වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
කර්මය කරුමය සහ ග්‍රහයෝ
අපි සියල්ලෝ සැපට කැමැත්තෝ වෙමු. දුකට අකැමැති වෙමු. එනිසාම සැප ලැබෙන පිනටත් දුක ලැබෙන පවටත් බිය වන්නෙමු. එහෙත් ඇතැම් විට සැපක් සේ ලැබෙන දුක අපට හඳුනා ගැනීමට හැකි නොවනු ඇත. සැප යැයි සිතා වැලඳගත් විට අවසානයේ අත්වන්නේ දුකමය. එවිට අපි එය මොන කරුමයක් ගෙවනවා දැයි විමසන්නට පෙලඹෙමු. එනිසා කර්මය සහ කරුමය අතර භාවිතයට වඩා අර්ථාන්විත වෙනසක් ඇතැයි ද මේ සියල්ලට ග්‍රහයන්ගේ බලපෑමක් පැවතිය හැකියැයි ද සිතේ. කර්මය හෙවත් චේතනාවම මුල් කර ගනිමින් කරන ලද ක්‍රියාව නිසා මිනිසුන් උසස් පහත් ලෙස පවා බෙදිය හැකි කොට කර්මයේ බලය කෙතරම් දැයි අපට වැටහේ. එනිසා ඒවාට මුල්වන තුන්දොර පාලනය කරගෙන දස අකුසල්වලින් වැළකීමටත් දස කුසල්වල නියැළීමටත් හැකි නම් උසස් ගණයට අයත් මානසික මූලයන් හෙවත් අලෝභ අදෝෂ අමෝහයෙන් යුතු මිනිසකු බවට පත් වීමට පින පෑදේ.
මෙහිදී පින පෑදෙනවා යැයි කීම එක්කෝ යහපත් කර්ම පටිසන් දීමක් විය හැකිය. නැතහොත් අයහපත් කර්ම වළක්වාලීමක් ද විය හැකිය. විපාක දෙන කාලය අනුව දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය, අපරාපරීයවේදනීය සහ අහෝසි ලෙස දැක්වෙන කර්ම අතරින් නිශ්චිත අවස්ථාවේ විපා දීමට නොහැකිව යන කර්ම අහෝසි වේ. එක්කෝ ධර්ම මාර්ගයේ ඉහළට ගොස් කර්ම අවිපාක දෙන ආර්ය මාර්ගයට පිවිසීමට හැකි නම් උතුම්ය. එසේ නොහැකි නම් වැස්සට කුඩයක් මෙන් ඇති ඡ්‍යොතිෂය වැනි විෂයයන් මඟින් අපල කාල හෙවත් කරුම ගෙවීමට ඇති කාල සොයාගෙන ඒවාට නිසි පිළියම් යොදමින් වළක්වා ගැනීමට ද හැකියාවක් පැවතීම මේ විෂයයෙහි ඇති සුවිශේෂත්වයයි. එහෙත් එය සසර දුක අවබෝධ නොවීමට හේතු වීමෙන් ගමන දිගු කෙරෙන බැවින් තිරශ්චීන ධර්ම ගණයට වැටී ඇත.
වෙනත් කර්මයකින් වළක්වාලිය නොහැකි ලෙස බලසම්පන්න වූ අනන්තරීය පාප කර්ම වැනි ගරුක අකුසල කර්මයකින් ලැබෙන විපාකයක් සරලව කරුමයක් ගෙවීමක් නොවනු ඇත. එය සචේතනිකව කරන ලද මහා පවක් පටිසන් දීමක් වන බැවිනි. පුරුද්දක් ලෙස කරන හෝ සිහි කරන ආචිණ්ණ කර්ම නිසා ගෙවන දුක කරුමයක් ගෙවන ලෙස දැනුණ ද එවැනි පින් පටිසන් දෙන අවස්ථාවලදී අපට ඒවා කර්ම ලෙස සිහි වන්නේ ද නැත. එනිසා අප සතුටින් ගෙවන කාලවල ඡ්‍යොතිෂය වැනි විෂයයන්ගේ සහාය ලබා ගැනීමට මතක් වන්නේ ද නැත. එහෙත් ගරුක, ආසන්න, ආචිණ්ණ වැනි කර්මවල බලපෑමක් නැති විට විපාක ගෙනෙන කටත්තා කර්මය හෙවත් දැඩි චේතනාවකින් තොරව කරන ලද අසම්පූර්ණ අකුසල කර්මයක් හෝ පටිසන් දෙන්නට වූ විට යළි වේලාපත්කඩය රැගෙන ඡ්‍යොතිෂවේදීන් වෙත දිවීම බොහෝ දෙනාගේ ස්වභාවයයි. ග්‍රහ අපල දුරු වන්නට යම් යම් දානමය ආදි පුණ්‍ය කර්ම සිදු කරන්නට යැයි ඡ්‍යොතිෂයෙන් උපදෙස් දෙන්නේ ඒ අපලයෙන් එන දැඩි දුර්විපාක වළක්වාලීමට පමණක් නොව, පුරුද්දක් ලෙස පින් කිරීමෙන් හා ඒවා මෙනෙහි කිරීමෙන් ආචිණ්ණ කුසල කර්ම වැඩෙන අතරම යළි ප්‍රතිසන්ධියක් ලැබීමට වැදගත් වන ජනක කර්මයකදී යහපත් භවයක් ලැබීමට හේතු වන ආසන්න කර්ම හෙවත් මරණාසන්න මොහොතේ සිහිවන සිතිවිලි යහපත් කර ගැනීමට ද එය ඉවහල් වන බැවිනි. එසේම ජීවිතය පවත්වාගෙන යෑමේදී වැදගත් වන උපත්ථම්භක කර්මවල කුසල් පුරවාලීමට ද ග්‍රහ දෝෂයන්ට යැයි කියමින් සිදු කිරීමට උපදෙස් දෙන විවිධ පුණ්‍යකර්ම රුකුලක් වේ. එසේම ජනක අකුසල කර්මයට බාධා පමුණුවමින් එහි දුර්විපාකවල බලපෑම හීන කිරීමට උපපීඩක කුසල් කර්මවල සහයෝගය ලබා ගැනීමට ද නිසි ඡ්‍යොතිෂ දැනුමකින් යුතුව ඉටු කිරීමට නියම කරන පින් දහම් වැනි යහපත් කටයුතු හේතු වේ.
ඇතැම් විට බලවත් වන උපඝාතක හෙවත් ජනක කර්මයේ විපාක දීමේ හැකියාව අහෝසි කර තමන් විසින්ම විපාක ලබා දෙන කර්මයට පිටු පෑමට අපට නොහැකි වුවත් එය කුසල කර්මයක් වුවහොත් අපට සතුටක් ද ගෙන දෙනු නියතය. එය අප දෙවියන් දුන්නා යැයි හෝ පෙර පින් බලයෙන් ලැබුණා යැයි සිතා නොසිට මේ භවයේදී තව තවත් කුසල් රැස් කිරීමට අවස්ථාවක් ලෙස යොදාගත යුතුය. යහපත් ජීවිතයක් ලබන තැනැත්තාට කුසල් වඩවා ගැනීමට අවස්ථාව සැලසෙන අතර කරුමය ලෙස අප හඳුන්වන දුක්ඛදායක ජීවිත ගත කරද්දී කුසලක් කිරීමට හෝ අවස්ථාව නොලැබෙන්නේ පුදුමාකාර ලෙසය. එවැනි කර්මවල බලපෑම කෙතරම් වුවද චිත්ත ශක්තිය වඩවාගෙන කෙසේ හෝ තම ගමන සුබවාදී කරගන්නට හැකියාව ඇති කර ගැනීමෙන් කරුම ගෙවා දැමිය හැකි කුසල් කර්ම සිදු කරගත හැකි බව ධර්මයේ ම පෙන්වා දෙයි. එයට අවශ්‍ය අවබෝධය, ධෛර්යය වඩවා දීම සැබෑ ඡ්‍යොතිෂවේදියාගේ යුතුකම හා වගකීමයි. එමඟින් යම් ග්‍රහ අපලයක් ලෙස හඳුන්වන අකුසල කර්ම පටිසන් දීමේ අවස්ථාවලට වෙට්ටු දමමින් වර්තමාන කර්ම සහ පරිසර සාධක උපයෝගී කරගෙන අතීත කුසල කර්මවල ශක්තිය පාදා ගැනීමට ද හැකි බව අමතක නොකළ යුතුය. යස ඉසුරින් පිරි තැනක උත්පත්තිය ලැබීමට තරම් ගති සම්පත්තියක් නොලැබුණද, උසස් රූප සොබාවක් මෙන්ම වාසනාවන්ත ජීවිතයක් ලෙස අප සලකන පසුබිමක් ලැබෙන උපධි සම්පත්ති නැතිවා වුවද, රටේ සෞභාග්‍යය පිරුණු කාලයක ඉපදීමෙන් අකුසල කරන්නෙකුට වුවද සුඛිත මුදිත ලෙස ජීවත් විය හැකි පසුබිමක් නැති අවස්ථාවක වුව ඉතිරි වන අවසාන අවස්ථාවක් සැමටම පවතී. ඒ ප්‍රයෝග සම්පත්තියයි. කරදර බාධකවලට මුහුණ දෙන විට සියල්ල කර්මයට පවරා නොසිට, ප්‍රඥාව, උත්සාහය සහ දැඩි අධිෂ්ඨානය සහිතව ස්ථානෝචිතව කටයුතු කිරීමෙන් ජීවිතය ජය ගැනීමට ප්‍රයෝග සම්පත්තිය අවසර දී තිබේ. එය කර්මය හෝ කරුමය ලෙස නොගෙන ග්‍රහයන්ට අපල දෙනවා යැයි නොබැන චිත්ත ධෛර්යය පෙරදැරි කරගෙන කළ යුත්තකි. ස්ව ශක්තියෙන් එසේ කළ නොහැකි අයට ඡ්‍යොතිෂයෙන් උදවු ගත හැක්කේ ඒ ධෛර්යය ලබාගැනීමටය. ඡ්‍යොතිෂවේදියා ඍෂිවරයකු හෝ මහත් සේ ඇසූ පිරූ තැන් ඇති ධර්මාවබෝධයෙන් කටයුතු කරන, යහපත් පුද්ගලයකු විය යුත්තේ කර්ම සහ කරුම ගෙවමින් ග්‍රහයන්ට දෙස් දෙන මේ පෘථ:ජනයන්ගේ සැබෑ කර්මය හඳුනාගෛන ඊට ගැළපෙන පිළියම් යොදමින් සෙත සලසා දීමට තරම් ශක්තියක් ඇති ප්‍රාඥයකු ලෙස සුදුසු තීරණය ගැනීමට සමත් විය යුතු නිසාය.