සුරයන් සහ සුර

ජුනි 14, 2024

අසුරයන් ගොන්නට අයත් වන අපට වඩා සුරයන් බලවත් යැයි නිරන්තර සිතන්නට අප පෙලඹී ඇත්තෙමු. ඒ සුරාසුර යුද්ධයෙන් අසුරයන් පැරදුණු බැවිනි. සුර ලොව සැප සම්පත් මතු භවයකදී හෝ ලබන්නට පින් කරන අප සුරයන්ට පින් දෙන්නට අමතක නොකරන්නේ ද එබැවිනි. කෙසේ වෙතත් අපෙන් පින් ගෙන අපට උදවු කරන සුර ලෝ වැසියන් පිළිබඳ කෙනකුට විටෙක භීතියක් මෙන්ම විටෙක අනුකම්පාවක් ඇති වුණොත් පුදුම විය යුතු නැත. හේතුව තමන් ලබන අත්දැකීමේ ස්වභාවය අනුව මතු වන හැඟීම දෙවියන් කෙරෙහි භක්තිය, භීතිය මෙන්ම අනුකම්පාව හෝ කෝපය ඇති වීමට හේතු විය හැකි බැවිනි.

යමෙකුට පිහිට වන්නත්, තවෙකෙකු දිහා නොබලාම සිටින්නටත් පූර්ණ අයිතිය දෙවියන්ට ඇත. තමන් උදවු කරන්නේ කාටද, කොපමණකින්ද, උදවු නොකරන්නේ කාටද පමණක් නොව දේව ගතිය වූ සමාව දීම පවා පසෙකලා දඬුවම් කරන්නේ කාටද යන්න පවා කිසිදු අනුකම්පාවකින් තොරව මෙන්ම තමන් අදහන තව කෙනකුගේ කීම මත කරන්නට දෙවියන් පෙලඹුණේ අද ඊයෙක නොවේ. එසේම එය ආසියාතික දෙවියන්ගේ පමණක් ස්වරූපය ද නොවේ. ග්‍රීක රෝම කතා රැසක් ගොඩනැඟීමට හේතු වූ දෙවිවරුන්ගේ වැඩවලින් වැටහෙන්නේ ඔවුන්ද මිනිසුන් මෙන්ම තමන්ගේ සිත්ගත්තන්ට විවිධ උපාය උපක්‍රම යොදමින් හොඳීන් හෝ නරකින් බැතිමතාගේ අභිප්‍රාය මුදුන්පත් කරවන්නට අසාමාන්‍ය ලෙස උදවු පදවු කරන බවයි.

එසේම විරුද්ධවාදියා කෙතරම් සාධාරණ වුවත් ඔහු පරාජය කිරීමට උපාය යෙදීමටද දෙවියන් පැකිළෙන්නේ නැත. එනිසා දෙවියන්ගේ පිහිට ගැන අබමල් රේණුවක හෝ විශ්වාසයක් හිත යට ඇත්නම් හොඳම දේ දෙවියන් සමඟ කතා බහ කොට සම්මුතියකට පැමිණීමය. එයට අප දේව බස නොදන්නා බැවින් ක්‍රමවේදයක් සකසා ගත යුතු වේ. එසේම දිගින් දිගට දේවාකර්ෂණය පවත්වා ගැනීමට ද වැඩපිළිවෙළක් අවශ්‍යය. සුරයන් සමඟ ගනුදෙනුව පහසු කරන සුරයක් අවශ්‍ය වන්නේ එවිටය.

දෙවියන්ට පමණක් නොව ග්‍රහ දෙවියන්ගේ කරුණාව ලබන්නටද සුරවලට දූත මෙහෙවර කළ හැකිය. එයට හේතුව එහි තඹ කොළය මත අඳීන රූප සටහන්වලින් අන්තරීක්ෂ ශක්තිය ඇද ගැනීමට දක්වන යම් හැකියාවක් මෙන්ම එයට මතුරන මන්ත්‍රවල ඇති ශබ්ද තරංගවල ශක්තිය රඳවා ගැනීමට ඇති හැකියාව ලෙසද සැලකිය හැකිය. එසේම තඹ පතක් මඟින් මිනිස් සිරුරේ ඇති කරන අයනවල වෙනස්කම ද මෙයට බලපානු ඇත. බෝධි පූජාවලින් පවා අප බලාපොරොත්තු වන්නේ බෝධි පත්‍රයෙන් පිටවන අයනාංශු වැඩි වේලාවක් අප සිරුරට ආකර්ෂණය වීමට අවස්ථාව සැලසීම සහ ගාථා කීමේදී එම ශබ්ද තරංගවලින් අප කයට මෙන්ම සිතට ඇති කරන සුබවාදී බලපෑම රඳවා ගැනීමයි.

අයනීකෘත ජලය පානය මඟින් ද අපට සිරුරේ ධන අයන සාන්ද්‍රණය අඩු කර රෝග නිවාරණය කරන, මනස සැහැල්ලු කරන ඍණ අයන ප්‍රමාණය වැඩි කරගැනීමට හැකි බව තහවුරු කර තිබේ.

මේ සියල්ල අවශ්‍ය වන්නේ අපගේ මනස විවිධ චිත්තාවේගවලින් දූෂිතව පැවතීම නිසා එහි බලය පූර්ණව භාවිත කර අපට එන උපද්‍රවවලින් මිදීමට තරම් ශක්තියක් තනිව ගොඩනඟාගත නොහැකි වීම නිසාය. ප්‍රබල චිත්ත ශක්තියක් ඇති කරගත හැකි නම් හෝ නිසගයෙන් පිහිටා ඇත්නම් මේ සියලු ක්‍රමවලින් ලබා දෙන ශක්තිය වෙනුවට මනසේ බලය මෙහෙයවා සියලු අභියෝග ජය ගැනීමට හැකිවනු ඇත. එයට ඡ්‍යොතිෂයානුකූලව පවසනවා නම් ප්‍රබල ග්‍රහ බලයක් සහිත උත්පත්තියක් තිබිය යුතුයැයි ද කිව හැකිය. එනිසා සිත දියුණු කරන්නා හට සුරයන් අසුරයන් මෙන්ම ග්‍රහයන් ද යටත් වන බව පැහැදිලිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.