වැඩිපුර මුද්දරයක්

අප්‍රේල් 26, 2024

ලියුමක් තැපැල් කිරීමේදී අපට නියමිත ගාස්තුවට මුද්දර අවශ්‍ය වේ. එසේ නොවුණ හොත් ලියුම ලබන්නා විසින් ඒ මුදල ගෙවිය යුතු වනු ඇත. ඇතැම් අවස්ථාවල පාර්සල් තැපෑලෙන් යවන අය නම් ලබා ගන්නාට ගෙවීමට සලස්වන ක්‍රමය අනුගමනය කරනු දක්නට ලැබේ. එහෙත් දන්නා කියන අය අතර වන ලියුම් හුවමාරුවකදී මෙන්ම කාර්යාලීය ලිපි ගනුදෙනුවකදී නියමිත ගාස්තු නොගෙවා ලියුම් තැපැල් කිරීම ලැජ්ජාවට කරුණකි. මේ සියල්ල කිව යුතු වන්නේ මුද්දර අගය අඩුවෙන් යෙදුවහොත් පමණි. මුද්දරයක් වැඩිපුර ඇලවුව හොත් මේ කිසි වාදයක් නැත. ලියුම අදාළ ලිපිනයට කරදරයක් නැතිව යයි. කිසිවකු වැඩිපුර මුද්දරය පිළිබඳ ලොකුවට විමසන්නේ නැත. වැඩිම වුණොත් වැරදීමක් වී ඇතැයි මඳ සිනාවක් ද සමඟ සිතනවා පමණි.

ඡ්‍යොතිෂ සහ ආයූර්වේද කාරණා ද ලියුමක් මෙනි. නිසි ගාස්තුව සහිත මුද්දර යෙදූ විට මෙන් හොඳීන් ජීවිතය ගෙවෙන තාක් කිසිවකු කිසිවකට බිය නැත. ඡ්‍යොතිෂය, හස්ත රේඛා, වාස්තු විහළු මෙනි. ආයුර්වේදය කල්ගත වන කරදර ක්‍රමයකි. එහෙත් අඩු මුද්දරයක් මෙන් ජීවිතයේ වැරදීමක් සිදු වූ විට මේ සියල්ල කබර කුලයෙන් තලගොයි කුලයට වැටේ. භාවිතයට සුදුසු වේ. මිථ්‍යාවන් යැයි කියා මෙතෙක් ගැරහූ තමන් දන්නා කියන සියලු වර්ග පසුපස දුවන්නට ගනී. මිතුරන් ඉදිරියේ එය පිළිගන්නට මැළි වූ විට බිරිඳ කියූ නිසා හෝ මවුපියන්ගේ බල කිරීමට යැයි කියා ඡ්‍යොතිෂවේදීන්, වාස්තුවේදීන්, හස්තරේඛා, අංකවිද්‍යා ශිල්පීන් මෙන්ම බලි තොවිල් ඇදුරන්, කට්ටඬියන් පසුපස පවා යයි. ‍

මේ රවටන්නේ කාවද? තමන්ම සිතා බැලීම වටින්නේය. තමන් ජීවත් විය යුත්තේ තමන් වෙනුවෙන් මිස අනුන් වෙනුවෙන් නොවේ. අප බොහෝ විට ජීවත් වන්නේ තමන් වෙනුවෙන් නොවේ. අසල්වැසියන්, නෑදෑ හිතමිතුරන්, රැකියා සගයන් වෙනුවෙනි. අසල් වැසි නිවෙසේ ඇති ශීතකරණය, මෝටර් රථය, රූපවාහිනිය අපේ නිවෙසේ නැත්නම් අඩුපාඩුවක් වන්නේද? නෑදෑ හිතමිතුරන්ගේ දූ දරුවන් වෛද්‍යවරු, ඉංජිනේරුවරු වූ පමණින් අපේ දරුවා එසේ විය යුතුද? කාර්යාලයේ සගයා අත ඇති මිලෙන් වැඩි ජංගම දුරකථනය ම අපට අවශ්‍යද? අත්‍යවශ්‍ය භාණ්ඩ තෝරා ගන්නා ක්‍රමය කුමක්දැයි සිතන විට වරක් මාධ්‍ය දේශනයකදී ප්‍රවීණ මාධ්‍යවේදියකු වන තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා පැවසූ ප්‍රවෘත්ති තෝරා ගන්නා ක්‍රමය පිළිබඳ සිත්ගත් කරුණ සිහියට නැඟේ. අනවශ්‍ය නොවන, සියලු පුවත් නොවන, අවශ්‍ය පුවත් ද නොවන පුවත් අත්‍යවශ්‍ය පුවත් වේ. එසේම අනවශ්‍ය භාණ්ඩ නොවන, සියලු භාණ්ඩ ද නොවන, අවශ්‍ය භාණ්ඩ ද නොවන දේ අත්‍යවශ්‍ය භාණ්ඩ වේ. එසේ තෝරා ගත යුත්තේ ඇයි ද යන්න සිතන්නේ කීයෙන් කී දෙනාද? තමන්ට අත්‍යවශ්‍ය ම නොවන භාණ්ඩ නිවෙසේ පුරවාගත් විට ඒවා කලක් භාවිත නොකිරීමෙන් අක්‍රිය වී යයි. නිවෙසේ ඉඩ ඇහිරී යයි. සොර බිය වැඩි වේ. පිස දැමීමට පවා අමතර වෙහෙසකි. සරලබව තරම් සහනයක් තවත් නොවන්නේ ඒ නිසාය.

ඊට අමතර තවත් කරුණක් මෙහි පවතී. එනම් අපට ලැබෙන ප්‍රමාණය කොපමණද යන්න අවබෝධ කර ගැනීමයි. අසල්වැසියාට සුඛෝපභෝගී වාහනයක් තිබූ පමණින් අපට ද එයම ලැබේ යැයි කිව හැකිද? හැකිය. ඒ සඳහා අපට ඡ්‍යොතිෂය ආදී ශාස්ත්‍ර යොදාගත හැකි වේ. සිත ඇත්නම් පත කුඩාද කියා උත්සාහ කිරීම වරදක් නොවුවද, දිගින් දිගටම උත්සාහ පමණක් කරමින් එය ලබා ගැනීමට නොහැකි වීම නිසා ඇති වන අසහනය දුරලන්නට යථාවබෝධයක් ලබා ගැනීමට ඡ්‍යොතිෂය ප්‍රයෝජනවත් වේ. නොලැබෙන්නේ වාස්තු දෝෂයක් නිසා නම් එය ඉවත් කර ගැනීමෙන් උත්සාහයේ ප්‍රතිඵල ලබා ගැනීම පහසු වනු ඇත. ලැබෙන කාලය අනුමාන වශයෙන් හෝ දැනගත හැකි නම් සැලසුමක් ඇතිව කටයුතු කිරීමට හැකි වනු ඇත. කිසිම අයුරකින් නොලැබෙන බව අත්ලේ රේඛාවල සටහන් වී ඇත්නම් රේඛා වෙනස් වන අයුරු නිරීක්ෂණය කිරීමට හෝ අනවශ්‍ය මහන්සියක් සහ පීඩනයක් සිතෙහි ඇති වීම වළක්වා ගැනීමට සිත හදාගත හැකි වනු ඇත. සාධාරණ උත්සාහයක් නම් සාර්ථක කර ගැනීමට සුදුසු වෙනත් බලවේගවල පිහිට පැතීමට වුව හැකිය. එහෙත් එහිදී අත ඇති සොච්චම ද සූරාකන්නකුට හසු නොවීමට වගබලා ගැනීමට කල්පනාකාරී විය යුතුය. මේ සියල්ල අත්හදා නොබලන්නේ නම් තම චිත්ත බලය අත්හදා බැලීමට ද පුළුවන. එහෙත් එය කිකිළි ද බිත්තරයද මුලින් ඇති වූයේ කියා අසන පැනය මෙන් නොවිසඳෙන කරුණක් වනුයේ එවන් චිත්ත බලයක් ඇති වන්නේ ඡ්‍යොතිෂමය කරුණු නිසාද යන්න විමසීමට සිදු වුවහොත්ය.

චිත්ත ධර්ම විද්‍යාවට අනුව නම් ඕනෑම කර්මයක් වෙනස් කිරීමට ශක්තිමත් සිතකට හැකියාව ඇත. එහෙත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරුවහොත් එවැනි සිතක් ඇති වන්නට ද කර්ම ශක්තිය බලපානු ඇත. එනිසා පෘතඞජන අපට අවශ්‍ය වන්නේ කුමන ශාස්ත්‍රයක් නිවැරැදිද යන්න සෙවීමට වඩා අපගේ ලෞකික ජීවිතය යහපත් කර ගැනීමට නම් කළ හැකි පහසුම ක්‍රමය වන්නේ මේ ක්‍රමවලින් ප්‍රයෝජනයක් ගැනීමය. ඉඳහිට හෝ විශ්වාසවන්ත අයකු ලවා කේන්දරයක් බලා ගත්තාය කියා පාඩුවක් සිදුවන්නේ නැත. වාසියක් සිදු වන්නට පුළුවන. ඒ අපලයක් තිබේ යැයි කියන්නේ නම් එයින් මිදීමට සුළු ප්‍රතිකර්ම යෙදීමට අවස්ථාව ලැබීමය. එය වැස්සක් එන බව දැන කුඩයක් ගෙන යෑම බඳුය. සිදු විය හැකි අභාග්‍යයක් වෙතොත් එය කල් තියා දැන ගැනීමෙන් යම් සහනයක් ලබා ගැනීමට හැකි වනු ඇත. එහෙත් නොදැනම අනතුරකට මුහුණ දීම හානිය වැඩි කිරීමට හේතු විය හැකිය.

මෙවැනි විෂයයන් ඇති බව දැන දැනම ඒවා භාවිතයට නොගැනීම ගැන කිව යුත්තේ කුමක්දැයි සිතිය නොහැකිය. එය ලිපියක් ලියා තැපැල් කළ හැකි බව නොදැන සිටින්නාක් මෙනි. ලිපිය තැපැල් කරන විට අඩු මුද්දර ගැසීම මෙන් තමන්ට ඇති ලැබීමක් නොසැලකිලිමත් කමින් මඟ හැර ගැනීම නුවනක්කාරකමක් නොවේ. එසේම අප දන්නා විෂයයන් යොදා ගනිමින් සුළු ප්‍රතිකර්මයක් යෙදීම වැඩි මුද්දරයක් ගැසුවා මෙන් කිසිදු හානියක් නැති කටයුත්තකි.

වසර දහස් ගණන් යම් විෂයයක් පවතින්නේ මිනිසුන්ගේ බිය, අවිනිශ්චිත මානසිකත්වය හෝ අනුවනකම නිසාම යැයි එල්බගත් මානසිකත්වයක සිට මේ වසරේ තමන්ට හිමි විය යුතු යම් භාග්‍යසම්පන්න දෙයක් වේ නම් එය ප්‍රමාද කරගන්නවාට වඩා, තමන් කරන්නා වූ ඕනෑම දෙයක් සර්ව සුබවාදී ලෙස ගෙන එයින් යහපතක් ඉටු වන්නේ යැයි සිතා එය සිදු කිරීමෙන් තමන්ගේ දියුණුව සලසාගත හැකි වනු ඇත. එය චිත්ත ධර්ම විද්‍යාව මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයන්ට ද පොදු කරුණකි. මේ උදා වූ වසරේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමේදී උනන්දුව පමණක් නොව සිතට සහනය ඇතිව තමන්ට උරුම දෙය හඳුනා ගැනීම සඳහා අත්හදා බැලීමක් වශයෙන් හෝ මේ ක්‍රම යොදා ගැනීම ලෞකික ජීවිතය ජය ගැනීමට හේතුවක් වනු ඇත. එය අපට වඩා අපෙන් මේ විෂයයන් උදුරාගත් රටවල යහමින් සිදු කෙරෙන්නේ ඒ නිසාය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.