කල්පය විවට්ට කල්පය ලෙස ද හඳුන්වන අතර කල්ප විනාශ වන ආකාර තුනක් සංවර්ත විධි ලෙස දක්වා ඇත. ඒවා නම් ආපෝසංවට්ට හෙවත් ජලයෙන් විනාශ වන, තේජෝසංවට්ට හෙවත් ගින්නෙන් විනාශ වන, වායෝසංවට්ට හෙවත් වායුවෙන් විනාශ වන ආදි වශයෙනි.
මෙහිදී සූර්යයන් හතක් පායා මුහුදු හතම හිඳී ගොස් ගින්නෙන් ලෝකය විනාශ වන අයුරු මෙන්ම දෙවැනි සූර්යයා පෑයීමත් සමඟ වායුව කැලඹීමෙන් වැලි කුණාටු ආදිය ඇති වී දැඩි සුළි සුළං ආදියෙන් මහා වෘක්ෂ පවා මුල් ඉදිරි අහසේ පාව යන අතර ඒවා යළි ගුරුත්වාකර්ෂණයට ලක්ව පොළොවට නොවැටීමෙන් අහසේදීම විනාශ වී යන ආකාරය වායෝ සංවර්තයෙන් දැක්වේ. එසේම ජලයෙන් කල්ප විනාශය වන විට මාහා මේඝය නැඟී සුළු වැහි පොද සිට ක්‍රමයෙන් වැඩී කෙළ ලක්ෂයක් සක්වළ පුරවන මහා ධාරානිපාත වැසි බවට පරිවර්තනය වේ. ඒ ජලය හාත්පස වාතයෙන් දරාගනු ලබන අතර මහපොළොවේ ඇති පර්වත ආදිය පවා දියව යන තරමක ජලධාරාවක් වේ.
මෙය අද විද්‍යාඥයන් පවසන අඛණ්ඩව පැවතුණ බවට සැක කරන මහ විශාල සුනාමි තත්ත්වයන් යැයි සැලකෙන ජල ධාරා නොවේදැයි විටෙක සැක පහළ කළ හැකිය. මෙසේ ලෝක විනාශයන් සිදු වන්නේ ලේසි පහසු ආකාරයකට නොව යම් ක්‍රමානුකූල විධියකටය. සත් වරක් ගින්නෙන් විනාශ වී ගිය පසු අටවැනි වර ජලයෙන්ද යළිත් සත්වරක් ගින්නෙන් හා අටවැනි වර ජලයෙන් ද ආදි වශයෙන් ලෝක විනාශය සිදු වන්නට කල්ප හැටතුනක් ගෙවෙන බව අභිධර්මයේ පැවසේ.
එසේ ලෝක විනාශ සිදු වන්නේ අකුසල මූලයන් ඉහවහා ගිය කල්හිය. රාගය මහත් සේ උත්සන්නව ගිය කල ගින්නෙන් ද , ද්වේෂය මහත්සේ දැඩි වූ විට ජලයෙන් ද, මෝහය අතිශයන් වැඩි වූ කල වාතයෙන් ද ලෝක විනාශ වෙයි. මේ පිළිවෙළ පිළිබඳව ද විවිධ මතවාද නැතුවා නොවේ.
ඒ කුමක් වුවත් උත්පත්තියෙන් ලැබෙන ගතිගුණ ජානමය වශයෙන් ඉස්මතු වන්නේ තරගකාරී සමාජයේදී ඇතිවන හැලහැප්පීම් නිසාය. ඒ අවස්ථාවල පවා හික්මුණු ආකාරයෙන් තම හැඟීම් හසුරුවාගත හැකි වන්නේ දියුණු මනසක් ඇති පුද්ගලයන්ටය. ඡ්‍යොතිෂවේදීන්ට මෙහිදී ඇති වගකීම වන්නේ යම් පුද්ගලයකුගේ ස්වභාවය දැක්වෙන ග්‍රහතරු පිහිටීම් අනුව සොයා බලා ඒ ඒ පුද්ගලයාට කමටහන් දෙන්නා සේ තම ආවේගයන් පාලනය කළ හැකි වන ලෞකික ප්‍රතිකර්ම වෙත යොමු කිරීමය. එසේ නැති වුවහොත් මේ මහ පොළොව මත මිනිසත් කම සොයමින් මේවර කෙළියේ යෙදීමට සිදුවන කාලය එතරම් ඈතක නොවනු ඇත.