දවස් 362ක්-තීරණ 12,670,000ක්

ජනවාරි 3, 2025

අද ජනවාරි තුන්වැනිදාය. 2025 වසරේ ගෙවා දැමීමට තවත් දින කීයක් අපට ඉතිරිව තිබෙනවාද කියා ඔබ දන්නවා ඇත. එහෙත් ඔබේ අවධානයට ලක් නොවූ කරුණක් ද තිබේ. එනම් ඒ ඉතිරි දින 362 තුළ අප ජීවිතය පිළිබඳ ගන්නා තීරණ සංඛ්‍යාව කෙතරම් ද? යන්නය.

මනෝවිද්‍යාත්මකව සොයාගෙන ඇති ආකාරයට එක් දිනකදී නිරෝගී මිනිසකු විසින් ගන්නා තීරණ සංඛ්‍යාව 35,000ක් පමණ වේ. ඒ නිදාගැනීමට ගත කරන පැය හය හතක පමණ කාලය ඉවත් කළ පසුවය. එසේ සලකන කල සෑම තත්පර දෙකකට වරක් අප මොළය හෝ සිත යම් තීරණයක් නැතහොත් තේරීමක් කරන බව පැහැදිලිය. අපේ චිත්ත වේග එතරම් වේගවත්ය. එහිදී වැදගත් වනුයේ අප තීරණ කී දහසක් ගන්නවාද යන්නට වඩා ඒ තීරණවලින් කීයක් අපේ ජීවිතයට වැදගත් වනවාද යන්නය. අද ඔබ සිටින තත්ත්වයට හේතු වන්නේ එදා ඔබ ගත් තීරණ බව අවිවාදාත්මකය. පසුගිය වසරේ ඔබ දල වශයෙන් ගන්නා ලද තීරණ සංඛ්‍යාව 12,810,000 පමණ යැයි මොහොතකටවත් ඔබට නොසිතෙන්නට ඇත. එසේ වුව ද ඒ තීරණවලින් වඩාත් වැදගත් තීරණ ලෙස ජීවිතයේ වෙනස්කම්වලට තුඩු දෙන්නට ඇත්තේ තෝරාගැනීම් දෙකතුනක් පමණි. එය ඔබේ විවාහය, රැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, ව්‍යාපාර, ඉදිකිරීම්, භාණ්ඩ මිල දී ගැනීම් වැනි ඕනෑම අංශයකින් විය හැකිය. එසේ වසරකදී ගන්නා ලද ඒ කෝටි එකයිකාලක් පමණ තීරණවලින් පෙරී ආ වැදගත්ම තීරණ කීපය ගැනීමේදී ඔබ ඔබේ ජීවිතය, ජීවන රටාව, ආදායම් තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය, වැනි දේ පිළිබඳව කෙතරම් විධිමත් අධ්‍යයනයක් සමඟින් ඒ තීරණ ගත්තාද යන්න මත අද ඔබ මේ තත්ත්වයේ සිටිනවා විය හැකිය.

අද ඔබ සිටින තත්ත්වය සුබවාදී ලෙස දකිනවා නම් ඒ තීරණ කෙතරම් හදිසියේ ගත්තද ඒවා නිවැරැදි යැයි ඔබට සතුටු විය හැකිය. එහෙත් ඔබ ගත් තීරණ නිසා ඔබ යම් අපහසුතාවකට පත්ව සිටිනවා නම් ඒ තීරණ වැරැදි යැයි ඔබ පසුතැවීම සුදුසුද? පිළිතුර නැත යන්නය.

හේතුව අප යම් යම් තීරණ ගන්නේ අප ඒ මොහොතේ මුහුණ දෙන තත්ත්වය හා ඒ අවස්ථාවේ කළ යුතුම දේ එය වූ නිසා විය හැකිය. සමහර විට ඔබ ඒ ගත් තීරණය කැමැත්තෙන් නොව අකැමැත්තෙන් වුවත් ගන්නට ම සිදු වූවා විය හැකිය. එනිසා මේ ලැබූ වසරේ කළ යුතුව ඇත්තේ ගත හැකි තීරණ සංඛ්‍යාව කෝටියකට අධික බැවින් වැරැදීම වැරැද්දක් නොව අත්දැකීමක් කරගෙන නොවරදින තීරණයක් ගැනීම පළමු තීරණය කර ගැනීමය.

මෙහිදී ඇතැමුන් ඡ්‍යොතිෂයේ පිහිට පතන බව සැබෑවකි. එහෙත් එහිදී ඡ්‍යොතිෂවේදියා හෝ වාස්තුවේදියා හෝ ගුප්තවේදියා වැනි පිහිටට එන්නා මුදලට වහල් වූවකු නොව මනුෂ්‍යත්වයට වහල් වූවකු මෙන්ම පිහිට පතන්නාගේ සුබ සිද්ධිය හදවතින්ම ප්‍රාර්ථනා කරන අයකු වීම වැදගත් වනු ඇත. ඡ්‍යොතිෂය යනු සම්මාන සහතික මත තීරණය වන්නක් නොව ශිල්පීය ඥානය, ප්‍රායෝගිකත්වය සහ ජනතාවට ඉටුවන සේවයේ නිරවද්‍යතාව මත ඉදිරියට ගමන් කරන්නක් වන බැවිනි. එය මුදල් මත තීරණය වන්නට ගන්නා මොහොතේ සිට එහි බලය යම් තරමකින් පිරිහෙන අතර සේවයකට වඩා ව්‍යාපාරික අරමුණ පෙරදැරි වීම ලාභ ලබන කටයුත්තක් බවට පත් වූ විට එහි ගුණාත්මකභාවය මුදලේ වටිනාකමට යට වන බැවිනි.

කෙසේ වෙතත් අධිෂ්ඨානශීලී පුද්ගලයකු හට මෙන්ම තමන්ට තමන් කෙරෙහි විශ්වාසය ඇත්තකු හට වැරැදීම් යනු ජීවිතයේ පාඩම් බවට පත් වන බව නොරහසකි. එවැන්නන් හට තම තීරණ ගැනීමේදී ශක්තිය වන්නේ තම ආත්ම ශක්තිය හා නොපසුබට උත්සාහයම වෙයි. ඇතැම් විට ඔවුන්ගේ නිවැරැදි තීරණයක් වුව ඡ්‍යොතිෂයට අනුව වැරැදි වේලාවක ඇරැඹීම නිසා පාඩු හානි සිදු වනවා විය හැකිය. එහෙත් වැටීම් ඉදිරියේ අරමුණ අත නොහැර ඒ කරා ගමන් කරන්නා කෙසේ හෝ ජයග්‍රහණය කරන්නේ සැමදා නරක වේලාවම නොපවතින බැවිනි.

මේ ලොව අටලෝ දහමට නතු නොවන කිසිවකු නොමැත. එබැවින් ලාභ, යස, ප්‍රශංසා, සැප ලැබෙන කල ලෝකයා ද තමන් වටා එකතු වන අතර අලාභ, අයස, නින්දා, දුක් ඇති කල්හි බොහෝ දෙනා තමන්ගෙන් ඈත් වීම ස්වාභාවිකය. එය ඔබ ගෙවුණු ජීවිත කාලය තුළ මෙන්ම ගෙවීමට ඇති ඉදිරි කාලයේදී ද අත් විඳීන්නට වන අනිවාර්ය සත්‍යයකි.

2025 ද ගත කළ යුත්තේ ඒ සියලු දේට මුහුණ දිය හැකි අයුරින් වුවත් ඉලක්කය විය යුත්තේ සුබවාදී කොටස වෙත වඩාත් ළං වීමටය. එබැවින් කෝටි ගණනක් තේරීම් සහ තීරණ අතරින් 2026 වසරේදී පසුතැවීමට ලක් නොවන ආකාරයේ තීරණ ගැනීමට අදිටන් කරගන්නේ නම් එය මේ වසරේ ලබන විශාලම ජයග්‍රහණය වනු නියතය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.